slc
logo
Home   |    News
අගෝස්තු 14, 2021
‘ග්‍රේස්’ පිට පිටම දෙවැනි ජයත් ලබයි

sinhala editor

Chamila Karawita reporting from Pallakale

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ තෙවැනි තරගය ලෙසින් පල්ලකැලේදී අද (14 දා) පස්වරුවේ පැවැති තරගයේදී පන්දු යවන්නන් දැක්වූ දක්ෂතාව හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිලට එරෙහිව ලකුණු 35 ක ජයක් වාර්තා කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් කණ්ඩායම සමත්විය. මෙය ග්‍රේස් පිල පිට පිට දෙවැනි සහ රෙඩ් පිල පිට පිට ලද දෙවැනි පරාජය ලෙසින් සටහන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹා ගිය රෙඩ්ස් කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු හැරුණු කොට සෙසු එකම පිතිකරුවකුට ලකුණු 20 සීමාවට ළඟාවීමට ග්‍රේස් පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. එහිදී කැපී පෙනුණු අෂේන් ඩැනියෙල් පන්දුවාර 4 තුළ ලකුණු 18 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් දවා ගන්නා විට චතුරංග ද සිල්වා ලකුණු 21 කට කඩුලු 2 ක් සහ නුවන් ප්‍රදීප් ලකුණු 24 කට කඩුලු 2 ක් දවා ගත්හ. පෙර තරගයේදී පන්දු යැවීමෙන් කැපී පෙනුණු පුලින තරංග අද තරගයේදීද සිය පන්දුවාර 4 ලකුණු 28 කට සීමා කරමින් යැවූ අතර කඩුල්ලක්ද බිඳ දැමුවේය.

මෙතෙක් තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද තෙවැනි අර්ධ ශතකයට හිමිකම් කී ඕෂද ප්‍රනාන්දු රැස් කළ ලකුණු 52 සඳහා පන්දු 49 කට මුහුණ දුන්නේය. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු ඕෂධගේ ඉනිමට දැනෙන සහයෝගයක් ලබා දීමට සෙසු පිතිකරුවෝ අසමත්වූහ. නායක චන්දිමාල් නුවන් ප්‍රදීප්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළද ඊට පසු යවන ලද පන්දුවේදීම දැවී ගියේය.

වැඩි ලකුණු සංඛ්‍යාවක් පුවරුවේ රඳවමින් ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීම ග්‍රේස් පිලේ සැලුසම වුවත් ඉදිරිපෙළ පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වුණු සේවය මෙම තරගයේදීත් ඉටු නොවිණ. පළමු තරගයේ කාබන් කොපියක් බඳු මෙම ඉනිමේදීද පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී කඩුලු 3 ක් ප්‍රතිවාදී පන්දු යවන්නන් දවා ගැනීමට සමත්වද්දී ඉනිමේ වගකීම නැවතත් නායක දසුන් ශානකගේ කර මත වැටවිණ.

තමන් සතු අත්දැකීම් මනාවට ප්‍රයෝජනයට ගත් දසුන් තම වාරය එන තෙක් ඉවසිලිවන්තම සිටීම නිසා අවසානයේ ඔහුටත් කණ්ඩායමටත් සැනසිලි දායකත ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව උදාවිය. 5 වැනි පන්දුවාරයේදී ලපිටියට පිවිසි දසුන් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කිරීමට ගත් උත්සාහයේදී අර්ධ ශතකයට ලකුණු 2 ක් මෙපිටින් සිටියදී පිටියෙන් ඉවත්ව ගියේය. 17 වැනි පන්දුවාරයේදී  ඉනිම නිමා වන විට පන්දු 38 කට මුහුණ දුන් දසුන් ඉන් දෙවතාවක් හතරේ සීමාවට ඉහළින්ද පස් වතාවක් හතරේ සීමාවෙන් එපිටටද පන්දුව යැවීමට සලස්වා තිබිණ. ඒ අනුව මෙම තරගයේ වීරයා සම්මානයද දසුන් ශානක දිනා ගැනීම කැපී පෙනිණ.

දැවී යෑමට මත්තෙන් 7 ළහිරු මදුශංක සමඟ එක්වූ දසුන් පන්දු 25 කදී ලකුණු 37 ක සම්බන්ධතාවයක් ගොඩ නැංවූයේය. පසුපෙළින් පන්දුවට පහර දීම සඳහා පැමිණි පුලින තරංග වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 10 කදී ලකුණු 20 ක් රැස් කළ අතර ඉනිම හමාර වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි ළහිරු මදුශංක ලකුණු 16 ක් ලබා සිටියේය.

පළමු තරගයට ක්‍රීඩා නොකළ ලසිත් කෲස්පුල්ලේ පළමු පන්දුවාරය යැවූ හිමේෂ් රාමනායකට හතරේ පහර 3 ක්ද සමඟ ලකුණු 15 ක් ලබා ගනිමින් ප්‍රහාරාත්මක ආරම්භයක් ග්‍රේස් පිලට ලබා දුන්නද ආරම්භක පිතකිරුවන්ට පිටියේ රැඳී සිටීමට හැකි වූයේ දෙවැනි පන්දුවාරයකුත් පන්දුවක් පමණි. ඉනිම ආරම්භයේදී රෙඩ්ස් දඟ පන්දු යවන්නන් විසින් ඉතාමත් හොඳින් පන්දු යැවීම නිසා ඉනිමේ හරි අඩක් හෙවත් පළමු පන්දුවාර 10 අවසන් වන තෙක් තරගයේ පාලනය ඔවුන් අත විය. ඉනිමේ පළමු කඩුල්ල ලෙස මිනෝද් භානුකව අසේල ගුණරත්න විසින්ද, අනවශ්‍ය වේගයක් රඳවා ගැනීමට යෑමෙන් කෲස්පුල්ලේ ප්‍රභාත් ජයසූරිය හමුවේ කඩුල්ල පූජා කළේය. මිලින්ද සිරිවර්ධනද දුවද්දී දැවී යෑමකට හසුවීම නිසා ග්‍රේස් ආරම්භය අසීරුතාවයට මුහුණ දුන්නේය. ආරම්භයේ සිටම ඉතාමත් නිවැරදි එල්ලයකට පන්දු යැවූ ප්‍රභාත් ජයසූරිය කමිල් මිශ්‍රාරගේ කඩුල්ලද සීකුගේ ප්‍රසන්න විසින් චතුරංග ද සිල්වාව දවා ගන්නා විටත් ග්‍රේස් ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 59 ක් ලෙසින් සටහන්ව තිබිණ.

වඩාත්ම ඵලදායී පන්දු යවන්නා බවට පත් වුණු සීකුගේ ප්‍රසන්න පන්දුවාර 4 දී ලකුණු 09 ක් පමණක් ලබාදී කඩුලු 2 ක්ද ප්‍රභාත් ජයසූරිය ලකුණු 29 කට කඩුලු 2 ක්ද දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනිණ.

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee