slc
logo
Home   |    News
නොවැම්බර් 2, 2021
බට්ලර්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඈතට යයි

sinhala editor

By Chamila Karawita

ශ්‍රී ලංකාව මෙල්ල කිරීම සඳහා තමන් සතු හොඳම පන්දු යවන්නකුගේ සේවය අහිමි වුවද සෙසු පන්දු යවන්නන්ගේ දායකත්වය උපරිම ලබා ගත් එංගලන්ත නායක එයන් මෝගන් විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටය යටතේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ලකුණු 26 ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම රැගෙන ගියේය. මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර තරගාවලියේ අවසන් පූර්ව තරග වරම් දිනාගත් පළමු කණ්ඩායම බවටද එංගලන්ත පිල පත්විය.

තරගාවලියේ මීළඟ තරග වටය වන අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබා ගැනීමට තිබූ පහසුම අවස්ථාවද අද ලද පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට අහිමිව ගියේය. කෙසේ වෙතත් සෙසු කණ්ඩායම් ලබන ජය පරාජයන් අනුව ගණිතමය තත්ත්වයක් යටතේ තවමත් එම තරග වටයට සුදුසුකම් ලැබීමේ සියුම් අවස්ථාවක් ශ්‍රී ලංකාව හමුවේ පවතිනු ඇත.

ජයග්‍රහණය සඳහා ලකුණු 164 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. 14 වැනි පන්දුවාරය යැවීමේදී ඔවුන් සතු ප්‍රධාන පන්දු යවන්නකු වන ටිමාල් මිල්ස්ගේ සේවය එංගලන්ත කණ්ඩායමට අහිමිව යද්දී එම අඩුව පුරවාලූ සෙසු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 5ම ලකුණු 08 ක් ඇතුළත දවා ගනිමින් එංගලන්ත පිල අපරාජිතව අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට රැගෙන ගියහ.

පළමුව කඩුලු රැකීමෙන්ද පසුව පිතිකරණයෙන්ද පෙර පරිදිම කුසල් පෙරේරාගේ සේවය කණ්ඩායමට අහිමි වුවද ධෛර්යවන්ත වුණු ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් නායක දසුන් ශානක සහ වනිඳු හසරංග 6 වැනි කඩුල්ලට පන්දු 36 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් පවත්වමින් ජයග්‍රහණය පිළිබඳ සියුම් බලාපොරොත්තුවක් ඇති කරලීමට සමත්වූහ. එහෙත් ලෝන් ඕෆ් කළාපයේ පන්දු රැකි ජේසන් රෝයි සහ ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපයේ සිට ඒ වෙතට දිව ආ සෑම් බිලිංග්ස් එක්ව රැක ගන්නා ලද විශිෂ්ඨ උඩ පන්දුව හේතුවෙන් වනිඳුගේ ඉනිම හමාර විය. එතැන් පටන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට යළි හිස එසවීමේ අවස්ථාවක් නොමැති විය.

ඉනිමේ 8 වැනි පන්දුවාරයේදී ලබා දුන් උඩ පන්දුව ස්කෙව්‍යාර් ලෙග්හි පන්දු රැකි ක්‍රිස් වෝක්ස් අතින් ගිලිහී ගිලිහී යෑම මත ලකුණු 13 දී නවතින්නට තිබුණු ඉනිම තවදුරටත් දීර්ඝ කර ගැනීමට භානුක රාජපක්ෂ වාසනාවන්ත විය. එහෙත් ඉන් නිසි ප්‍රයෝජන ගැනීමට භානුකට නොහැකිවීමද ශ්‍රී ලංකා ඉනිමට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය.  

දඟ පන්දුවට මුහුණ දීමේදී අසීරුතාවයක් දක්වන එංගලන්ත පිලට එරෙහි තරගයේදී අතිරේක දඟ පන්දු යවන්නකු රහිතව ශ්‍රී ලංකා පිල අවතීර්ණවීමේ උපරිම වාසිය ලබා ගත් එංගලන්ත පිතිකරු ජොස් බට්ලර් ශ්‍රී ලංකා පිලේ වේග පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක් කරමින් සිය මංගල විස්සයි-20 ශතකය වාර්තා කර ගත්තේය.

එංගලන්ත ඉනිම ආරම්භයේදී දඟ පන්දු යවන්නන් කැපී පෙනෙන දස්කම් අතරට පැමිණීම නිසා එංගලන්ත පළමු කඩුලු 3 ම ලකුණු 36 කදී අහිමි විය. වාතාවරණය වටහා ගනිමින් පන්දුවට පහර දුන් බට්ලර් සහ නායක එයන් මෝගන්ට 12 වැනි පන්දුවාරය තෙක්ම හිස එසවීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී එංගලන්ත පිල කඩුලු 3 කට ලකුණු 36 කට නවතාලූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ 12 වැනි පන්දුවාරය තෙක්ම ලබා දී තිබුණේ ලකුණු 61 ක් පමණි.

කොයි මොහොතක හෝ තමන්ට අවස්ථාව එනු ඇතැයි අපේක්ෂා සහිතව පන්දුවට පහර දුන් එංගලන්ත පිතිකරුවෝ 13 වැනි පන්දුවාරය යැවූ චාමික කරුණාරත්නගෙන් ලද බුරුලත් සමඟ වැඩ ආරම්භ කළහ. එම පන්දුවාරයේදී ලකුණු 14 ක් උදුරා ගත් බට්ලර් සහ නායක මෝගන්, එතැන් පටන් සිය ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කළහ. දඟ පන්දු යවන්නන් දෙදෙනා වුණු මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග හැරුණු කොට සෙසු කිසිවකුට හිස එසවීමට ලබා නොදුන් දකුණත් – වමත් පිතිකරුවන් දෙපළ පන්දු 78 කදී වේගවත් ලකුණු 112 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩා වැටුණු එංගලන්ත ඉනිම ගොඩ ගත්හ. දඟ පන්දු යවන්නන් දෙදෙනා පන්දුවාර 8 ලකුණු 34 කට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වද්දී වේග පන්දු යවන්නන් වූ දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, චාමික කරුණාරත්න සහ දසුන් ශානක ක්‍රියාත්මක කරන ලද පන්දුවාර 12 දී ලකුණු 128 ක් රැස් කිරීමට එංගලන්ත පිතිකරුවෝ සමත්වූහ. එහිදී වේග පන්දු යවන්නන් දවා ගන්නා ලද්දේ එක් කඩුල්ලක් පමණක් වූ අතර එයද දුෂ්මන්ත චමීරට අයත් වූවකි. 

ඒ අතරතුරදී විස්සයි-20 තරග අංශයේ ලකුණු 2000 සීමාව ද පසු කර ගිය බට්ලර්, මුහුණ දුන් 47 වැනි පන්දුවේදී අර්ධ ශතකය සනිටුහන් කර ගත්තේය. මෙය එංගලන්ත පිතිකරුවකු විස්සයි-20 තරගයකදී වාර්තා කරන ලද මන්දගාමී අර්ධ ශතකය ලෙසින් සනිටුහන් විය. මන්දගාමී අර්ධ ශතකය වාර්තා කර ගත්තද සිය ශතකය කරා ගිය ගමනේදී රැස් කරන ලද ඉතිරි ලකුණු 51 ලබා ගැනීම සඳහා බට්ලර් වැය කරන ලද්දේ පන්දු 20 ක් පමණි. හයේ පහර 6 කින් සහ හතරේ පහර 6 කින් බට්ලර් සිය ඉනිම සරසා ගත්තේ අවසන් පන්දුවේදී එල්ල කරන ලද මීටර 93 ක් තරම් ඈත හයේ පහරද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

දෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු ජේසන් රෝයිව දවා ගත් වනිඳු ලකුණු ලබා ගැනීමට පෙරාතුවම ජොනී බෙයාස්ටෝව දවා ගනිමින් විස්සයි-20 අංශයේ කඩුලු 50 සීමාවට ළංවිය. ක්‍රීඩා කරන ලද 32 වැනි තරගයේදීම යළිත් නායක මෝගන්ගේ කඩුල්ල, තම 50 වැනි කඩුල්ල වශයෙන් දවා ගනු ලැබුවේ එම තරග අංශයේ වේගයෙන්ම එම සීමාව පසුකරන ලද පස්වැනි පන්දු යවන්නා බවට වනිඳු පත් වෙමිනි.

මීට අමතරව වනිඳු අද දිනයේදී තවත් සුවිශේෂී වාර්තාවක් තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගත්තේය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා අතරට අද දිනයේ පත් වනිඳු වසරක් ඇතුළත විස්සයි-20 තරග අංශයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙළන ලද පන්දු යවන්නාගේ වාර්තාවට හිමිකම් කීවේය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ඔස්ට්‍රේලියානු පිල නියෝජනය කරන ලද ඇන්ඩෘ ටේ වන අතර ඔහු 2018 වසරේදී කඩුලු 31 ක් බිඳ හෙළමින් එම වාර්තාවට හිමිකම් කීය. විස්සයි-20 ශ්‍රේණිගත කිරීමෙහි පළමු ස්ථානයේ පසු වන දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රේස් ශම්සිවද පසුකර ගිය වනිඳු මේ වන විට බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 34 කි.

මෙම තරගාවලියේ පිතිකරුවකු වාර්තා කරන ලද පළමු ශතකය ලෙසින්ද සටහන් වුණු බට්ලර්ගේ ශතකය මුහුණ දුන් 67 වැනි පන්දුවේදී වාර්තා කර ගත්තේය. එංගලන්ත ඉනිමේ අවසන් පන්දුවේදී ශතකයට ලකුණු 5 ක් ඈතින් සිටි දකුණත් පිතිකරුවා දුෂ්මන්ත චමීරට එරෙහිව හයේ පහරක් එල්ල කරමින් ශතකය වාර්තා කර ගනිද්දී තම ඉනිම හයේ පහර 6 කින් සහ හතරේ පහර 6 කින් සරසාගෙන සිටියේය. ලකුණු 93 ක් ලබා සිටියදී චමීරගේ පන්දුවකට ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංක වෙතින් ගිලිහී යෑමේ වාසිය ලබා ගත් මෝගන් එංගලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියකදී ශතකයක් ලද දෙවැනි පිතිකරුවා ලෙසින්ද ඉතිහාස ගත විය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar