slc
logo
Home   |    News
දෙසැම්බර් 11, 2022
උදාරගේ පිතිහරඹයෙන් ග්ලැඩියේටර්ස් පළමු ජය වාර්තා කරයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටයේ 7 වැනි තරගය ලෙසින් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද (11 දා) පැවැති කලම්බු කිංග්ස්ට එරෙහි තරගයේදී ලකුණු 25 ක ජයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම, සිය පළමු ජයග්‍රහණය වාර්තා කළේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 175 ක අසීරු ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි කලම්බු කණ්ඩායමට ග්ලැඩියේටර්වරුන් හමුවේ රැස් කර ගත හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 කට ලකුණු 149 ක් පමණි.

දින දෙකක් තිස්සේ උණ රෝගයෙන් පෙළුණු නිරෝෂන් දික්වැල්ල තරග අවසානය තෙක් කඩුල්ලේ රැදී සිටියද ජයග්‍රහණයේ පරතරය අඩු කිරීම විනා වෙනක් කිසිවක් කිරීමට ඔහුට නොහැකි විය. ඉනිම ආරම්භයේ සිට පන්දුවට පහර දුන් දික්වැල්ල ශාරීරික යෝග්‍යතාවයේ ඇතුවූ ගැටලුවක් හේතුවෙන් 15 වැනි පන්දුවාරයේදී පිටියෙන් ඉවතට ගිය අතර කඩුලු දැවී යෑම නිසා නැවතත් ඔහුට පන්දුවට පහර දීමට පැමිණීමට සිදුවිය. අවසන් පන්දුවාරයේදී යළි ඔහු පන්දුවට පහර දීමට පැමිණියද, එකම පන්දුවක් හෝ පහර දීමේ අවස්ථාව ඔහුට නොමැති විය. දික්වැල්ල පන්දු 44 කදී හතරේ පහර 8 ක් සමග ලකුණු 58 ක් ලබා සිටියේ පිට පිටම දෙවැනි වතාවටත් අර්ධ ශතකයකට හිමිකම් කියමිනි.

සෙමෙන් ලකුණු ලබා ගැනීම ඇරඹුවද අවසන් අවසන් පන්දුවාරයේ දැවී යන විට රවී බොපාරා පන්දු 35 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 46 ක් ලබා සිටියේය. ලකුණු වේගය වැඩි කිරීම වෙනුවෙන් චන්දිමාල් පන්දු9 කදී ලකුණු 16 ක් ලබා ගත්තේය.

නායක කුසල් මෙන්ඩිස් සහ තනුක දාබරේ දෙදෙනා එක්ව පන්දු 50 කදී ගොඩනංවන ලද ලකුණු 75 ක පළමු කඩුල්ලේ සාර්ථක සම්බන්ධතාවය ප්‍රධාන කොට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් පිලට නියමිත පන්දුවාර 20 අවසනදී ලකුණු 174 ක් රැස් කිරීමට අවස්ථාව උදාවීය.

පන්දු 27 ක බැගින් මුහුණ දුන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතර දාබරේට වඩා ප්‍රවේගකාරී වුණු මෙන්ඩිස් ලකුණු 39 වාර්තා කරන ලද්දේ තම ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක්ද ඇතුළත් කර ගනිමිනි. වැන්ඩර්සිට පෙරළා උඩ පන්දුවක් ලබා දීමෙන් දාබරේ පිටියෙන් ඉවත් වන විට ලකුණු 36 ක් ලබා සිටියේය. මොවුන් දෙදෙනා එක්ව පවර් ප්ලේ පන්දුවාර 6 ඇතුළත ලකුණු 62 ක් එක් කිරීමට සමත්වූහ. මෙය මෙවර තරග වාරයේ පිතිකරුවන් යුගලක් රැස් කරන ලද ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ ගෝල් සහ කැන්ඩි අතර තරගයේදී ෆ්ලෙචර් සහ පැතුම් නිස්සංක එකතුව රැස් කරන ලද ලකුණු 55 වේ.

 මොවුන් දෙදෙනා සාර්්ථක සම්බන්ධතාවක් එක් කළද මැද පෙළින් පැමිණි නුවනිදු ප්‍රනාන්දු සහ ළහිරු උදාර 5 වැනි කඩුල්ල වෙනුවෙන්  පන්දු 31 කදී වේගවත් ලකුණු 50 ක් රැස් කරමින් ග්ලැඩියේටර්ස්වරුන්ට ආඩම්බරවිය හැකි ලකුණු සංඛ්‍යාවක් නිර්මාණය කර දීමේ පසුපෙළෙහි වීරයින් වූහ.

ආරම්භක පිතිකරුවන් හැරුණු කොට අසාම් ඛාන් සහ ඉෆ්තිකාර් අහමඩ් ඉනිම මධ්‍යස්ථ කාල‌ සීමාවේදී ලකුණු සොයා යෑමේ අරගලයක යෙදුණු නමුත් ඔවුහු අසාර්ථක වූහ. එහෙත් පන්දුවාරයකට අවශ්‍ය වේගය රඳවා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් ලබා දීමට ළහිරු උදාර සහ නුවනිඳු ප්‍රනාන්දු සමත්වූහ. ළහිරු උදාර අද තරගයට අවතීර්ණ වන්නේ මොවුන් සුබසිංහ වෙනුවට වන අතර එහිදී සිය ස්ථානය ලබාදීම පිළිබඳව ඔහු වඩාත් සාධාරණීය කරණය කර දුන්නේ මුහුණ දුන් පන්දු 30 ක් ලකුණු 45 ක් උදුරා ගනිමිනි. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු දකුණත් අංක 3 පිතිකරුවාට එක්වූ නුවනිඳු මුහුණ දුන් පන්දු 16 න් පන්දු 5 කටම හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් එල්ල කිරීමට සමත්වූවේය. ළහිරුගේ සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය. අවසන් පන්දුවාර 2 එළැඹීමට පෙර මුලු ලකුණු සංඛ්‍යාව කඩුලු 4 ට ලකුණු 143 ක් ලෙසින් සටහන් ව තිබූ අතර එහිදී 19 වැනි පන්දුවාරය යැවූ නවීන් උල්හක්ගෙන් ලකුණු 18 ක් උදුරා ගැනීමට සමත්වූහ. නුවනිඳු අවසන් පන්දුවේදී දැවී ගියද අවසන් පන්දවාරයේදීද ලකුණු 13 ක් ලබා ගැනීමට ග්ලැඩියේටර්ස්වරුන් සමත්විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee