slc
logo
Home   |    News
ජනවාරි 30, 2022
ඕෂදගේ ශතකයෙන් මහනුවරට දෙවැනි ජය

sinhala editor

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ මෙතෙක් වාර්තා කරන ලද එකම ශතකයට හිමිකම් කීමට කැන්ඩි කණ්ඩායමේ ඕෂද ප්‍රනාන්දු සමත්වීමත් සමඟ දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 155 ක දැවැන්ත තරග ජයක් වාර්තා කර ගැනීමට කැන්ඩි කණ්ඩායමට අද (30 දා) හැකියාව ලැබිණ. මෙම ජයග්‍රහණය තරග 3 කදී කැන්ඩි පිල ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් සනිටුහන් විය.

කොළඹ එස්. එස්. සී. පිටියේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 319 ක ඉලක්කයක් දඹුල්ල පිල හමුවේ තැබීමට කැන්ඩි පිතිකරුවෝ සමත්වූහ. 7 වැනි තරගය බවට පත් වුණු මෙම තරගයේදී ඉලක්කය හඹා යෑමේදී දඹුල්ල කණ්ඩායම පන්දුවාර 42.1 කදී ලකුණු 163 කට සීමා කිරීමට කැන්ඩි පන්දු යවන්නෝ සමත්වූහ.

නායක අශාන් ප්‍රියන්ජන් පන්දු 79 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟ ලකුණු 50 ක් ලබා ගත් නමුත් සෙසු පිතිකරුවන්ට කැන්ඩි පන්දු යවන්නෝ ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට අවස්ථාවක් ලබා නොදුන්හ. අනුක් ප්‍රනාන්දු (26) සහ ගයාන් මනීෂාන් (21) පමණක් ලකුණු 20 සීමාව ඉක්මවාලූහ.

දඹුල්ල පිතිකරුවන්ට දැඩි තර්ජනයක් ගෙන දුන් පුලින තරංග ඉනිමේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වූවේය. පන්දුවාර 9.1 ක් යැවූ පුලින නිලකුණු පන්දුවාරයක්ද සමඟග ලකුණු 39 කට එම පිතිකරුවන් තිදෙනා දවා ගත්තේය. ඊට අමතරව අසිත ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් කඩුලු 2 බැගින් බිඳ හෙළද්දී ලසිත් ඇඹුල්දෙණිය සහ තික්ෂිල ද සිඅල්වා එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

දඹුල්ල පිලේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් කැන්ඩි පිල වෙනුවෙන් කැපී පෙනුණු ඕෂද පන්දු 141 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 13 ක් ද සමඟ ලකුණු 138 ක් ලබා ගත්තේය. කලකට අමතක නොවන ඉනිමක් බවට පත් වුණු ඕෂද, නායක කමිදු මෙන්ඩිස් සමඟ එක්ව සිව්වැනි කුල්ල වෙනුවෙන් පන්දු 128 කදී ලකුණු 112 ක් එක් කරමින් ලකුණු 300 සීමාව ඉක්මවාලීමට අවශ්‍ය ප්‍රධාන අඩිතාලම එක් කළහ. ලකුණු 43 ක් ලබාගත් කමිඳු පිටියෙන් ඉවත් වුවද ප්‍රහාරාත්මක පිතිහරඹය නොනවැත්වූ ඕසද සහන් ආරච්චිගේ සමඟ එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 79 කදී වේගවත් ලකුණු 87 ක් එක් කළහ. සහන් ආරච්චිගේ ලකුණු 28 ක් ලබා ගත්තේය.

ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ ළහිරු සමරකෝන් දැඩි ප්‍රහාරයකට ලක් වුවද ලකුණු 87 කට කඩුලු 4 ක්ද දුවිඳු තිලකරත්න ලකුණු 40 කට කඩුලු 2 ක් දඹුල්ල පිල වෙනුවෙන් දවා ගත්හ.

තරගයේ වීරයා – ඕෂද ප්‍රනාන්දු

ලකුණු සාරාංශය – මහනුවර පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 318 යි – (ලසිත් කෲස්පුල්ලේ 32, ඕෂද ප්‍රනාන්දු 138, කමිඳු මෙන්ඩිස් 43, සහන් ආරච්චිගේ 28, ළහිරු සමරකෝන් 87/4, දුවිඳු තිලකරත්න 40/2)

දඹුල්ල පන්දුවාර 42.1 කදී සියලුදෙනා දැවී ලකුණු 163 යි – (ගයාන් මනීෂාන් 21, අශාන් ප්‍රියන්ජන් 50, අනුක් ප්‍රනාන්දු 26, පුලින තරංග 39/3, අසිත ප්‍රනාන්දු 16/2, කමිඳු මෙන්ඩිස් 35/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee