slc
logo
Home   |    News
ජනවාරි 15, 2022
වෙල්ලාලගේ සහ ලියනගේ සමාරම්භක දිනයේම ලංකා යොවුන් පිලට පහසු ජයක් ගෙන එති

Sri Lanka Cricket

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ලකුණු 27කට කඩුලු පහක් දවාලීමෙන් සහ අංක හය පිතිකරු සකුණ ලියනගේ ලකුණු 85ක් රැස්කිරීම දායක කරගනිමින් ලංකා යොවුන් කණ්ඩායම 19න් පහළ ලෝක කුසලාන සමාරම්භක දිනයේම (14) ස්කොට්ලන්තය පහසුවෙන්ම පරජයට පත්කළේ ලකුණු 40කිනි.

ගයානාවේ එවරස්ට් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගයේදී මුලින් පන්දුවට පහරදී පන්දුවාර 45.2කදී ලංකා යොවුන් කණ්ඩායම ලබාගත් ලකුණු 218ට පිළිතුරු ලෙස ස්කොට්ලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 48.4කදී සියලු පිතිකරුවන් දැවී රැස්කළේ ලකුණු 178කි.

2022 ලෝක කුසලාන 19න් පහළ ක්‍රිකට් තරගාවලිය සෙනසුරාදා (14) බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ආරම්භ වූයේ ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත තරගයෙන් (එවරස්ට් ක්‍රීඩාංගණය) සහ ඕස්ට්‍රේලියා – බටහිර ඉන්දීය කොදෙව් (ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණය) තරගයෙනි.

ලකුණු 219ක ඉලක්කයක් කරා යද්දී ස්කොට්ලන්තය පන්දුවාර 35කදී ලකුණු 105ක් ලබා සිටින අවස්ථාවේ ප්‍රබලම කඩුලු පහක්ම දැවී ගොස් සිටි හෙයින් ඔවුනට නැවත තරගයට අවතීර්ණ වීමට අවස්ථාවක් උදානොවීය. ශ්‍රී ලංකා යොවුන් නායක දුනිත් වෙල්ලාලගේ වමතින් දඟපන්දු යවමින් ලකුණු 27කට කඩුලු පහක්ම දවාලද්දී ෂෙවෝන් ඩැනියල් ඔහුට නොමද සහයක් දෙමින් තවත් කඩුලු දෙකක් දවාලූවේ ලකුණු 16ක් පමණක් ලබාදෙමිනි.

ස්කොට්ලන්තයේ ජැක් ඩාවිස් පමණක් ලකුණු 25කට කඩුලු 2ක් දවා පසුව පන්දු 61කදී හතරේ තුනක් හා හයේ තුනක් සමඟ ලකුණු 55ක් ලබා තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වීය. ඔවුනගේ වෙනත් පිතිකරුවනට ලකුණු 20 සීමාව ඉක්මවීමට අවස්ථාවක් නොලැබිණි.

ගයානාහි ජෝර්ජ් ටවුන් නගරයේ එවර්ස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දින මුලින් පන්දුවට පහරදී ලකුණු 218ක් රැස්කළේ පන්දු වාරයකට ලකුණු 4.80ක සාමාන්‍යයක් වන පරිදිය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ පිතිකරුවා වූ අංක හය පිතිකරු සකුණ ලියනගේ ලකුණු 85ක් රැස්කළේ පන්දු 85කට මුහුණ දී හතරේ පහර තුනක් සහ හයේ පහර හතරක් සමඟය. මීට අමතරව රවීන් ද සිල්වා ලකුණු 30ක්ද (පන්දු 50යි හතරේ තුනයි) ආරම්භක පිතිකරු චමිඳු වික්‍රමසිංහ ලකුණු 28ක්ද (පන්දු 31යි හතරේ පහයි හයේ පහරයි) සදීස රාජපක්ෂ ලකුණු 24ක්ද (පන්දු 26යි හතරේ දෙකයි) ලබමින් වැඩිම ලකුණු ලාභියෝ බවට පත්වූහ.

අර්ධ ශතක ඉක්මවූ සබඳතාවයන් දෙකක්ද ලංකා කණ්ඩායමෙන් වාර්තා විණි. ශ්‍රී ලංකාව ලකුණු 99කට පිතිකරුවන් හයදෙනෙකුම දැවී (පන්දු වාර 22.3කදී) අසීරු තත්ත්වයක සිටියදී සකුණ ලියනගේ සහ රවීන්ද සිල්වා හත්වන කඩුල්ලට එක්කළ ලකුණු 77ක සබඳතාව සහ තරගය ආරම්භයේ දෙවන කඩුල්ලට චමිඳු වික්‍රමසිංහ සහ සදිෂ රාජපක්ෂ ලැබු ලකුණු 52 ද එම සබඳතාවයන්ය.

පන්දු යැවීමේදී කැපී පෙනුණු පන්දු යවන්නාවූ සීන් ෆිස්චර් ලකුණු 56කට කඩුලු තුනක් දවාලීය. ජැක් ජාවිස් සහ ඩලිවර් ඩේවිඩ්සන් දස්කම් දැක්වූයේ කඩුලු දෙක බැගින් දවාලමිනි.

ලකුණු විස්තරය

ශ්‍රී ලංකාව පන්දුවාර 45.2කදී සියල්ල දැවී 218යි – (සකුණු ලියනගේ 85, රවීන් ද සිල්වා 30, චමිඳු වික්‍රමසිංහ 28, සදිෂ රාජපක්ෂ 24, දුනිත් වෙල්ලාලගේ 10, යසිරු රුද්‍රිගෝ 09, සීන් ෆිස්චර් 56/3, ජැක් ජාවිස් 25/2, ඔලිවර් ඩේවිඩ්සන් 44/2)

ස්කොට්ලන්තය පන්දුවාර 48.4කදී සියල්ල දැවී 178යි – (ජැක් ජාවිස් 61, ටෝමස් ඩැකින්ටොස් 19, චාලි ටියර් 17, දුනිත් වෙල්ලාලගේ 27/5යි, ෂෙවොන් ඩැනියල් 16/2යි, වනුජ සහන් 33/1යි මතීෂ පතිරණ 28/1යි)

ඕස්ට්‍රේලියාව කඩුලු 6කින් බටහිර ඉන්දීය කොදෙව් පරාජය කරයි.

සමාරම්භක දිනයේදී ඩි කොටසේ අනෙක් තරගයේදී  ඕස්ට්‍රේලියා 19න් පහළ කණ්ඩායම කඩුලු 6කින් සත්කාරක බටහිර ඉන්දීය දූපත් පරදා ජයලැබීය.

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ටීග් විලී පන්දු 129කදී හතරේ අටක් සමඟ නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර එම කණ්ඩායමේ නිවතන් රාධක්‍රිෂ්ණන් තුන් ඉරියව්වේම දක්ෂතා පෙන්වීය.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් පන්දුවාර 40.1කදී සියල්ල දැවී 169යි– (අකීම් ඔගස්ටෙ 57, රිවෙල්චො ක්ලාක් 37, කූයර් කොනලි 17/3, ටොම් විට්නි 20/3, නිවතන් රාධක්‍රිෂ්ණන් 48/3)

ඕස්ට්‍රේලියාව පන්දුවාර 44.5කදී කඩුලු 4ට 170යි – (ටීග් විලී නොදැවී 86යි, නිවතන් රාධක්‍රිෂ්ණන් 31, ජොහාන් ලේන් 19/1, මැතිව් නන්ඩු 291යි)

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest