slc
logo
Home   |    News
දෙසැම්බර් 22, 2021
‘ජැෆ්නා කිංග්ස්’හි LPL ආධිපත්‍ය ‘ගෝල් ග්ලැඩියේටර්ස්’ බිඳ දමයිද…?

sinhala editor

Chamila Karawita reporting from Hambantota

දින 19 ක්  තිස්සේ ක්‍රියාත්මක තරග 23 ක් අවසානයේ 2021 වසරේ LPL ශූරයින් සොයන අවසන් මහ සටන යළිත් අභිනව තරගාවලියේ කාබන් කොපියකි. එහි අවසන් මහ සටනට භානුක රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර් පිලත්, තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් පිලත් පිට පිටම දෙවැනි වතාවටත් අවසන් මහ තරගයේ එදිරිවාදීහු බවට පත්ව සිටිති. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ප.ව. 7.30 ට ආරම්භ වන මෙම තරගයේදී ජය වාර්තා කරනු ලබන කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL 2021 ශූරයින් ලෙස කිරුළු පළඳිනු ඇත.

පළමු තරගාවලියේ මෙන් නොව මෙවර තරගාවලියේදී දෙපිළම කරට කර සටනකින් පසු ශූරතා කුසලාන උදුරා ගැනීමේ අවසන් සටනට සුදුසුකම් ලබා සිටිති. සමාරම්භක තරගයේදී වත්මන් ශූරයින් වන ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිය ජය වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම මෙතෙක් ඔවුන් මුණ ගැසී ඇති සෑම අවස්ථාවකදීම අපරාජිතව සිටීමට සමත්වීම කැපී පෙනෙයි. අවසන් මහ තරගය දක්වා වූ ගමන් මගේදී දෙපිළ අවස්ථා ත්‍රිත්වයකදී මුණ ගැසී ඇතත් ඒ සෑම අවස්ථාවකදීම ජැෆ්නා පිල පරාජයට පත් කිරීමට ගාල්ල සමත්වීම කැපී පෙනෙයි. මෙහි ඇති සුවිශේෂීතාව වන්නේ මූලික තරග වටය යටතේ ජැෆ්නා කිංග්ස් පිල පරාජයට පත් කරන ලද එකම කණ්ඩායම වූයේද ගෝල් ග්ලැඩියේටර්ස් පිල වීමයි.

තරග 3 ක් තිස්සේ ග්ලැඩියේටර්වරුන් හමුවේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට අපොහොසත්ව සිටින ජැෆ්නා කිංග්ස්වරුන් සිය පරාජිත ගමනට තිත තබමින් පිට පිටම දෙවැනි වතාවටත් ශූරතා කුසලාන තමන් සතු කර ගැනීමට හැකි උපරිමය හෙට දිනයේ යොදනු ඇත. කෙසේ වෙතත් මෙය ජැෆ්නා කිංග්ස්ට එරෙහිව අපරාජිත්තවය රැක ගැනීමට ගෝල් ග්ලැඩියේටර් හැකිවීම හෙට තරගයට ඔවුන්ට ඉතා හොඳ මානසික අස්වැසිල්ලක් වනවා නොඅනුමානය.

මේ පිළිබඳව අදහස් දක්වා සිටින ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා සඳහන් කර සිටියේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී ග්ලැඩියේටර් පිල හමුවේ වුණු වැරදි සියල්ල හදා ගනිමින් හෙට තරගයට අවතීර්ණ වන බවයි. “අපි අවසන් තරගය ජයග්‍රහණය කරපු නිසා හැමෝම ඉන්නේ හොද මානසිකත්වයක. අපිට ලොකු පීඩනයක් කර ගන්නේ නෑ. හෙට තරගයේදී අපේ කාර්යය භාරය ඉටු කළොත් අපිට ජයග්‍රහණය කරන්න පුලුවන්. ගාල්ලට එරෙහි අවසන් තරගයේදී අපේ දුර්වලතාවයන් වුණේ අපිට කෙටි ලකුණු සහ දෙකේ ලකුණු ලබා ගන්නවාට වඩා විශාල පහරවල් කරා යන්නයි. නමුත් දඹුල්ලට එරෙහි තරගයේදී ඒ දේ වෙනවා අපි දැක්කා. අපි කතා කරලා තියෙන දේවල් ක්‍රීඩා පිටියේදී කියාත්මක කළා. ඒකයි ඒ තරගය ජයග්‍රහණය කිරීමට හැකි වුණේ” යැයි තිසර වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පළමු තරගය පරාජයට පත් වුවත් ඊළඟට ක්‍රීඩා කළ තරග 6 ම එක පිට ජය වාර්තා කළ ජැෆ්නා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් සුදුසුකම් ලැබීමේ තරග වටයට පැමිණියේය. ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන දක්වා ඉදිරියට පැමිණි ග්ලැඩියේටර්වරුන් මූලික වටයේ සහභාගිවුණු තරග 8 න්  තරග 4 ක් ජයගෙන දෙවැනි වටයට සුදුසුකම් ලැබීය.

කණ්ඩායම් ශක්තිය දෙස බැලීමේදී දෙපිළේම තුන් ඉරියව්වෙන් කරට කරට සටනක සිටිති. මූලික වටයේදී ග්ලැඩියේටර්ස් පිල පිතිකරණයෙන් කිසියම් පසුබෑමක් පෙන්නුම් කළත් අවසානය වන විට සියළුම පිතිකරුවන් ලකුණු අතරට පැමිණීමට සමත්වීම නිසා මේ වන විට ඔවුන් පරිපූර්ණ කණ්ඩායමක් බවට පත්වී සිටියි.

“මේ තරගය ඇත්තටම ජාතික කණ්ඩායමකට එරෙහිව පැවැත්වෙන තරගයක් වගේ. අපි තරග ක්‍රීඩා කරපු තරග 3 ම ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඒ ජයග්‍රහණයත් සමඟ අපේ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ සිටිනවා. අපි තුන් වතාවක් ඔවුන්ව පරාජයට පත් කළත් කිසි විටෙකත් හෙට දිනයේදී අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක්. මොකද ඔවුන් කොයි තරම් හොඳට ක්‍රීඩා කරනවද කියන එක අපි හොඳින්ම දන්න නිසා. මේ තරගය සඳහා අපේ සූදානම ඉතාමත් හොඳයි. මේ තරගයත් තවත් එක් තරගයක් විදියට ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා” යැයිද තරගය පිළිබඳව ගෝල් ග්ලැඩියේටර්ස් නායක භානුක රාජපක්ෂ අදහස් දක්වා සිටියේය.

මෙතෙක් තරගාවලියේදී ක්‍රීඩකයින් දක්වා ඇති දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමේදී වැඩිම කඩුලු ලාභීන් අතර ග්ලැඩියේටර් පිලේ සමිට් පටෙලුත් ජැෆ්නා පිලේ මහීෂ් තීක්ෂණත් කඩුලු 15 බැගින් දවා පෙරමුණේ පසුවෙති. මහීෂ්ට වඩා අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාදී ඇති නිසා පටෙල්ට එහි පළමු ස්ථානය වෙන්වී තිබේ. ලොව හොඳම විස්සයි-20 පන්දු යවන්නා වන වනිඳු හසරංග ජැෆ්නා පිල සතු වුවත්, ඔහු සිටින්නේ එම සටහනේ 13 වැනි ස්ථානයේය. මහීෂ්ට වඩා කඩුල්ලක් පසුපසින් සිටින ජේඩ්න් සීල්ස් ද ජැෆ්නා කණ්ඩායමේ වැඩි බලාපොරොත්තුවකි. ඔහු ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහි සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා නොකළ නමුත් දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයට ක්‍රීඩා කරමින් ලකුණු 24 කට කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්වූවේය.

ඒ සමඟම ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන නුවන් තුෂාර ග්ලැඩියේටර් පිල වෙනුවෙන් කඩුලු 11 ක් බිඳ හෙළා 8 වැනි ස්ථානයේ පසු වන අතර ඔහුද මෙවර තරගාවලියේදී ප්‍රතිවාදී පිතිකරුවන්ට දැඩි බලපෑමක් ඇති කරන ලද පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම පසුවීම ග්ලැඩියේටර් බලාපොරොත්තු ඉහළ නංවන්නක් වේ.

පිතිකරණ ශක්තිය පිළිබඳව අවධානය යොමු කිරීමේදී කුසල් මෙන්ඩිස් සහ තරගාවලියේ එකම ශතක ලාභියා වන අවිෂ්ක ප්‍රනාන්දු දෙපිළේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්ව සිටිති. සමස්ථ සටනට ආදේශ කිරීමේදී කුසල් තරග 9 කදී ලකුණු 288 ක් ලබා දෙවැනි තැනත අවිෂ්ක තරග 9 කදී ලකුණු 249 ක් ලබා තෙවැනි තැනද පසුවෙති. පළමු තරග කීපයේදී සෙසු පිතිකරුවන් දක්ෂතා අතරට ඒමට සමත්වද්දී ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ ගිය වර වැඩිම ලකුණු ලාභියා වූ ධනුෂ්ක ගුණතිලකද අවසන් මොහොතේදී ලකුණු අතරට පිවිස සිටීම ග්ලැඩියේටර් බලාපොරොත්තු ඉහළ නංවන්නකි.

මූලික තරග වලදී නායක තිසර පෙරේරා ලකුණු අතරට පැමිණීමට සමත්වීම ජැෆ්නා කණ්ඩායමේ ජයග්‍රහණයන් පහසු කරවූ නමුත් අවසන් තරග කීපයේදී ඔහු කිසියම් පසුබෑමකට මුහුණ දුන්නේය. තරගාවලියට වැඩිම පෙර සූදානමක් සහිතව අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් පිලට කුසලාන බලාපොරොත්තු රඳවා ගැනීමට නම් තිසර දක්ෂතා අතරට පැමිණීම වඩාත් යෝග්‍ය වනු ඇත.

ආබාධයකට ලක්වීම නිසා කඩුලු රැකීමේ කාර්යය අතපසු වුණු රාමනුල්ලා ගුර්බාස්ගේ තත්ත්වය යහපත් බව සඳහන් වන නමුත් හෙට තරගයට ඔහුගේ දායකත්වය සැක සහිත වේ. කෙසේ වෙතත් භෞත චිකිත්සක උපදෙස්වලට අනුව ඔහුගේ සේවය ලබා ගැනීම කෙරෙහි ජැෆ්නා කළමනාකාරීත්වය දැඩි උනන්දුවකින් පසුවෙයි. ගාල්ල කණ්ඩායමට එරෙහි පළමු සුදුසුකම් ලැබීමේ තරගයට ගුර්බාස් ක්‍රීඩා නොකළ නමුත් දෙවැනි තරගයේදී පන්දු 40 කදී ලකුණු 70 ක් ලබා ජැෆ්නා ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ඔහු ලබා දුන්නේය.

හෙට තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ගෝල් ග්ලැඩියේටර්ස් – 1. කුසල් මෙන්ඩිස්, 2. ධනුෂ්ක ගුණතිලක, 3. අන්වර් අලී, මොහොමඩ් හෆීස්, 5. භානුක රාජපක්ෂ, 6. සමිට් පටෙල්, 7. සහන් ආරච්චිගේ, 8. ඉසුරු උදාන, 9. පුලින තරංග, 10. නුවන් තුෂාර, 11. මොහොමඩ් අමීර්.

ජැෆ්නා කිංග්ස් – 1. රාමනුල්ලා ගුර්බාස්, 2. අවිෂ්ක ප්‍රනාන්දු, 3. ටොම් කොලර්-කැඩ්මෝර්, 4. අෂේන් බණ්ඩාර, 5. ෂොයෙබ් මලික්, 6. තිසර පෙරේරා, 7. චතුරංග ද සිල්වා, 8. වනිඳු හසරංග, 9. ජේඩ්න් සීල්ස්, 10. සුරංග ලක්මාල්, 11. මහීෂ් තීක්ෂණ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee