slc
Home   |    News
දෙසැම්බර් 7, 2021
‘ඇළහැර දැවැන්තයා’ ගාල්ල දිනවයි

sinhala editor

By Chamila Karawita

දෙවැනි වරට ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තරග 5 න් අතිශයින්ම තියුණු මුහුණුවරක් ගනු ලැබූ තරගය බවට පත්වුණු කැන්ඩි වොරියර්ස් පිලට එරෙහි පැවැති තරගයේ අවසන් පන්දු 18 දී ලකුණු 30 ක් ලබා ගැනීමේ අභියෝගය භාර ගත් ළහිරු මධුශංකගේ වේගවත් ඉනිම හේතුවෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අද (07 දා) රාත්‍රියේ අවස්ථාව උදාවිය.

ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 24 ක් අවශ්‍යව තිබියදී නායක භානුක රාජපක්ෂද දැවී ගියේය. එහෙත් වගකීම කරට ගත් මධුශංක තවත් පන්දු 4 ක් ඉතිරිව තිබියදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල කඩුලු 4 ක ජයක් කරා රැගෙන ගියේය. ඒ වෙනුවෙන් අනෙක් අන්තයෙන් පන්දුවට හර දුන් ධනංජය ලක්ෂාන්ද පන්දු 4 කදී ලකුණු 10 කින් දායකත්වය ලබා දුන්නේය.

ඇලහැර, බකමූණ කණිෂ්ට විදුහලින් පාසල් ගමන ආරම්භ කරමින් ජාතික කණ්ඩායමේ දොරගුළු විවර කර ගැනීමට සමත්ව සිටින ළහිරු මධුශංකගේ ඉනිම තරගය නිමා වන විට සටහන් වූයේ පන්දු 13 කදී ලකුණු 22 ක් වශයෙනි. ඇඟට නොදැනී හයේ පහර එල්ල කිරීමට දක්වනු ලබන දක්ෂතාවය හේතුවෙන් ‘ඇලහැර දැවැන්තයා’ ලෙසින් හඳුන්වනු ලබන ළහිරු මධුශංක රැස් කරන ලද ලකුණු සංඛ්‍යාවෙන් 16 ක්ම හයේ පහර 2 කින් සහ හතරේ පහරකින් ලබා ගත් ඒවා විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වුවද පිටත්ව යෑමට පෙර ඇතිවූ ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන ගමනට එක්වීමට තරම් ළහිරුට වාසනාවක් නොවීය. දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියේදී පන්දු රැකීමට යෑමේදී බෙල්ල ආශ්‍රිත වූ අස්ථියක වූ පිපිරීම හේතුවෙන් ළහිරුට ලෝක කුසලාන ගමන අහිමිවිය. එම තරගාවලියෙන් පසු පළමු වතාවට තරගාවලියකට සහභාගි වුණු ළහිරු යළිත් සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණි තරගය බවට මෙම තරගය සටහන් විය.

ලකුණු 143 ක ඉලක්කය හඹා යෑමේදී  ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී වේගවත් ලකුණු 62 ක් ලබා ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබා දුන්හ. එහෙත් කමිඳු මෙන්ඩිස් විසින් කුසල් මේන්ඩිස් වත් සචිඳු කොළඹගේ විසින් ධනුෂ්ක ගුණතිලක, මොහොමඩ් හෆීස් සහ සමිට් පටෙල්ගේ කඩුලු දවා ගැනීමට සමත්වීම නිසා තරගය යළිත් කණ පිට පෙරැළිණ.

ඒ වන විටත් තරගයේ පූර්ණ පාලනය කැන්ඩි වොරියරිස් පිල වෙත ලබා දීමට දඟ පන්දු යවන්නන් වුණු සචිඳු කොළඹගේ, චරිත් අසලංක සහ කමිඳු මෙන්ඩිස් සමත්වූහ. වේග පන්දු යවන්නන්ට පහර දීමේදී භානුක රාජපක්ෂ දක්වනු ලබන සුවිශේෂී දක්ෂතාවය නිසා ළහිරු කුමාරගේ සේවය ලබා ගැනීම අවධානම් බව ප්‍රතිවාදී නායක ඇන්ජලෝ පෙරේරා සිහියේ තබා ගත්තේය. එම තත්ත්වය නිසාම තමන් සතු වේග පන්දු යවන්නන් වුණු අල් අමීන් හොසේන් සහ ළහිරු කුමාරට එක් පන්දු වාරය බැගින් යවා නතර කිරීමට කැන්ඩි වොරියර්ස් නායකයාට සිදුවිය.

තමන් සතු සියළුම තුරුම්පු අවසන්ව තිබුණ හෙයින් අවසන් පන්දුවාරය යැවීමේ වගකීම නායක ඇන්ජලෝ පෙරේරාට භාර ගැනීමට සිදුවිය. එහි උපරිම ඵල නෙළාගත් ළහිරු මධුශංක අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට හයේ පහරකිනුත් දෙවැනි පන්දුවට හතරේ පහරකිනුත් සංග්‍රහ කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ කළේය.

හොඳම පිතිකරුවන් දෙදෙනකු වන කෙනාර් ලුවිස් (00) සහ චරිත් අසලංක (06) මුලු ලකුණු සංඛ්‍යාව 16 දී දැවී ගියත් තෙවැනි කඩුල්ලට අහමඩ් ශේසාඩ් එක් වුණු කමිඳු මෙන්ඩිස් පෙරමුණ බිඳවැටුණු කැන්ඩි වොරියර්ස් පිල ගොඩ ගැනීමේ කාර්යයේ නිරත විය. පන්දු 56 කදී ලකුණු 83 එක් කළ එම සම්බන්ධතාවයේදී කමිඳුගේ දායකත්වය පන්දු 25 කදී ලකුණු 32 කි.

එම සම්බන්ධතාව නිසා කැන්ඩි වොරියර්ස් පිල 13 වැනි පන්දුවාරය වන විට සාර්ථක ලකුණු වේගයක් රඳවා ගැනීමට සමත් වුවත් කමිඳුගේ දැවී යෑමත් සමඟ මැද පෙළේ අනපේක්ෂිත බිඳ වැටීමකට මුහුණ දුන්නේය. ලකුණු 99 ක් තිබියදී ධනංජය ලක්ෂාන්ගේ පන්දුවක් හමුවේ බෙන් ඩන්ක් උඩ පන්දුවක් රැක ගැනීම නිසා කමිඳු ලකුණු 32 කට පිටියෙන් ඉවත්ව ගියේ. අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ පෙරේරා (10), රොව්මන් පවෙල් (01) සහ අහමඩ් ෂේසාඩ් යන තිදෙනා ලකුණු 5 ක් ඇතුළත දවා ගැනීමට සමිට් පටෙල් සහ නූර් අහමඩ් සමත්වීම නිසා මීට වඩා ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට කැන්ඩි වොරියර්ස් පිලට තිබූ අවස්ථාව අහිමි විය.

කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි තිලකරත්න සම්පත් ඉෂාන් ජයරත්න එක්ව නුවන් තුෂාර යැවූ අවසන් පන්දුවාරයට ලකුණු 19 ක් රැස් කිරීමට සමත්වීම නිසා ලකුණු 144 ක ඉලක්කයක් ගෝල් ග්ලැඩියේටර් පිලට ලබාදීමට කැන්ඩි වොරියර්ස්ට අවස්ථාව උදාවිය. ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූ සම්පත් හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 9 කදී ලකුණු 19 ක් රැස් කර ගත්තේ ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

කැන්ඩි ඉනිමේ දැවී ගිය අවසන් කඩුලු 3 න් 2 කම හිමිකාරයා බවට පත් වුණු සමිට් පටෙල් සිය පන්දුවාර 4 නිමා කරන ලද්දේ ලකුණු 13 කට කඩුලු 3 ක් ලෙසිනි. පළමු තරගය අහිමිව දෙවැනි තරගයට ක්‍රීඩා කළ ධනංජය ලක්ෂාන් ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්තේය.

තරගයේ වීරයා – ධනංජය ලක්ෂාන්

ලකුණු සාරාංශය

කැන්ඩි වොරියර්ස් පන්දුවාර 20 කදී කඩුලු 6 කට ලකුණු 143 යි – (අහමඩ් ශේසාඩ් 56, කමිඳු මෙන්ඩිස් 32, ඇන්ජලෝ පෙරේරරා 10, තිලකරත්න සම්පත් 19, සමිට් පටෙල් 13/3, ධනංජය ලක්ෂාන් 11/1, නූර් අහමඩ් 22/1)

ගෝල් ග්ලැඩියේටර් පන්දුවාර 19.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 147 යි – (ධනුෂ්ක ගුණතිලක 45, කුසල් මෙන්ඩිස් 16, මොහොමඩ් හෆීස් 13, භානුක රාජපක්ෂ 22, ළහිරු මධුශංක 22*, ධනංජය ලක්ෂාන් 10, සචිඳු කොළඹගේ 20/3, චරිත් අසලංක 19/1, රොව්මන් පවෙල් 12/1)

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest