slc
logo
Home   |    News
අගෝස්තු 13, 2021
පළමු තරගයේදී බ්ලූස් පිලට පහසු ජයක්

sinhala editor

Chamila Karawita reporting from Pallakale

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙසින් අද (13 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් පිලට එරෙහිව ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුතු බ්ලූස් පිල සමත්විය.

ලකුණු 149 ක ඉලක්කයක් රෙඩ්ස් කණ්ඩායම හමුවේ තැබූ බ්ලූස් පිල පන්දුවාර 17 කදී රෙඩ්ස් ඉනිම ලකුණු 92 කට සීමා කිරීමට සමත්විය. ඉනිම ඇරැඹි අවිෂ්ක ප්‍රනාන්දු සහ නිපුන් ධනංජය හයේ පහර බැගින් එල්ල කොට ලකුණු හඹා යෑමට සාර්ථක ප්‍රවේශයක් ලබා ගත්තද ඔවුන් දෙදෙනා සහ නායක දිනේෂ් චන්දිමාල් දැවී යෑමත් සමඟ රෙඩ්ස් පිලට නැවත හිස එසවිය නොහැකි විය. සමස්ථ ඉනිමේ පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව ඉක්මවා යන ලද්දේ නිපුන් ධනංජය (14) සහ නායක චන්දිමාල් (13) පමණි.

ධනංජය ලක්ෂාන් විසින් නිපුන් ධනංජය දවා ගැනීමට සමත් වද්දී අවිෂ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල් කඩුලු අතරට දිව යෑමේදී දැවී යෑම රෙඩ්ස් කණ්ඩායමට විශාල පාඩුවක් විය. එතැනින් පසු පන්දුවට පහර දීමට පැමිණි එකම පිතිකරුවකුට හෝ ලකුණු 10 සීමාව ඉක්මවා රැස් කර ගැනීමට බ්ලූස් පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම සහ ඇන්ජලෝ පෙරේරා කඩුලු 2 බැගින් දවා ගනිද්දී පන්දු යැවූ සෙසු පන්දු යවන්නෝ සිව් දෙනා කඩුල්ල බැගින් දවා ගත්හ.

පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 අවසන් වීමටත් මත්තෙන් ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම දවා ගනිමින් පීඩනයක් එල්ල කිරීමට රෙඩ්ස් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතරින් පළමු කඩුල්ල ලෙස සදීර සමරවික්‍රමව දවා ගැනීමට හිමේෂ් රාමනායක සමත් වද්දී සෙසු කඩුලු 2 දවා ගැනීමට සික්කුගේ ප්‍රසන්න දායකත්වය ලබා දුන්නේය. මෙහිදී ධනංය ලක්ෂාන්ව දුවද්දී දවා ගැනීම වෙනුවෙන් මිඩ් ඕෆ් කළාපයේ පන්දු රැකි සික්කුගේ ප්‍රසන්න කඩුල්ලට යොමු කරන ලද පන්දුව ඉතා විශිෂ්ඨ ගණයේ විය. අනතුරුව නිෂාන් මදුශ්කගේද කඩුල්ල දවාගත් සීකුගේ මුලු ලකුණු සංඛ්‍යාව 47 ක්ව තිබියදී නායක ඇන්ජලෝ පෙරේරාව දවා ගැනීමට සමත්වීමත් සමඟ බ්ලූස් කණ්ඩායමට නොසිතූ අර්බුදයකට මුහුණ දීමට සිදුවිය.

ඉන්දියාවට එරෙහි තරගාවලියේ සිට පන්දු යැවීමේ හොඳ රිද්මයක් ගොඩ නඟා ගෙන සිටින අකිල ධනංජය ක්‍රියාත්මක කරන ලද තරගයේ 12 වැනි පන්දුවාරයේදී පවන් රත්නායකව දවා ගන්නා විටත් බ්ලූස් ලකුණු පුවරුව කඩුලු 5 කට ලකුණු 69 ක් ලෙසින් සටහන් විය.

එහෙත් මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි අෂේන් බණ්ඩාර සහ සහන් ආරච්චිගේ එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49 ක් එක් කර ලකුණු 100 සීමාව ඉක්මවා රැස් කළහ. එහිදී සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ අෂේන් බණ්ඩාර හතරේ පහර 5 ක් සමඟින් පන්දු 25 කදී වේගවත් ලකුණු 45 ක් ලබා ගත්තේය. අෂේන්ට සහයෝගය දුන් සහන් ආරච්චිගේ පන්දු 31 කදී ලකුණු 36 ක් ලබා ගත් අතර මොවුන් දෙදෙනාම අකිල ධනංජයගේ පන්දු හමුවේ දැවී ගියහ. අෂේන් බණ්ඩාරගේ වටිනා ලකුණු 45 ඉනිම, පළමු තරගයේදීම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට තරම් වාසනාව ගෙන ආවේය.

පන්දු යැවීමෙන් සාර්ථකම පන්දු යවන්නා බවට අකිල ධනංජය පත්වූයේ පන්දුවාර 4 කදී ලකුණු 27 ට කඩුලු 3 ක් දවා ගනිමිනි. සීකුගේ ප්‍රසන්න ලකුණු 34 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

හෙට (14 දා) දිනයේ පළමු තරගය ලෙසින් රෙඩ්ස් කණ්ඩායම සහ ග්‍රේස් කණ්ඩායම අතර තරගයද රාත්‍රී කාලයේදී බ්ලූස් කණ්ඩායම සහ ග්‍රීන්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest