slc
logo
Home   |    News
දෙසැම්බර් 30, 2021
පන්දු යවන්නෝ ආසියානු අවසන් මහ සටනට යොවුන් පිල රැගෙන යති

sinhala editor

ආසියානු ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ආසියානු යොවුන් කුසලාන පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු යොවුන් පිල ලකුණු 22 ක පරාජයකට ඇද දැමූ දුනිත් වෙල්ලාලගේගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රීඩකයෝ ඉන්දියාවට එරෙහිව දෙසැම්බර් මස 31 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට අද (30 දා) සමත්වූහ.

ඩුබායිහි පැවැති මෙම තරගයේදී අඩු ලකුණු සංඛ්‍යාවන් පදනම්ව ජයග්‍රහණය තීරණය වීම කැපී පෙනිණ. වෙනදා පිතිකරුවන් මත යැපෙමින් ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකා යෞවනයන් අද ජයග්‍රහණයේ පූර්ණ ගෞරවය ට්‍රෙවීන් මැතිව් ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා මත පදනම්විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 44.5 කදී ලකුණු 147 කට සීමා කිරීමට පාකිස්තානු පන්දු යවන්නන් සමත් වද්දී, පිතිකරණයේ වගකීමට අමතරව පන්දු යැවීමේ වගකීමද කරට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තානු පිල පන්දුවාර 49.5 කදී ලකුණු 125 කට සීමා කළහ.

පාකිස්තානු පිතිකරුවන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ට්‍රෙවීන් මැතිව්ස් සහ නායක දුනිත් වෙල්ලාලගේ කැපී පෙනුණි. එහිදී වැඩිම දක්ෂතාවයක් පෙන්නුම් කළ මැතිව් සිය පන්දුවාර 10 දී නිලකුණු පන්දුවාර 3 ක්ද සමඟ ලකුණු 14 කදී කඩුලු 4 ක් දවා ගත්තේය. පාකිස්තානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අහමඩ් ඛාන්ගේ තීරණාත්මක කඩුල්ල දවා ගත් නායක දුනිත් වෙල්ලාලගේ දැවී ගිය ප්‍රතිවාදී කඩුලු 10 න් 3 ක හිමිකරුවා බවට පත්වූවේය.

මැතිව් ඇතුළු පන්දු යවන්නන් විසින් පාකිස්තානු ඉනිමේ පළමු කඩුලු 6 ම ලකුණු 70 කදී බිඳ දැමීමට සමත් වුවත් අහමඩ් ඛාන් පාකිස්තානු පිල ඉදිරියට රැගෙන ගියේය. එහෙත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුව අහමඩ් දැවී යන විට ලකුණු 36 ක් ලබා සිටියේය. ඒ වන විටත් පාකිස්තානු ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතියේ ලකුණු 29 ක් පමණි. තරගය මුළුමනින්ම ශ්‍රී ලංකාව දෙසට හැරුණු අවස්ථාවක් ලෙස එම දැවී යෑම සඳහන් කළ හැක.

පන්දුවට පහර දීමේදීද පිතිකරුවන් වගකීම හරි හැටි ඉටු කරන ලද්දේ පන්දු යවන්නන් වීම විශේෂත්වයක් විය. මුලු ලකුණු සංඛ්‍යාව 70 ක් වන විට නායක වෙල්ලාලගේද දැවී යෑම යොවුන් පිලට ප්‍රබල පාඩුවක් විය. එහෙත් ඉනිමේ අවසන් පිතිකරුවනු තිදෙනා වූ යසුරු රොද්‍රගෝ (31), මතීෂ පතිරණ (31) සහ ට්‍රෙවීන් මැතිව් (12) එක්ව ලකුණු 74 ක් ගොඩ නඟමින් යොවුන් ලකුණු පුවරුව ලකුණු 150 සීමාව ආසන්නයට රැගෙන ගියහ. මෙම තරගයේ වීරයා ලෙසින් පිත්තෙන් ලකුණු 12 ක් සහ පන්දුවෙන් කඩුලු 4 ක් දවා ලූ ට්‍රෙවීන් මැතිව් නම් කෙරිණ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යොවුන් පිල  පන්දුවාර 44.5 කදී සියලු දෙනා දැවී ලකුණු 147 යි (යසුරු රොද්‍රගෝ 31*, මතීෂ පතිරණ 31, ට්‍රෙවීන් මැතිව් 12, පවන් පතිරාජ 11, චමිඳු වික්‍රමසිංහ 12, අනජල බණ්ඩාර 13, සදීෂ රාජපක්ෂ 11, සීශාන් සමීර් 32/4, අහමඩ් ඛාන් 26/2, අවයිස් අලි 27/2, අර්හාම් නවාඩ් 21/1, මාස් සදාකාත් 18/1)

පාකිස්තානු යොවුන් පිල පන්දුවාර 49.3කදී සියලු දෙනා දැවී ලකුණු 125 යි (අහමඩ් ඛාන් 36, අර්හාම් නවාබ් 11, මුහමඩ් ශේසාඩ් 30, කසීම් අක්‍රම් 19, අර්ෆාන් ඛාන් 13, ට්‍රෙවීන් මැතිව් 14/4, දුනිත් වෙල්ලාලගෙග් 31/3, රවීන් ද සිල්වා 23/1, ෂෙවෝන් ඩැනියෙල් 15/1, මතීෂ පතිරණ 8/1)

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee