slc
Home   |    News
නොවැම්බර් 4, 2021
ජයග්‍රහණයකින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන හමාර කරයි

sinhala editor

By Chamila Karawita

පන්දුවට පහරදීම, පන්දු යැවීම මෙන්ම පන්දු රැකීම යන තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම දක්ෂතා දැක්වීමට සමත්වීම නිසා පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගයේදී ඉකුත් වර විස්සයි-20 ලෝක ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 20 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (04 වැනිදා) සමත්වූහ.

මෙම තරගය ජය ගත්තද සුපිරි කණ්ඩායම් අතර තරග වටය යටතේ තරග 3 ක් පරාජයට පත්වීම නිසා ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි ගමන මඟ හැරෙනු ලබන නමුත්, සිදුවූ සුවිශේෂීතම සිදුවීම වන්නේ දිනෙන් දින ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඈතට ඇදී ගිය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ හදවත් යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාව වෙත ඇද බැඳ තබා ගැනීමට හැකියාව ලැබීමයි.

කණ්ඩායම් හැඟීම අතින් ඉතා ඉහළ මට්ටමක තිබුණු මෙම තරගයේදී සියලු දෙනාම අති විශිෂ්ඨ තරගයක නියැළෙමින් තරග වැදීමේ අතුරු ප්‍රතිඵලයක් වූයේ වත්මන් ලෝක ශූරයින් වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 ට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවතට යෑමට සිදුවීමය.

අත්දැකීම් අතින් ශ්‍රී ලංකාවට වඩා ගව් ගාණක් ඉදිරියෙන් සිටින කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලබා දුන් ලකුණු 190 ක අභියෝගය හඹා යෑමේදී නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ඔවුන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 169 ක් පමණි. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු ශිම්රන් හෙට්මයර් හුදෙකලා සටනක නිරත වෙමින් තරගය හමාර වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කර ගත්තේ ලකුණු 81 ක් රැස් කර ගනිමිනි. පන්දු 54 කට පමණක් මුහුණ දුන් වමත් පිතිකරුවා සිය ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කරගත්තේය.

අද තරගයට කැඳවූ බිනුර ප්‍රනාන්දු තම පළමු පන්දුවාරයේදීම ක්‍රිස් ගේල් (01) සහ එවින් ලුවිස් (08)කඩුලු 2 ක් දවා ගනිමින් සාර්ථක ප්‍රතිඵල ගෙන ඒමට සමත් වද්දී කොදෙව් ඉනිම ආරම්භය අසීරුතාවයට පත්විය. එතැනින් නොනැවතුණු ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ග්‍රහණය වැඩි කිරීම හැර කිසිදු බුරුලක් ලබා නොදුන්නේය. ශ්‍රී ලංකා පිලේ ප්‍රධානම තුරුම්පුව වුණු වනිඳු හසරංග අද දිනයේදීද කඩුලු 2 ක් දවා ගැනීමට සමත්වූවේය. ඒ සමඟම ඔහු මෙවර තරගවාරයේ තරග 8 කදී කඩුලු 16 ක් දවා ගැනීමට සමත්විය. වනිඳගේ එම දක්ෂතාවය විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියකදී පන්දු යවන්නකු දවා ගන්නා ලද වැඩිම කඩුලු සංඛ්‍යාවේ ලෝක වාර්තාව බවටද පත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ශ්‍රී ලංකාවේම අජන්ත මෙන්ඩිස්ය. ඔහු 2012 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී තරග 6 කට ක්‍රීඩා කරමින් කඩුලු 15 ක් බිඳ හෙළා එම වාර්තාවට හිමිකම් කීවේය.

ෂෝට් මිඩ් විකට් කළාපයේ පන්දු රැකි භානුක රාජපක්ෂගේ සුපිරි උඩපන්දු රැකීම හමුවේ රොස්ටන් චේස් ලකුණු 09 කට දැවී ගියේය. එම උඩ පන්දු රැකීම කෙතරම් විශිෂ්ඨ මට්ටමක පැවැතියේද කිවහොත් කඩුල්ල දවා ගත්තේ චාමික කරුණාරත්න වුවද එහි පූර්ණ ගෞරවය උඩ පන්දුව රැකි භානුක රාජපක්ෂට හිමිවිය යුතුය.

පෙරළා පැමිණී උඩ පන්දුවත්, බිනුරගේ පන්දුවකට ෂෝඩ් ෆයින් ලේග් කළාපයේ පන්දු රකිමින් සිටි මහීෂ් තීක්ෂණ අතින් ගිලිහී යෑම නිසා ලකුණු 5 දී සහ 10 දී නිකලස් පූරාන්ව දවා ගැනීමට තිබූ අවස්ථා අහිමිව ගියේය. ඉන් නිසි ප්‍රයෝජන ගත් පූරාන් පන්දු 33 කදී වේගවත් ලකුණු 46 ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඉනිමට ඇතුළත් කර ගනිමිනි. කිරන් පොලාර්ඩ්ව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දවා ගත් වනිඳු හසරංග තම පන්දුවාර 4 දී ලකුණු 19 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් බිඳ හෙළුවේය.

කොදෙව් නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත් ලකුණු 189 ගොඩ නැංවීමේ පූර්ණ ගෞරවය චරිත් අසලංක සහ පැතුම් අසලංකට හිමිවිය යුතුය. මොවුන් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ගොඩ නංවන ලද ලකුණු 91 ක සම්බන්ධතාව කොදෙව් කණ්ඩායමට ලකුණු 200 සීමාවට ආසන්න ඉලක්කයක් ලබා දීමට මුල් වූවේය.

මොවුන් දෙදෙනා පන්දුවට පහර  දෙද්දී තරගයේ සියළුම පාලනයන් මොවුන් සන්තකයේ තබා ගනිමින් පන්දුවට පහර දීම මනස්කාන්ත සිදුවීමක් බවට පත්විය. එහිදී පළමුවෙන්ම අර්ධ ශතකය වාර්තා කර ගත්තේ පැතුම් නිස්සංකය. මුහුණ දුන් 39 වැනි පන්දුවේදී පැතුම් අර්ධ ශතකය වාර්තා කර ගන්නා විට ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත්ව තිබිණ. මෙය පැතුම්ගේ විස්සයි-20 තරග දිවියේ තෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

අංක 3 පිතිකරණ ස්ථානයේ ගැටළුව විසඳමින් පන්දුවට පහර දුන් අසලංක ලකුණු 68 කින් ලකුණු පුවරුවට දායකත්වය ලබා දුන්නේය. පන්දු 41 ක් වැය වුණු එම කර්තව්‍යයේදී ඔහු හයේ පහරක් සහ හතරේ පහර 8 කින් ලකුණු රැස් කරගත්තේය. තරගාවලියේ වැඩි අවධානයක් දිනාගැනීමට සමත්ව සිටින පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ සිටින චරිත් අසලංක අද ක්‍රීඩා කරන ඉනිමත් සමග මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතරට පෙරමුණට පැමිණීමට සමත්වූවේය. මෙතෙක් තරග 6 කට ක්‍රීඩා කර ඇති හුරුබුහුරු වමත් පිතිකරුවා මේ වන විට ලකුණු 231 ක් ලබා සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 46.2 ක් රඳවා ගනිමිනි. ඔහුට එක් ස්ථානයක් පසුපසින් සිටින්නේ නිස්සංක වන අතර ඔහු තරග 8 කදී ලකුණු 221 ක් ලබා සිටින්නේය. 9 වැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයට සහභාගිවෙමින් සිටින අසලංක අද දිනයේ රැස් කරන ලද්දේ සිය දෙවැනි විස්සයි-20 අර්ධ ශතකය විය. මෙම ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානය ගෙන දුන්නේය.

කුසල් පෙරේරාගේ සාර්ථක ආරම්භයත් සමඟ ලකුණු රැස් කිරීමේ කාර්යයේ නිරත වූ ශ්‍රී ලංකා පිතිකරුවෝ නිතරම දැවැන්ත පහර කරා නොගියහ. එහෙත් ලකුණු ලබා ගැනීමේ ප්‍රහාරාත්මක වේගය පිළිබඳව අවධානය යොමු කරමින් පන්දුවට පහර දීම නිසා ලකුණු 100 සීමාව පන්දු 71 කදී සපුරා ගත්තේය. එතැන් පටන් ලකුණු ලබා ගැනීමේ වේගය වැඩි කල වමත් – දකුණත් පිතිකරු යුගලය ලකුණු 150 සීමාව සඳහා වැය කරන ලද්දේ පන්දු 31 කි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest