slc
logo
Home   |    News
අගෝස්තු 25, 2021
‘වර්ණ සංග්‍රාමයේ’ අවසන් සටන ගැන දසුන් කියන කතාව

sinhala editor

Chamila Karawita

වර්ණ 4 ක් ප්‍රතිමල්ලවයන් වශයෙන් තරග වැදි ‘වර්ණ සංග්‍රාමය’ ඊයේ (24 දා) අති සාර්ථකව අවසන් වූයේ දසුන් ශානකගේ ‘අළු’ වර්ණය හෙවත් SLC ග්‍රේස් පිල ශූරතාවය දිනා දෙමිනි. දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියට සහ එළැඹෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සාර්ථක කණ්ඩායමක් සකසා ගැනීමේ ප්‍රධාන අරමුණැතිව සංවිධානය කෙරුණු මෙම තරගාවලියේදී ප්‍රතිවාදීන් වුණු දිනේෂ් චන්දිමාල්ගේ රක්ත වර්ණය හෙවත් SLC රෙඩ්ස් ට එරෙහිව ලකුණු 42 ක පහසු ජයක් ලබා සිය අපරාජිත ගමන ශූරතා ජයග්‍රහණයෙන් කෙළවර කර ගැනීමට දසුන් ප්‍රමුඛ ග්‍රේස් ක්‍රීඩකයෝ සමත්වූහ.

අඟහරුවාදා පැවැති අවසන් මහ තරගයට ක්‍රීඩා නොකළද තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වීමේ අවස්ථාව උදා කරගැනීමට තරම් ලකුණු වලින් සන්නද්ධව ඉදිරියට පැමිණි  ශානක අවසන් මහ තරගයේදී නොදැවී රැස් කරන ලද ලකුණු 48 ක ඉනිම නිසා කඩුලු 4 කට ලකුණු 202 ක ඉලක්කයක් රෙඩ්ස් හමුවේ ලබාදීමට හැකියාව ලැබිණ. අනතුරුව පන්දු රැකීමේදී මෙන්ම පන්දු යැවීමේදීද දක්වන ලද විශීෂ්ඨ දක්ෂතා හේතුවෙන් රෙඩ්ස් ඉනිම ලකුණු 159 කදී සීමා විය.

බ්ලූස්ට එරෙහිව පැවැති තරගයේදී නොම්බර 4 ස්ථානයේ ක්‍රීඩා කිරීමේ හැර අනෙක් සෑම තරගයේදීඹ නොම්බර 5 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි දසුන් 84, 48, 8, 55*, 15 සහ 48* වශයෙන් මුලු ලකුණු 258 ක් රැස් කරගන්නා ලද්දේ තරගයේ වීරයාට හිමි සම්මානයද දිනා ගනිමිනි. ඉන්දීය තරගාවලියේ සිට එක්දින සහ විස්සයි-20 තරග අංශවල නායකයා බවට පත්වුණු චන්දිමාල් මෙම තරගාවලියේදී සිය ප්‍රාහාරාත්මක වේගය 184.28 ක් වශයෙන් ඉහළ තලයක පවත්වා ගත්තේය.

“තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලැබීම වගේම තරගාවලියේ වීරයා වීමට හැකියාව ලැබීම ගැන ගොඩක් සතුටුයි” යැයි තරගාවසානයේදී සිය දක්ෂතා පිළිබඳව දසුන් සිය හඬ අවධි කර සිටි තරගාවලියේ වීරයා, ජාතික කණ්ඩායමට අවශ්‍ය දක්ෂතාවයෙන් හෙබි ක්‍රීඩකයින් සොයා ගැනීමට මේ ආකාරයේ තරගාවලි පැවැත්වීම හරහා උදාවන බවද සඳහන් කර සිටියේය.

“ඇත්තටම මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගේම අනුග්‍රාහකයින්ට. මේ වගේතරගාවලියක් පැවැත්වීම හරහා දක්ෂතාවයෙන් හෙබි තරුණ ක්‍රීඩකයින් හඳුනා ගැනීමේ අවස්ථාව උදාවනවා. මම හිතනවා තරුණ ක්‍රීඩකයින් තරගාවලිය පුරාම හොඳින් දක්ෂතා අතරට හිටියා.ඒක තමයි විය යුත්තේ” යැයි දසුන් වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

“ඒ වගේම රෙඩ්ස් කණ්ඩායම ගත්තොත් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් හත්-අට දෙනෙක්ම ඉන්නවා. මම හිතන්නේ ඔවුන්ගේ කණ්ඩායම ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඉතිං ඔවුන්ට එරෙහිව ලබාගත්ත ජය ලොකු ජයග්‍රහණයක් කියලා මම විශ්වාස කරනවා” යැයි තරග ජයග්‍රහණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය. පන්දු 17 ක් තුළ හතරේ පහර 4 ට අමතරව තවත් හයේ පහර 4 කින් සිය ඉනිම සරසාගත් ග්‍රේස් නායකයා තරගාවලියේ වැඩිම හයේ පහර සංඛ්‍යාවක් (14 ක්) එල්ල කරන ලද පිතිකරුවා බවටද පත්වූවේය.

“මම විකට් එකට යද්දී හොඳ සම්බන්ධතාවයක් වාර්තා වෙලා තිබුණා. මට තිබුණේ ඒ අරන් දුන්න රිද්මය දිගට අරගෙන යන්න. නුවනිඳු (ප්‍රනාන්දු) අනිත් අන්තයෙන් ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන්නා. මිනෝද් භානුකගේ ආරම්භය තමයි අපිට ලකුණු 200 ක් කරා යන්න මාර්ගය සකස් කළේ. ඒ ඉනිම නිසා මගේ සුපුරුදු රිද්මයට අනුව තරගය අවසන් කරන්න හැකි වුණා.”

“අපි මුල ඉඳන්ම අංක 4 ස්ථානයෙන් නුවනිඳුව තමයි ක්‍රීඩා කරවන්න හිටියේ. නමුත් ඔහු මුල් තරග කීපයේදී අසාර්ථක වුණා. නමුත් අපි පෙර තරගයේදී ඔහුට යළිත් අවස්ථාව දුන්නා. එතැනදි ඔහු හොඳට ක්‍රීඩා කරලා ලකුණු 50 ක් ලබාගත්තා. ඒ විශ්වාසය මට මේ තරගයේදී තිබ්බා. තරුණ ක්‍රීඩකයකුටත් ඒක හොඳ අවස්ථාවක් විශේෂයෙන්ම අවසන් මහ තරගයකදි ඇවිල්ලා තමන්ගේ හැකියාව පෙන්වන්න. නුවනිඳු ඒ දේ ඔප්පු කරලා පෙන්නුවා” යැයි දසුන් පවසයි.

දසුන්ට අමතරව පිතිකරුවන් ලෙස ආරම්භක පිතිකරු මිනෝද් භානුක පන්දු 51 කදී ලකුණු 74 ක් ලබා ගත්තේ තරගයේ වීරයා සම්මානයද දිනා ගනිමිනි. සමස්ථ තරගාවලියේම පිතිකරණයෙන් අසාර්ථක වුවද අවශ්‍ය මොහොතේදීම මිනෝද්ගේ පිත්ත ක්‍රියාත්මක වීම කැපී පෙනෙන්නක්. ඔහුට අමතරව නුවනිඳු ප්‍රනාන්දු රැස් කරන ලද ලකුණු 47 ද ග්‍රේස් පිලට ඉතා වටිනා එකක් වීය. පන්දු 36 කදී වාර්තා වුණු එම ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත් විය.

“ලකුණු 200 ක් ගහන්න අපේ සැලසුමක් තිබුණේ නෑ. ඒත් මුල් පන්දුවාර 2 බැට් කරද්දී මේ තිබුණේ වෙනම සැලසුමක්. කඩුලු ගියත් පවර් ප්ලේ එක ඇතුළේ මම බෝලෙට ගහන්න ගියේ. එහෙම ගහගෙන යද්දී විකට් එක බැට් කරන්නත් හොඳයි ඒ වගේම පිට්ටනියේ බෝලෙත් හොඳට යන නිසා තමයි අපිට තේරුණේ මැච් එක දිනන්න නම් ලකුණු 170 ක් 180 ක් විතර හොඳ ලකුණු සංඛ්‍යාවක් ගන්න වෙයි කියලා. කොහොම හරි දසුන් අයියා (ශානක) හොඳ පිතිහරඹයක නිරත වුණා. ඒකත් එක්ක නුවනිඳු ත් ළහිරු මදුශංකත් හොඳ පාරවල් ටිකක් ගැහුව නිසා අපට පුලුවන් වුණා ලකුණු 200 සීමාව පන්නන්න” යැයි අවසන් මහ තරගයේ වීරයා සම්මානය දිනාගත් මිනෝද් භානුක සඳහන් කර සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි වමත් පිතිකරුවා, ලකුණු අතරට ඒම සඳහා ප්‍රධාන පුහුණුකරු උපුල් චන්දන මහතා ඇතුළු සමස්ථ පුහුණු මණ්ඩලයම තමා පිටුපසින් සිටි බවද අනාවරණය කර සිටියේය.

පන්දු යැවීමේදී පා දඟ පන්දු යවන්නන් ලෙසින් ක්‍රීඩා කළ පුලින් තරංග මෙන්ම නවක ක්‍රීඩක අෂේන් ඩැනියෙල්ද කැපී පෙනිණ. මොවුන් දෙපළම මෙවර තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් 5 දෙනා අතර පැමිණීමට සමත්වීම ග්‍රේස් පිලේ පන්දු යැවීමේ අංශය කෙතරම් ශක්තිමත් ද යන්න කදිම සාක්ෂියකි. ඔවුන් දෙපළට අමතරව නුවන් ප්‍රදීප් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන පන්දු යවන්නන් තිදෙනාගෙන් එක් අයෙකි.

“ඇත්තටම කියන්න ඕන පුලින (තරංග) සහ අෂේන් (ඩැනියල්) මේ තරගාවලියේදී ලොකූ මෙහෙවරක් ඉටු කළා. ඒ වගේම චතුරංග ද සිල්වා.ඔවුන් තිදෙනාගේ සහයෝගය ඉතාමත් වැදගත් වුණා තරගාවලිය ජයග්‍රහණය කරන්න” යැයි පැවැසූ දසුන්, “ඇත්තටම කතා නොකරනම බැරි ක්‍රීඩකයින් දෙදනෙක් තමයි අෂේන් ඩැනියල් සහ පුලින තරංග කියන්නේ. ඔවුන් මේ තරගාවලිය පුරාවටම ඉතාම හොඳින් පන්දු යැව්වා. ඒ වගේම චතුරංග ද සිල්වාවත් මතක් කරන්න ඕන. වේග පන්දු යවන්නන් ගත්තහම නුවන් ප්‍රදීප්ගේ පන්දු යැවීම ඉතාමත් වැදගත් වුණා. මොකද අලුත් බෝලෙන් ඔහු ලබාගත් දෝලනය. අන්තිමට ඇවිල්ලා ඩේත් ඕවර්ස් වල පන්දු යැවීම ඉතා විශිෂ්ඨයි. මතීෂ පතිරණත්මේ තරගයේදී ඉතාමත් හොඳින් පන්දු යැව්වා. අවස්ථාව දුන්න හැම කෙනාට තම තමන්ට ලබා දුන්න පොඩි පොඩි වගකීම් වුවත් ඒ වොලවේ හරියට ඉෂ්ඨ කරපු හින්දා තමයි ප්‍රතිඵලය අපේ පැත්තට වාසි විදියට හරවා ගන්න පුලුවන් වුණේ” යැයි ජයග්‍රහණය වෙනුවෙන් උර දුන් තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳව ප්‍රශංසාත්මකව අදහස් දක්වා සිටියේය.

“ඒ වගේම මේ තරගාවලිය දකුණු අප්‍රිකානු සංචාරයට යද්දී ඉතා වැදගත් වෙනවා. මොකද අපේ පිතිකරුවන් මේ තරගාවලියෙන් ලබා ගත් ගම්‍යතාවය වගේම පන්දු යවන්නන් සුපුරුදු රිද්මය දකුණ අප්‍රිකානු තරගාවලියට යද්දී අපේ අපිට ගොඩක් වැදගත් වෙනවා. අපි හිතනවා ඒ තරගාවලියේදී අපි මේ දක්ෂතා එක්ක ගොඩක් ගැඹුරට යා හැකි කියලා” යැයි මෙම තරගාවලියෙන් එළැඹෙන දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලිය සඳහා ගත හැකි පන්නරය පිළිබඳව කරුණු දක්වා සිටියේය.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest