slc
logo
Home   |    News
ජනවාරි 26, 2022
ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

sinhala editor

By Chamila Karawita

පෙබරවාරි 11 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නම් කරන ලද ක්‍රීඩකයින් බොහෝමයක් නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ වෙති.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද 20 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකවද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වේ. ඉකුත් වසරේ පැවැති එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුල කඩ කිරීමේ වරදකරුවන්වීම හේතුවෙන් ගුණතිලකට අමතරව කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. සිම්බාබ්වේට එරෙහිව පැවැති අවසන් එක්දින තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාවම ජාතික සංචිතයට කැඳවුම් ලැබුවත් ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා කුසල් මෙන්ඩිස් පමණක් ඇතුළත්ව සිටියි.

කණ්ඩායමට එක්ව සිටින නවක මුහුණු අතර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාගේ සම්මානයෙන් පිදුම් ලද ජනිත් ලියනගේද විස්සයි-20 කණ්ඩායමට එක්ව සිටියි. ඊට අමතරව නවක ආරම්භක පිතිකරුවකු වන කඩුලු රකින කමිල් මිශාර සහ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාරද කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

දඹුල්ල ජයන්ට්ස් පිල නියෝජනය කළ ජනිත් ලියනගේ තරග 4 කදී අර්ධ ශතක 2 ක් සමඟ මුලු ලකුණු 108 ක් රැස් කර ගනිමින් නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත්විය. ජනිත් ලියනගේව මීට පෙර සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද නමුත් කොවිඩ් වෛරසය ආසාධනය වීම නිසා අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ බැවින් එම ස්ථානයට කුසල් මෙන්ඩිස්ව ආදේශ කෙරිණ. ඔහුට අමතරව කණ්ඩායමට එක්ව සිටින වුන් තුෂාරද එල්.පී.එල්. තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරමින් තරග 8 කදී කඩුලු 12 ක් බිඳ හෙළීමට සමත්වූවේය.

මේ අතර මීට පෙර කණ්ඩායමේ උප නායකත්වයට පත්ව සිටි ධනංජය ද සිල්වා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් කර නොමැති අතර උප නායකත්වය චරිත් අසලංකට ලබා දී තිබේ. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට ඇතුළත්ව සිටි භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ළහිරු මදුශංක, කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ පුලින තරංග යන ක්‍රීඩකයින් 7 දෙනාට කණ්ඩායමේ ස්ථාන අහිමිව තිබේ.

ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග නැවතත් කණ්ඩායමට පැමිණ සිටින අතර ඔහුට අමතරව තවත් පා දඟ පන්දු යවන්නකු වන ජෙෆ්රි වැන්ඩර්සිද කණ්ඩායමට එක් කර තිබීම විශේෂත්වයකි. වනිඳු රහිතව ක්‍රීඩා කරන ලද සිම්බාබ්වේ පිලට එරෙහි තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියා බවට පත්වූයේ වැන්ඩර්සි වේ.

කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් 20 දෙනාගෙන් ශිරාන් ප්‍රනාන්දුට හැර සෙසු සියලු දෙනාටම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට ශිරාන් ප්‍රනාන්දුගේ නම ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යවා තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිශාර, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ළහිරු කුමාර, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සි,  ප්‍රවීන් ජයවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee