slc
logo
Home   |    News
දෙසැම්බර් 20, 2021
ජැෆ්නා කිංග්ස් පැරදවූ ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහ සටනට

sinhala editor

Chamila Karawita reporting from Hambantota

එල්.පී.එල්. තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව බවට පත්වූ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකගේ ලකුණු 121 ක සම්බන්ධතාවත් මෙවර තරගාවලියේ කඩුලු 5 ක් දවා ගන්නා ලද දෙවැනි පන්දු යවන්නා බවට නුවන් තුෂාර පත්වීමත් ප්‍රධාන කොට Play off තරග වටයේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ජැෆ්නා කිංග්ස් පිලට එරෙහිව ලකුණු 64 ක ජයක් වාර්තා කළ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලබන 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (19 වැනිදා) රාත්‍රියේ සමත්විය.

ග්ලැඩියේටර්ස් පිල හමුවේ ජැෆ්නා කිංග්ස් පිට පිට ලද තෙවැනි තරග පරාජය බවටද පත්වූ මෙම තරග පරාජයත් සමඟ ඔවුන් එලිමිනේටර් තරගයේ ජයග්‍රාහකයින් වූ දඹුල්ල ජයන්ට්ස් පිල සමඟ තරග වදිනු ඇත. ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත එම තරගයේ ජයග්‍රාහකයින් ලබන 23 වැනිදා ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමඟ වූ අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබනු ඇත.

පන්දු 120 කදී ලකුණු 189 ක අභියෝගය හෙවත් පන්දුවාරයකට ලකුණු 9.40 කට වඩා වැඩි දළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය ඇතිව පිටියට පිවිසි ජැෆ්නා කිංග්ස් පිතිකරුවන්ට ප්‍රබල ග්ලැඩියේටර් පන්දු යවන්නන් හමුවේ පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 124 ක් පමණි.

එම හඹා යෑමේදී පළමු පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් තරගයට අවතීර්ණ වීමට අවිෂ්ක ප්‍රනාන්දු සමත් වුවත් අමීර් එවූ ඊළඟ පන්දුවේදීම දැවී යෑම නිසා ආරම්භය බිඳ වැටිණ. ප්‍රබල පිතිකරුවන් රැසකගෙන් ජැෆ්නා පිල සමන්විත වුවත් රාමනුල්ලා ගුර්බාස් සහ අංක 7 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි වනිඳු හසරංග හැරුණු කොට සෙසු එකම පිතිකරුවකට ලකුණු 10 සීමාවට ළඟා වීමට ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.

පන්දු 37 කට මුහුණ දුන් ගුර්බාස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 59 ක් ලබා සිටියදී තුෂාරගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාර අනතුරුව වටිනාම පිතිකරුවකු වූ ටොම් කොලර්-කැඩ්මෝර් (04) ගේ කඩුල්ල දවා ගත්තේය.

පළමු පන්දුවාර 3 දී ලකුණු 13 ක් පමණක් ලබා දෙමින් සිව්වැනි පන්දුවාරය යැවීමට 17 වැනි පන්දුවාරයේදී පැමිණි තුෂාර පළමු පන්දුවේදී වනිඳු හසරංගවද  (29), තෙවැනි පන්දුවේදී වහාබ් රියාස්වද (01) සහ පස්වැනි පන්දුවේදී මහීෂ් තීක්ෂණවද දවා ගනිමින් සිය පන්දුවාර 4 නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 13 කට කඩුලු 5 ක් ලෙසින් සටහන් කර ගත්තේය. මෙය මෙතෙක් එල්.පී.එල්. තරග ඉතිහාසයේ පන්දු යවන්නකු කඩුලු 5 ක් දවා ගත් තෙවැනි අවස්ථාව ලෙසින්ද සනිටුහන් විය.

තිසරගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ග්ලැඩියේටර්ස් පිල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළ ගුණතිලක – මෙන්ඩිස් පවර් අධිවේගී (Power play) පන්දුවාර 6 ට ලකුණු 61 ක සම්බන්ධතාවක් ගොඩ නැංවූහ. එතැනින් නොනැවතුණු ඔවුහු පළමු කඩුල්ලේ සම්බන්ධතාව වෙනුවෙන් ලකුණු 100 කඩඉම 66 පන්දුවේදී ඉක්මවා ගියහ. පන්දු 80 ක් පමණක් වැය වුණු මොවුන් දෙදෙනාගේ පළමු කඩුල්ලේ වූ ලකුණු 121 ක සම්බන්ධතාව මෙතෙක් එල්.පී.එල්. තරග ඉතිහාසයේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළම ලකුණු සම්බන්ධතාවය ලෙසින් සටහන් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව ලකුණු 110 ක සම්බන්ධතාවක් පැවැත්වූ ජැෆ්නා කිංග්ස් පිලේ ටොම් කොලර්-කැඩ්මෝර් සහ උපුල් තරංග විය.  

තරගයට මෙන් ලකුණු රැස් කළ ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතරින් පළමුව ලකුණු 50 සීමාව ඉක්මවා ගියේ ගුණතිලකය. ඔහු ඒ සඳහා පන්දු 34 ක් වැය කළේය. ෂොයෙබ් මලික්ට එරෙහිව එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ගුණතිලක මෙවර තරග වාරයේ පළමු අර්ධ ශතකයට හිමිකම් කියද්දී ඊට පන්දුවකට  පසු මෙන්ඩිස් සිය අර්ධ ශතකය සපුරා ගත්තේය. පන්දු 42 කට මුහුණ දුන් ගුණතිලක ලබා ගන්නා ලද ලකුණු 55 ට හයේ පහරක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් කරගෙන තිබුණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මෙන්ඩිස් 19 වැනි පන්දුවාරයේදී සිය ඉනිම නිමා කරන විට ලකුනු පන්දු 53 කට මුහුණ දී ලකුණු 85 ක් රැස් කරගෙන සිටියේය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 කින් සිය ඉනිම සරසා ගත් දකුණත් ආරම්භක පිතිකරුවා අද රැස් කර ගන්නා ලද්දේ සිය විස්සයි-20 තරග දිවියේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව විය. මෙවර එල්.පී.එල්. තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය බවට පත්වූ මෙම ඉනිමත් සමඟ මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමටද මෙන්ඩිස් දැන් සමත්ව සිටියි. තරග 9 කට සහභාගිව සිටින මෙන්ඩිස් ප්‍රහාරක වේගය 150.00 ක් රඳවා ගනිමින් මුලු ලකුණු 288 ක් ලබා සිටියි.

තිසර පෙරේරාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ගුණතිලක 14 වැනි පන්දුවාරයේදී දැවී ගියද අනෙක් අන්තයේ සිටි මෙන්ඩිස් පන්දුවෙන් පන්දුවට ලකුණු අතර සිටීම නිසා ග්ලැඩියේටර්ස් පිලට පහසුවෙන්ම ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට හොඳින්ම අවකාශ තිබිණ. එහෙත් 15 වැනි පන්දුවාරය ලකුණු 7 කටත් 17 වැනි  වැනි පන්දුවාරය ලකුණු 8 කටත් සීමා කිරීමට පන්දු යැවූ වනිඳු හසරංග සමත්වීම නිසා ග්ලැඩියේටර්ස් පිල පවත්වාගෙන ආ වේගය අඩාල විය.

පිතිකරණ පිළිවෙළේ උසස්වීමක් ලබමින් අංක 3 ස්ථානයෙන් පැමිණි අන්වර් අලී පන්දු 7 කදී ලකුණු 12 ක්ද නායක භානුක රාජපක්ෂ අවසන් පන්දු වාරය යැවූ වහාබ් රියාස්ට එරෙහි පිට පිට එල්ල කරන ලද හයේ පහර 2 ත් සමඟ පන්දු 15 කදී වේගවත් ලකුණු 25 ක් ලබා ලකුණු පුවරුව ඉහළ දැම්මේය. ග්ලැඩියේටර්වරුන් පිතිකරුවන්  පන්දු යැවීමට පැමිණි සෑම ජැෆ්නා පන්දු යවන්නකුම පන්දුවාරයකට ලකුණු 8.5 කට වඩා වැඩියෙන් රැස් කිරීමට සමත්වීම කැපී පෙනුණි. ඔවුන් සතු හොඳම පන්දු යවන්නන් වූ මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග හමුවේ කඩුලු ලබා නොදීමට වග බලා ගත් ග්ලැඩියේටර්වරුන් එම පන්දුවාර 8 දී ලකුණු 67 ක් උදුරා ගැනීමට සමත්විය. තිසර පෙරේරා සහ වහාබ් රියාස් කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී සුරංග ලක්මාල් එක් කඩුල්ලක් බිඳ හෙළුවේය.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස්

ලකුණු සාරාංශය

ගෝල් ග්ලැඩියේටර්ස් පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 188 යි – (කුසල් මෙන්ඩිස් 85, ධනුෂ්ක ගුණතිලක 55, භානුක රාජපක්ෂ 25, අන්වර් අලී 12, වහාබ් රියාස් 39/2, තිසර පෙරේරා 36/2, සුරංග ලක්මාල් 29/1)

ජැෆ්නා කිංග්ස් පන්දුවාර 16.5 කදී සියලු දෙනා දැවී ලකුණු 124 යි – (රාමනුල්ලා ගුර්බාස් 59, වනිඳු හසරංග 29, නුවන් තුෂාර 13/5, ඉසුරු උදාන 19/1, පුලින තරංග 13/1, අන්වර් අලී 03/1)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar