slc
logo
Home   |    News
දෙසැම්බර් 5, 2021
LPL දෙවැනි දිගහැරුම අභිමානවත් ඇරඹුණු වගයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ තවත් ඉදිරි පියවරක් තබමින් ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිග හැරුම දෙසැම්බර් 05 වැනිදා, ඉරිදා රාත්‍රීයේ ආරම්භවූයේ දේශීය සංස්කෘතියට සහ හෙළ ජාතික අභිමානය ඔප්නංවමිනි. සජීවි ලෙස විකාශනය වුණු මෙම විචිත්‍රවත් සමාරම්භය දේශීය උඩරට, පහතරට නර්තනයන්, සක්, බෙර හඬ , මඟුල් බෙර ආදී  අපටම ආවේණික වූ රංගනයන්ට මුල් තැන ලබා දෙමිනි.

“ක්‍රිකට් ලොව කළඹා, පිටිය යළි සරසා, එක්ව ජය ගමු, ලොවම ජය ගමු, සිංහ නද පතුරා” තේමා ගීතය ක්‍රීඩාංගණයට රැස්ව සිටි ක්‍රීඩා ලෝලීන් අතර පමණක් නොව එය නැරැඹු දේශීය ලක්ෂ සංඛ්‍යාත ජනකායට දේශීය අභිමානය රැගෙන ගිය අවස්ථාවක් විය.

2021 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නිල වශයෙන් ආරම්භවූ බව ප්‍රකාශයට පත්කෙරෙන නිල ප්‍රකාශය ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් සිදුකිරීමට නියමිතව තිබුණත් යෞවන වියෙහි අමාත්‍යවරයා එය දිනේෂ් ප්‍රියන්ත හේරත් යුද හමුදා නිලදරුවා වෙත භාර කළේ පසුගිය ටෝකියෝ පැරා ඔලිම්පික් උළලේදී දිනේෂ් හෙල්ල විසිකිරීමේ තරගයේදී ශ්‍රී ලංකාවට ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම දිනා ලක්මැණියන් රනින් බැබළවු ගෞරවයට උපහාරයක් ලෙසිනි.

දෙවැනි එල්.පී.එල් සූරතාව දිනා ගැනීමට තරග වදින් ජැෆ්නා කින්ග්ස්, ගෝල් ග්ලැයේටර්ස්, දඹුල්ල ජයන්ට්ස්, කැන්ඩි වොරියර්ස් සහ කළම්බු ස්ටාර්ස් කණ්ඩායම් පහේ ක්‍රීඞකයන් තම ප්‍රදේශවලට ආවේණික ලාංඡන සහිතව වර්ණ ඇඳුමින් සැරැසී සමාරම්භක උළලේ පසෙකින් පෙළ ගැසිණි.

දේශීය නැටුම් ගැයුම් බෙරවාදන සමාරම්භ උලෙළ විචිත්‍රවත් කිරීමත් සමඟ තේමා ගීතය භාෂා කිහිපයකින් ගයන ලද්දේ භාතීය සංතූෂ් සමඟ මෑතකදී ගීත කරළියට පැමිණි යොහානි ද සිල්වා ඇතුළු ගායක ගායිකාවන් විසිනි.

උත්සවය ආරම්භයේදී පිළිගැනීම කතාව පවත්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සැම පිළිගනිමින්, දෙවැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සාර්ථක කර ගැනීමට අතහිත පෑ සියල්ලන්ටත් කෘතඥතාව පළ කළේය. මෙවැනි ජාත්‍යන්තර තරගාවලියක් සාර්ථකව සංවිධානය කිරීමට මුල්වූ ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, LPL තරගාවලි අධ්‍යක්ෂක ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න, උප සභාපති ජයන්ත ධර්මදාස සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු ඇතුළු ක්‍රිකට් විධායක කමිටුවේ සියලු නිලධාරීන් එහි එක්ව සිටියහ.

පසුගිය වසරේ පැවැති ප්‍රථම එල්.පී.එල් තරගාවලියේදී ජාත්‍යන්තර කරලියට පිවිසි වනිඳු හසරංග, චරිත් අසලංක, පැතුම් නිශ්ශංඛ, මහීෂ් තීක්ෂණ , ධනංජය ලක්ෂාන් වැනි යෞවනයන් එදා සිට මේ දක්වාම තම මව්බිමට ගෙන ආ කීර්තිය ක්‍රීඩා ලෝලීනට අමතක නොවන අතර එවැනි තවත් පිරිසකගේ ආගමනය ක්‍රීඩාලෝලීනගේ අපේක්ෂාවයි.

ක්‍රීඩා විචාරකයන් මෙහිදී පුන පුනා කී වදන් කිහිපයක් වනුයේ මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණමය යුගයක තවත් සමාරම්භයක් සමඟම තම දක්ෂතා ලොවට පෙන්වීමට මෙතෙක් අවස්ථාවක් නොලැබුණු යම් ක්‍රීඩක පිරිසක් ඇත්නම් මේ තරගාවලිය ඔවුනට තම හැකියාවන් පෙන්වීමට කදිම අවස්ථාවක් බවයි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest