slc
Home   |    News
පෙබරවාරි 4, 2022
යොවුන් ලෝක කුසලාන සටනේ ශ්‍රී ලංකාවට හයවැනි තැන

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ස්ථානය තේරීම වෙනුවෙන් බ්‍රහස්පතින්දා පැවැති තරගයේදී පාකිස්තාන යොවුන් කණ්ඩායම හමුවේ ලකුණු 238ක පරාජයක් ලැබීමත් සමඟ ලෝක කුසලාන ගමනේදී ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.

මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලත් ආරාධනය මත පන්දුවට පහර දුන් පාකිස්තානය සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු තුනක් දැවී රැස්කළ ලකුණු 365 ක් ලබා ගැනීමට සමත්විය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 34.2 කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 127 ක් පමණි.

දැවැන්ත ඉලක්කයක් හඹා යෑමේදී පළමු පන්දුවාර 16 අවසන් වනවිට ලකුණු 55කට පිතිකරුවන් හත් දෙනෙකුම දැවී යෑම එම ඉලක්කය කරා යෑමට මඟ ඇහිරුණු ප්‍රධාන හේතුව බවට පත්විය. නායක දුනිත් වෙල්ලාලගේ සහ විනුජ රන්පුල් එකතුව අටවැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 50 ක සම්බන්ධතාව නොවන්නට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 100 කට අඩුවෙන් සීමාවනු ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් වූයේ අංක නවය පිතිකරු විනුජ රන්පුල් (53) සහ නායක දුනිත් වෙල්ලාලගේ (40) පමණි. පන්දු 58 කින් සමන්විත වුණු රන්පුල්ගේ නොබිඳුණු ඉනිමට හතරේ පහර පහක් සහ හයේ දෙකක් ඇතුළත් විය. ඒ වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණු පි දඟ පන්දු යවන කාසිම් අක්‍රම් ලකුණු 37 කට කඩුලු 5 ක් බිඳ හෙළමින් ශ්‍රී ලංකාව අසීරුවේ ගිල්වූවේය.

පළමු පන්දුවේදීම චමිඳු වික්‍රමසිංහව දවාගත් අක්‍රම්, දෙවැනි පන්දුවාරයේදී යළිත් පවන් පතිරා සහ ෂෙවෝන් ඩැනියල්ව දවා ගනිමින් ආරම්භයම අසීරුතාවයට ලක් කළේය. කණ්ඩායමේ නැංගුරම වූ රනුද සෝමරත්නවද ලකුණු ලබා ගැනීමට පෙර අක්‍රම් දවා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා පිල මහත් අසීරු තත්ත්වයකට මුහුණ දුන්නේය.

ලකුණු 14 ක් ඇතුළත පළමු කඩුලු 4 ම අහිමිවීම නිසා යළිත් ශ්‍රී ලංකාවට හිස එසවීමට අවස්ථාවක් ලබා නොදීමට පාකිස්තානු පන්දු යවන්නෝ වග බලා ගත්හ.  

පිතිකරුවන්ට පාරාදීසයක් බඳු වූ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී අනුකම්පා විරහිත පිතිහරඹයක නිරත වුණු පාකිස්තානු පිතිකරුවන් අතරින් නායක කසීම් අක්‍රම් ලකුණු 135 ක් සහ ආරම්භක පිතිකරු හසීබුල්ලා ඛාන් ශතක වාර්තා කළහ. මුහමද් ශේෂාඩ් සමඟ ඉනිම ඇරැඹි හසීබුල්ලා ඛාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 134 ක සම්බන්ධතාවක් එක් කළහ. රවීන්ද සිල්වා විසින් ලකුණු 74 ක් ලබා සිටි ශේෂාඩ්ව දවා ගත්තද නායක අක්‍රම් සමඟ එක්වූ හසීබුල්ලා පන්දු 1523 කදී ලකුණු 229 ක වේගවත් ශතක සම්බන්ධතාවක් එක් කරමින් ලකුණු 350 සීමාවෙන් එහාට යෑමට අවශ්‍ය අඩිතාලම එක් කළහ.

පන්දු 151 කට මුහුණ දුන් හසීබුල්ලා හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමඟින් ශතකය වාර්තා කරද්දී වේගවත් පිතිහරඹයක නිරත වූ අක්‍රම් සිය ඉනිම සඳහා පන්දු 80 කට මුහුණ දුන්නේ හයේ පහර 6 කින් සහ හතරේ පහර 13 කින් ඉනිම සරසා ගනිමිනි.  තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ පාකිස්තාන යොවුන් නායක කසිම් අක්‍රම් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ලකුණු පුවරුව

පාකිස්තානය පන්දුවාර 50කදී කඩුලු 3ට 365යි – (හසිබුල්ලා ඛාන් 136, කසිම් අක්රම් නොදැවී 135, මුහම්මඩ් ෂෙෂාඩ් 73, මතීෂ පතිරණ 62/2, රවීන් ද සිල්වා 33/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 34.2කදී සියල්ල දැවී 127යි – (විනුජ රන්පුල් 53, දුනිත් වෙල්ලාලගේ 40, සදීෂ රාජපක්ෂ 16, කසිම් අක්රම් 37/5)

– බන්දුල මොලිල්ගොඩ

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest