slc
Home   |    News
සැප්තැම්බර් 14, 2021
තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 10 ක ජයක්

sinhala editor

By Chamila Karawita

කුවින්ටන් ඩි කොක් සහ රීසා හෙන්ඩ්‍රික්ස් එක්ව ගොඩ නංවන ලද නොබිඳුණු ලකුණු 121 ක සම්බන්ධතාව මත තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට අද (14 දා) සමත්වූහ. ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ලද ජයග්‍රහණයත් සමඟ තරගාවලිය 3-0 ක් ලෙසද සංචාරකයෝ ජය වාර්තා කිරීමට සමත්වූහ.

ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වුණු ඉහළම කඩුලු සම්බන්ධතාවය වශයෙන් සටහන් වුණු මෙම පළමු කඩුල්ලේ සම්බන්ධතාවය වෙනුවෙන් කුවින්ටන් ඩි කොක් පන්දු 46 කදී ලකුණු 59 ක්ද රීසා හෙන්ඩ්‍රික්ස් පන්දු 42 කදී ලකුණු 56 ක්ද ලබා ගත්හ. මෙම අර්ධ ශතකය ඩිකොක්ගේ විස්සයි-20 තරග දිවියේ 11 වැන්න සහ හෙන්ඩ්‍රික්ස්ගේ 7 වැන්න ලෙසින් සටහන් විය. ශ්‍රී ලංකා කණ්ඩායමක් මීට පෙර දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි-20 තරගාවලි පරාජයක් ලබා තිබුණත් පූර්ණ තරගාවලි පරාජයක් සිය මව්බිමේදී ලද පළමු තරගාවලිය ලෙසින්ද මෙම තරගාවලිය සටහන් වේ.

ලකුණු හඹා යෑමේදී පවර් ප්ලේ පන්දුවාර 6 ඇතුළත ලකුණු 46 ක් ලබාගත් ආරම්භක පිතිකරුවෝ ඒ වන විට හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි. ඒ අතරින් ඩි කොක් හතරේ පහර 4 ක් එල්ල කරද්දී හෙන්ඩ්‍රික්ස් හතරේ පහර 2 ක් සහ හයේ පහර එල්ල කළේය. කරුණාරත්නගේ පන්දුවක් එක්ස්ට්‍රා කවර් කළාපයට තල්ලු කරමින් ඩි කොක් ලකුණු 2 ක් ලබා ගැනීමත් සමඟ දකුණු අප්‍රිකානු පිලේ ජයග්‍රහණය සනිටුහන් වූයේ පන්දු 32 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය. මෙම තරගයේ ලද අර්ධ ශතකය සමඟින් සමස්ථ තරගාවලියේදී ලකුණු 153 ක් ලද ඩිකොක් මෙම තරගයේ මෙන්ම තරගාවලියේ වීරයා යන සම්මාන වලින්ද පිදුම් ලැබීය.

දුවට පහර දීම අරුමයක් නොවන බැවින් කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දුන්නේය. එහෙත් සිදුවූයේ නොසිතූවකි. දෙවැනි තරගයේ කාබන් කොපියක් බඳු දුර්වල පිතිහරඹය මෙම තරගයේදීද දැක ගත හැකි වූ අතර වෙනසකට පැවැතියේ නම් ඒ පෙර තරගයේ ඉලක්කය වූ ලකුණු 104 වෙනුවට මෙම තරගයේ ඉලක්කය ලකුණු 121 ක් බවට පත්වීම පමණි.

දෙවැනි පන්දුවාරයේ සිටම කඩුලු වැටී යෑම ඇරැඹුණු අතර ඉනිම අවසන් පන්දුවාර 2 දී දුෂ්මන්ත චමීර සමග එක්ව චාමික කරුණාරත්න රැස් කරන ලද ලකුණු 20 හැරුණු කොට පිතිකරණ අංශයේ ධනාත්මක දෙයක් වාර්තා නොවුණු බව අකමැත්තෙන් වුවද සඳහන් කළ යුතුය. පන්දු 19 කදී ලකුණු 24 ක් රැස් කරගත් චාමික කරුණාරත්න හැරුණු විට ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් යම් තරමකට හෝ සාර්ථකත්වයට පත්වූයේ ආරම්භක පිතිකරු කුසල් පෙරේරා පමණි. හතරේ පහර 3 ක්ද සමඟ කුසල් ලකුණු 39 ක් ලබා ගත්තේ පන්දු 33 කට මුහුණ දෙමිනි.  

අද තරගයේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ නිලකුණු පන්දු 49 ක් වාර්තා වීම කැපී පෙනුණු අතර සමස්ථ ඉනිම පුරා හතරේ පහර 8 ක් සහ අවසන් පන්දුවාර දෙකේදී චාමික කරුණාරත්න විසින් එල්ල කරන ලද හයේ පහර 2 ත් පමණක් ඇතුළත් විය. සත්කාරකයින් ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනකු සමඟ අවතීර්ණ වද්දී සිය දඟ පන්දුව පිළිබඳව වැඩි විශ්වාසයක් තැබූ දකුණු අප්‍රිකානු පිලේ කාගිසෝ රාබඩා අවිෂ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂගේ කඩුලු දවා ගනිමින් කදිම ආරම්භයක් ලබා දුන්නේය.

බියෝන් ෆෝටේන්ගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා දැවී යන විට ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම පන්දු 14 ක් ඇතුළතදී බිඳ වැටීම ශ්‍රී ලංකාවට දරාගත නොහැකි පාඩුවක් විය. පෙරළා ආ උඩ පන්දුවක් රැක ගැනීම නිසා අවිෂ්කගේ කඩුල්ලද අනවශ්‍ය කලබලයකින් යුතුව කඩුල්ල විවෘත කොට පහර එල්ල කිරීමට යෑම නිසා භානුක රාජපක්ෂද අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් විය. පෙර තරගයේ පරිදිම ස්ටම්ප් කිරීමකට හසුව උප නායකයා දැවී ගියේ එක් ලකුණක් ලබා සිටියදීය.

කඩුලු දැවී ගියද සිය ප්‍රාහාරාත්මයක පිතිහරඹයෙහි වෙනසක් සිදු නොකළ හෙයින් පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 47 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ. කුසල්ට එක්වූ කමිඳු මෙන්ඩිස් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 34 ක් එකතු කරන අතර වාරයේ 10 වැනි පන්දුවාරයේදී කමිඳු පිටියෙන් ඉවත් කිරීමට මාක්‍රම් සමත්විය. මුලු ලකුණු සංඛ්‍යාව 80 ක්ව තිබියදී කුසල් පෙරේරා ද දැවී ගිය අතර අනතුරුව ලකුණු 6 ක් එකතුවන අතර වාරයේ වනිඳු හසරංග සහ ළහිරු මදුශංක දෙදෙනාම දැවී ගියහ. පන්දු යැවීමේදී ලොව අංක 1 පන්දු යවන්නා වන ටබ්‍රේස් ශම්සිට කඩුලු දවාගත නොහැකි වූ නමුත් සිය පන්දුවාර 4 ලකුණු 27 කදී නිමා කිරීමට ඔහු සමත්විය. බියෝන් ෆෝටේන් සහ කාගිසෝ රබඩා කඩුලු 2 බැගින් දවා ගනිද්දී ඒඩ්න් මාක්‍රම්, කේෂව් මහරාජ් සහ වියෑන් මල්ඩර් එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest