slc
Home   |    News
ඔක්තෝබර් 19, 2021
සදාකල් රැව්දෙන ‘වර්ණපුර’ නාමය

sinhala editor

By Chamila Karawita

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ බිහි වූ චරිත ගණනාවකි. ඒ අතරින් බන්දුල වර්ණපුරයන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ටෙස්ට් වරම් හිමිවීමෙන් පසු ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද පළමු නායකයා ලෙසින් කටයුතු කිරීම පමණක් නොව තවත් වාර්තාවන් රැසකටම වර්ණපුරයන් හිමිකම් කියා සිටියි. ඒ අතර එක්දින තරගවල දී පළමු ජයග්‍රහණය අත්කර දුන් කණ්ඩායමේ නායකයා ලෙසින් ද බන්දුල වර්ණපුර ඉතිහාසගත වීමට වාසනාවන්ත වී තිබේ. පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ආරම්භක පිතිකරුවා ඔහුය. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ පළමු පන්දුවට මුහුණ දුන් ක්‍රීඩකයා ඔහුය. ටෙස්ට් ලකුණ වාර්තා කළ ක්‍රීඩකයා ද වර්ණපුරයන්ය.එසේ කිසිවෙකුටත් බිඳ හෙළිය නොහැකි වාර්තාවන් ගණනාවකට හිමිකම් කියන, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වලින් කොටසක් බවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් වූ මේ අපමණ වටිනාකමකින් යුතු  බන්දුල වර්ණපුරයන් නොඑන්නම යන්න ගොසිනි.

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඔක්තෝබර් 18 වැනි දින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගයට හෝරා කීපයක් තිබියදී වර්ණපුරයන් මෙලොව හැර ගිය පුවත ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේ විදුලි වේගයෙනි. ඒ දශක ගණනාවක් පුරා ක්‍රිකට් ක්‍රීඩාව හා ඇලී ගැලී සිටිමින් මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් වල වර්ණපුරයන් ලැගුම් ගෙන සිටි නිසාවෙනි.

ඔහුගේ අභාවය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට නොමැකෙන පාඩුවකි. ක්‍රිකට් ක්‍රීඩාවට හදවතින්ම ආදරය කළ අය අතර ඉදිරියෙන්ම සිටි වර්ණපුරයන් කොළඹ නාලන්දා විදුහලෙහි ආදි ශිෂ්‍යයෙකි. කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදී අවසන් හුස්ම වා තළයට මුසු වන විට වර්ණපුරයන් 68 වැනි වියේ පසු වූවේය. ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් හිමිවූ අසූව මුල් භාගයේදී දැන් මෙන් රූපවාහිනි විකාශනය නොවුණු නමුත් ගුවන් විදුලිය හරහා ඔහු ක්‍රීඩා ලෝලීන්ගේ වීරයෙකු බවට පත්වූවේය.

වර්ණපුරයන්ගේ මංගල ඉනිම ලකුණු 02 කට සීමා වුවත් දෙවැනි ඉනිමේදී ලකුණු 38 ක් වාර්තා කිරීමට සමත්වූවේය. එය ඔහුගේ ටෙස්ට් තරග දිවියේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්ව තිබේ. 1975 සහ 1979 යන වසරවල එංගලන්තයේ පැවැති පළමු ලෝක කුසලාන 2 සඳහා සහභාගිවුණු කණ්ඩායමේ සාමාජිකයකු ලෙසින් කටයුතු කළ වර්ණපුර මහතා කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන ලද මංගල තරගයේදී හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 08 ක් ලබා ගන්නේය. ඒ මහතා විසින් එල්ල කරන ලද පළමු හතරේ පහර මෙරට එක්දින ක්‍රිකට් කරළියේ පිතිකරුවකු එල්ල කරන ලද පළමු හතරේ පහර ලෙසින් ඉතිහාස ගත වී තිබේ.

ඔහු ඇතුළු ක්‍රීඩකයින් 13 දෙනෙකු 1983 වසරේදී කැරළිකාර දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගිවීම හේතුවෙන් වර්ණපුරයන්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීම කෙටි හෙවත් ටෙස්ට් තරග දිවිය 4 කට සීමා විය. එම තරග අතර ඔහු රැස් කරගත්තේ ලකුණු 96 ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරග 12 කට ක්‍රීඩා කර ඇති දකුණත් පිතිකරුවා රැස් කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 80 ක් පමණි. කාලයාගේ ඇවෑමත් සමඟ එම තහනමින් මිදුණු වර්ණපුරයන් යළිත් 90 දශකයේ මුල් භාගයේදී යළිත් ක්‍රිකට් ක්‍රීඩාව හා ක්‍රියාකාරීව එක්වූවේය. ඒ ක්‍රීඩකයකු ලෙස නොව පරිපාලකයකු ලෙසිනි. ආසියානු ක්‍රිකට්ට් සම්මේලනයේ තරග තීරකවරයකු මෙන්ම විනිසුරුවරයෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ වර්ණපුරයන්,  1994 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ පුහුණු අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීමට පෙර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය. 2001වසරේදී ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂකවරයා ලෙස වසර 8 කට ආසන්න කාලයක් සේවය කරන වර්ණපුරයන් අනතුරුව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සංවර්ධන කළමනාකරු ලෙස පත්වීම් ලබන්නේය.

මාධ්‍ය සමඟද ඉතා කුළුපඟු ඇසුරක් පැවැත්වූ වර්ණපුරයන් අදටත් මෙරට සිංහල ක්‍රිකට් විස්තර විචාරයේ යෙදී සිටින විශේෂඥ විචාරකවරුන්ගේ මුල් ගුරුවරයා ලෙසින්ද කටයුතු කළේය. ක්‍රීඩකයකුව කටයුතු කරන අවධියට වඩා ඔහු විශේෂඥ විස්තර විචාරකයකු වශයෙන් ක්‍රීඩා ලෝලී කා අතරත් ඉමහත් ජනප්‍රියත්වයකට සහ ආදරයකට පාත්‍ර වූවේය.  

1953 වසරේ මාර්තු 01 වැනිදා රඹුක්කනදී මෙලොව එළිය දුටු බන්දුල වර්ණපුරයන් යනු මංගල ටෙස්ට් තරගයේදී ආරම්භක පිතිකරුවා ලෙසින් කටයුතු කිරීමට අමතරව ආරම්භක පන්දු යවන්නා ලෙසින් කටයුතු කළ බව දන්නේ අතොළොස්සකි. මංගල තරගයේ ආරම්භක පන්දු යවන්නා ලෙස අසන්ත ද මෙල් කටයුතු කරන විට අනෙක් අන්තයෙන් පන්දු යැවීම සිදුකරන ලද්දේ වර්ණපුරයන් වේ.

කොළඹ ආනන්ද – නාලන්දාව අතර පැවැත්වෙන ‘සුලෝහිත සංග්‍රාමය’ද වර්ණපුරයන් හා බැඳුණු සුන්දර මතක සටහන් වේ. ඒ අතර 1928 දී බී.එම්. ජයතිලකත්,  1950 වසරේදී කාල් ඔබේසේකරත් ලකුණු 111 ක් ලබා ගනිමින් සුලෝහිත සංග්‍රාමයේ පිතිකරුවකු ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද පසු කලෙක බිඳ හෙළන ලද්දේ වර්ණපුරයන් විසිනි. ඒ 1972 වසරේ පැවැති මහ තරගයේදී ලකුණු 118 ක් රැස් කිරීමත් සමඟය.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුව බලයට පත්වීම සඳහා අවසන් වරට පැවැති ක්‍රිකට් නිලවරණයේදී උප සභාපතිවරයකු ලෙසින් නාම යෝජනා භාර දුන්නද අවසන් මොහොතේදි වර්ණපුරයන් ඉල්ලා අස්වූවේය. ලොව පුරා ඉමත් ජනප්‍රියත්වයක් ලද ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේදීද වර්ණපුරයන් එහි ක්‍රියාකාරී සාමාජිකයකු ලෙසින් කටයුතු කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ උසස් සම්ප්‍රදාය ඉහළිම් අගය කළ අයෙක් වූ බැවිනි. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් කිසිත් කුහකත්වයක් නැතිව ඉදිරිපත් වූ අප කථා නායකයා එල්.පී.එල්. තරගාවලිය සංවිධානය කිරීම පිළිබඳව වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය සුභාශිංසන එක් කර සිටියේය.

මිය යන විටත් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කරන ලද වර්ණපුරයන් මේ වන විට අප අතරින් වෙන්වී ගොස් හමාරය. ක්‍රිකට් ලොව පුරාවෘත්තයක් වූ බන්දුල වර්ණපුරයන්ගේ නික්ම යෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ශෝකය පළ කර සිටින එහි සභාපති ශම්මි සිල්වා මහතා,  ‘දිවි ගමනෙන් සමුගත්තද ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් බන්දුල වර්ණපුරයන් සිදුකරන ලද සේවය සදාකල් අප සිත් සතන් තුළ රැඳෙනු ඇත’ යි යන්නයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest