මග්ගොනදී සරේ ක්‍රීඩාංගණයේදී නායකත්වය ඉනිමක් ක්‍රීඩා කරමින් කළ බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ නායක භානුක රාජපක්ෂ පන්දු 56කදී හයේ පහර නවයක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 100ක් රැස් කරමින් මෙවර අන්තර් සමාජ මේජර් 20-20 තරගාවලියේ ප්‍රථම ශතකය ලැබූ ක්‍රීඩකයා බවට පත්විය. පානදුරට ඒරෙහිව පැවැති මෙම තරගයේදී භානුකගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 41 ක ජයක් වාර්තා කිරීමටද බී.ආර්.සී. කණ්ඩායමට හැකියාව ලැබින.
මෙදින තවත් විශේෂ සිදුවීමක් වූයේ නුගේගොඩ කණ්ඩායම පෙරැළියක් සිදුකරමින් ප්‍රබල එන්.සී.සී. පිල ලකුණු හයකින් පරාජයට පත් කිරීමට සමත්වීම විය. ඊට අමතරව ටැමිල් කඩුලු හතකින් සෙබස්ටියනයිට්ස්ද පරාජය කළේය.
තරග තුනකටම මෙදින අයහපත් කාලගුණය හරස්විය. රාගම – චිලව්මේරියනස් තරගයත් නිගම්බු – කැන්ඩි කස්ටම් තරගයත් පන්දුවක්වත් නොයවාම අත්හිටුවිණි. පොලීසීය සහ කොල්ට්ස් තරගයේදී කෝල්ට්ස් ලකුණු 58කට කඩුලු හයක් දැවී සිටියදී අයහපත් කාලගුණයේ බලපෑමෙන් තරගය නතර කැරිණි.
නුගේගොඩ ලකුණු හයක පෙරැළිකාර ජයක්
කොල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවතී මේ තරගයේදී නුගේගොඩ කණ්ඩායමේ ආරම්භක පිතිකරු අභිෂේක් ලියනආරච්චි පන්දු 44කට මුහුණදී හතරේ පහර තුනක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 51ක් රැස් කිරීමට සමත් විය. එන්.සී.සී කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභීයා වූ සහන් ආරච්චිගේ පන්දු 27කදී හතරේ පහරක් හයේ පහරක් සමග ලකුණු 33ක් ලැබීය.
නුගේගොඩ කඩුලු 9ට 124 යි (පන්දුවාර 19.5 යි) – අභීශේක් ලියනආරච්චි 51,රුමේෂ් බුද්ධික 22, රමිත් ලියනආරච්චි 11, ලිසල ලක්ෂාන් 11, සහන් ආරච්චිගේ 22/3, වනුජ සහන් 25/2, සම්පත් නිශ්ශංක 26/2
එන්.සී.සී. සියල්ල දැවී 118 යි (පන්දුවාර 19.5 යි) – සහන් ආරච්චිගේ 33, ජොහාන් ද සිල්වා 22, කවීන් බණ්ඩාර 19, චමින්ද බණ්ඩාර 19/2, නවීන් ප්‍රනාන්දු 21/2, හංස ද සිල්වා 19/2, රනිත ලියනාරච්චි 34/2
භානුක බී.ආර්.සී.යට ජය ගෙනෙය
මග්ගොනදී පැවතී මේ තරගයේදී බී.ආර්.සී. නායක භානුක රාජපක්ෂ පන්දු 56කට පමණක් මුහුණදී හයේ පහර නවයක් සහ හතරේ හතරක් සමග ලකුණු 100ක් රැස් කරමින් මේ තරගාවලියේ ප්‍රථම ශතක ලාඪීයා බවට පත්විණී.
බී.ආර්.සී. කඩුලු 5ට 175 (පන්දුවාර 20යි) – භානුක රාජපක්ෂ 100, දුෂාන් හේමන්ත නොදැවී 33, දිල්ෂාන් ජයලත් 25, අකිල සෙනේෂ් 34/2
පානදුර කඩුලු 5ට 134 යි (පන්දුවාර 20 යි) – කෞෂාන් ධනුෂ්ක 36, ලක්ෂාන් රුද්‍රිගෝ 24, සංජය චතුරංග 27, එස් .මලීෂ 22, දුෂාන් හේමන්ත 26/2
ටැමිල් කඩුලු 7කින් සෙබස්ටියනයිට්ස් පරාජය කරයි
ටැමිල් ලකුණු 121ක ජයග්‍රහණ ඉලක්කයක් කරායද්දී පළමු කඩුල්ලට සධීර සමරවික්‍රම (47) සහ නවෝද් පරණවිතාන (36) පන්දු 63කදී ලකුණු 80ක් රැස් කරමින් පහසු ජයග්‍රහණයකට මග පෑදූහ. ඉසුරු උදාන පන්දු දහයකට මුහුණදී හයේ දෙකක් හතරේ තුනක් සමග කඩිනම් ලකුණු 25ක් රැස් කිරීමට සමත්විය.
සෙබස්ටියනයිට්ස් සියල්ල දැවී 120 ( පන්දුවාර 19.5යි) – තරිඳු රත්නායක 33, අදිල් අමීන් 31, සචිත ජයතිලක 15, ශීරාන් ප්‍රනාන්දු 24/3, දිල්රුවන් පෙරේරා 15/2
ටැමිල් කඩුලු 3ට 122 ( පන්දුවාර 14.5 යි) – සධීර සමරවික්‍රම 47, නවෝද් පරනවිතාන 36, ඉසුරු උදාන 25, තරිඳු රත්නායක 25/1, සශ්‍රික පුස්ගොල්ල 39/1