ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම තුන්දින ලීග් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට අශාන් ප්‍රියන්ජන්ගේ නායකත්වයෙන් යුතු කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.) අද (20 දා) පස්වරුවේ සමත්වූවේය. ඒ අනුව කොළඹ ක්‍රීඩා සමාජය අදාළ ශූරතාව පිට පිටම දිනා ගන්නා ලද තෙවැනි අවස්ථාව ලෙසින්ද මෙම ශූරතාව සනිටුහන් විය.
මෙම ශූරතා දිනා ගැනීමට පෙර සී. සී. සී. කණ්ඩායම අවසන් වතාවට 2019 වසරේ සහ 2020 වසරේ පැවැති ලීග් ක්‍රිකට් ශූරතා දිනා ගනිමින් මෙවර තරග වාරයේදී ටැමිල් යුනියන් පිල සමග අවසන් සටනට පිවිසියේ. පළමු ඉනිමේ ජයග්‍රහණයට සීමා වෙමින් නිමාවට දුටු අවසන් මහ තරගයේදී ලකුණු 558 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය සී. සී. සී. පිතිකරුවෝ එම ඉලක්කය පසුකර ගියා පමණක් නොව පළමු ඉනිම වෙනුවෙන් ලකුනු 669 ක දැවැන්ත ඉනිමක්ද ගොඩ නැංවූහ.
එම සුවිශේෂ ජයග්‍රහණය පිටුපස ශතක 3 ක් වාර්තා වුණු අතර ඒ අතරින් කැපී පෙනුණු චමිදු විජේසිංහ ලකුණු 139 ක් ලබා ඉනිමේ වැඩිම ගෞරවයකට පාත්‍ර වූ පිතිකරුවා බවට පත්වූවේය. ඔහුට අමතරව කමිඳු මෙන්ඩිස් (105) සහ නායක අශාන් ප්‍රියන්ජන් (100) ශතක රැස් කළහ.
සී, සී, සී, ජයග්‍රහණයේ වඩාත්ම වටිනාකම එක්කරන ලද සම්බන්ධතාව වූයේ නායක අශාන් ප්‍රියන්ජන් සහ චමිදු විජේසිංහ අතර ගොඩ නැංවුණු 6 වැනි කඩුල්ලේ සම්බන්ධතාව විය. කඩුලු 5 ක් ලකුණු 288 ක් ඇතුළත බිඳ වැටී, ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 5 ක් ඇතුළත ලකුණු 270 ක් ලබා ගැනීමෙ අභියෝගය කරමතට වැටී තිබියදී චමිදුට එක් වුණු නායක අශාන් ප්‍රියන්ජන්, පළමු ඉනිමේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුලු ආරක්ෂා කරගත්තේ සැබෑම නායකත්වයේ පිතිහරඹයක් විදහා පාමිනි. පන්දු 192 කදී වාර්තා වුණු ප්‍රියන්ජන්ගේ වටිනා ඉනිම හතරේ පහර 9 කින් වර්ණවත් විය.
තම නායකයා ගිය පාරේම ගිය චමිඳු විජේසිංහ පන්දු 246 කදී ගොඩ නංවන ලද ලකුණු 139 ක ඉනිම සී. සී. සී ජයග්‍රහණයට එක් කළ වටිනාකම මිල කළ නොහැක. හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් සිය ඉනිමට ඇතුළත් කරගත් චමිඳුට තරගයේ වටිනාම සම්මානය වූ අවසන් මහ තරගයේ වීරයා සඳහා වූ කුසලානට අමතරව මුදලින් රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලක්ද හිමිවිය.
ඔහුට අමතරව පසුවෙලින් පැමිණි පවන් රත්නායක පන්දු 120 කදී ලකුණු 85 ක් ලබා ගනිමින් සී.සී.සී. පළමු ඉනිම ලකුණු 669 ක් දක්වා ඉහළට රැගෙන ඒමට දායකත්වය දැක්වූවේය.
කෙසේ වෙතත් සී.සී. සී. ඉනිම අවසානයත් සමඟ ටැමිල් යුනියන් කණ්ඩායම නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ අතර තරගයේ අවසන් විසඳුමක් නොමැතිවීම නිසා දෙපිළේම නායකයින්ගේ කැමැත්තෙන් තරගය නියමිත වේලාවට වඩා කලින් නිමා කිරීමට පියවර ගැනිණ. ඒ වන විටත් පන්දුවාර 15 කුත් පන්දු 5 කට ක්‍රීඩා කර තිබූ ටැමිල් යුනියන් පිතිකරුවන් පන්දුවාරයකට ලකුණු 10 කට ආසන්න වේගයක් රදවා ගනිමින් (9.15) කඩුලු 4 කට ලකුණු 145 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.
තරගාවසානයේ පැවැති ජය සංකේත ප්‍රධානය ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලි අධ්‍යක්ෂක සහ විධායක කමිටු සාමාජික සමන්ත දොඩන්වෙල සහ ජතික ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානී චින්තක එදිරිමාන්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
මෙමම තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් යුද හමුදා ක්‍රීඩා සමාජයේ කෞමාල් නානායක්කාර ද දක්ෂතම පිතිකරුවා ලෙස මුවර්ස් ක්‍රීඩා සමාජයේ පසිඳු සූරියබණ්ඩාරද සම්මාන දිනා ගත්හ. මෙවර තරග වාරයේ තරග 11 කට ක්‍රීඩා කළ කෞමාල් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 15.37 ක්ද සමඟ කඩුලු 66 ක් ලබා දක්ෂම පන්දු යවන්නා ලෙසද, තරග 10 කට ක්‍රීඩා කළ පසිඳු ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 77.92 ක් සමඟ මුලු කුණු 1091 ක් ලබමින් දක්ෂතම පිතිකරුවා ලෙසින්ද සම්මාන දිනාගත්හ. මොවුන් දෙදෙනාම රුපියල් ලක්ෂ 5 බැගින් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය.
සමස්ථ තරගාවලියේ තරග 10 කදී ශතක 5 ක් සහ අර්ධ ශතක 6 ක් සමඟින් මුලු ලකුණු 1229 ක් ලබා ගත් රාගම ක්‍රීඩා සමාජයේ නිශාන් මදුෂ්ක ප්‍රනාන්දු තරගාවලියේ වීරයා ලෙසින්ද පිදුම් ලැබීය. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 94.53 ක් රඳවා ගැනීමට සමත් මදුශ්කට කුසලානට අමතරව මුදලින් ලක්ෂ 6 ක ත්‍යාගයක්ද හිමිවිය.
මෙම ත්‍යාග ප්‍රධානයට සමගාමීව ආණ්ඩුකාර කුසලාන දෙදින තරගාවලියේ අනුශූරයන් වුණු යුනයිටඩ් සදර්න් පිලටත් ශූරයින් වුණු කොළඹ මැලේ ක්‍රිකට් සමාජයටත් ශූරතා කුසලාන පිරිනැමීද විශේෂත්වයක් විය.
අවසන් මහ තරගයේ වීරයා – චමිදු විජේසිංහ (සී.සී.සි.) – මුදලින් රු. 150,000/=
දක්ෂතම පන්දු යවන්නා – කෞමාල් නානායක්කාර (යුද හමුදාව) – මුදලින් 500,000/=
දක්ෂතම පිතිකරුවා – පසිඳු සූරියබණ්ඩාර (මුවර්ස්) – මුදලින් රු. 500,000/=
තරගාවලියේ වීරයා – නිශාන් මධුෂ්ක (රාගම) – මුදලින් රු. 600,000/=
අනුශූරතාව – ටැමිල් යුනියන් – මුදලින් රු. 750,000/=
ශූරතාව – සී.සී.සී. – මුදලින් රු. 1,000,000/=
ටැමිල් යුනියන් පළමු ඉනිම පන්දුවාර 135.2 කදී ලකුනු 558 යි – (සදීර සමරවික්‍රම 188, නවෝද් පරණවිතාන 54, රොන් චන්ද්‍රගුප්ත 48, සංතුස් ගුණතිලක 15, කමේෂ් නිර්මාල් 16, දිලුම් සුදීර 32, රවිදු ප්‍රනාන්දු 45, ඉසුරු උදාන 88, කවිඳු පතිරත්න 46, ලක්ෂාන් සඳකැන් 128/4, විශ්ව ප්‍රනාන්දු 102/4) සහ දෙවැනි ඉනිම පන්දුවාර 15.5 කදී කඩුලු 4 ට ලකුණු 145 යි – (රවිඳු ප්‍රනාන්දු 56, නවෝද් පරණවිතාන 12, සදීර සමරවික්‍රම 43, ශිරාන් ප්‍රනාන්දු 28, සොනාල් දිනූෂ 52/2)
සී.සී.සී. පන්දුවාර 172.5 කදී ලකුණු 669 යි – (චමිදු විජේසිංහ 139, අහාන් ප්‍රියන්ජන් 100, කමිඳු මෙන්ඩිස් 105, මිනෝද් භානුක 75, නිමේෂ් ගුනසිංහ 33, ලසිත් අබේරත්න 48, පවන් රත්නායක 85, මාලින්ද පුෂ්පකුමාර 27, ලක්ෂාන් සඳකැන් 24, රවිඳු ප්‍රනාන්දු 160/6)