slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2022
කැන්ඩි පිලේ අපරාජිත ගමන ගෝල් ක්‍රීඩකයෝ බිඳ දමති

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි දිනය වන තෙක්ම අපරාජිතව පසුවූ වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 12 ක ජයක් වාර්තා කළ කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කැන්ඩි ෆැල්කන්ස්හි ජයග්‍රාහී ආධිපත්‍ය බිඳ දැමීමට අද (12 දා) පස්වරුවේ සමත්විය.

පන්දු 120 කදී ලකුණු 154 ක ඉලක්කයක් ආරක්ෂා කර ගැනීම අභියෝගය හොඳින්ම කලමනාකරණය කරගත් ගෝල් ග්ලැඩියේටර් ක්‍රීඩකයෝ ලකුණු 12 ක ජයක් වාර්තා කරමින් පිට පිටම දෙවැනි දිනටත් තරගය ජයග්‍රහණය කළේය. මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර තරගාවලියේ අවසන් මහ තරග අවස්ථාව කණ්ඩායම් කීපයක් අතරටම විවෘත විය.

එම ඉලක්කය හඹා යෑමේදී කැන්ඩි කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 141 කි. තරගය අවසන් වන තෙක්ම කඩුල්ල ආරක්ෂා කරගත් අෂේන් බණ්ඩාර පන්දු 30 කදී ලකුණු 41 ක් ලබා ගත්තද, ඔහුගේ උත්සාහය ව්‍යාර්ථ විය.

ආරම්භයේ සිටම අභියෝගාත්මක පන්දු යැවීමක නිරතවීම නිසා කැන්ඩි කණ්ඩායමේ පළමු කඩුලු 6 ම ලකුණු 70 ක් ඇතුළත දවා ගනිමින් සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ග්ලැඩියේටර් පිලට හැකිවිය. එහෙත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් බණ්ඩාර එක්වූ චාමික කරුණාරත්න පන්දු 24 කදී ලකුණු 55 ක වේගවත් සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වුවත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

මෙම සම්බන්ධතාව ප්‍රධාන කොට කැන්ඩි ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 12 දී ලකුණු 37 ක් ලබා ගත යුතු විය. වහාබ් රියාස් විසින් ක්‍රියාත්මක කරන ලද 19 වැනි පන්දු වාරයේ පළමු පන්දු දෙක හතරේ සීමාව වෙත හරවා යැවීමට සමත් වන චාමික, තරගයට යළිත් බලාපොරොත්තු ලබා දුන්නේය. එහෙත් ඊළඟ පන්දුවට ලකුණු 2 ක් සදහා පැති හුවමාරු කර ගැනීමට යෑමේදී අවසානාවන්ත ලෙස චාමික දුවද්දී දැවී යෑමකට හසුවූවේය.

ඉසුරු උදාන පිටියට පිවිසෙන විට ඉලක්කය පන්දු 10 කදී ලකුණු 29 ක් වුවත්, ඔවුන්ට රැස් කරගත හැකි වූයේ 15 ක් පමණි.  

ලකුණු 10 ක් ඇතුළත පළමු කඩුලු 4 ම බිඳ වැටුණද අත්‍යවශ්‍ය මොහොතේදීම ලකුණු අතරට පිවිසි තනුක දාබරේ සහ නුවනිඳු ප්‍රනාන්දු පස්වැනි කඩුල්ල වෙනූවෙන් ලකුණු 113 ක සම්බන්ධතාවක් පවත්වමින් ග්ලැඩියේටර් ලකුණු පුවරුව පෝෂණය කළහ. දෙදෙනාම අද දිනයේදී මංගල එල්.පී.එල්. අර්ධ ශතක වාර්තා කරමින් සිය කණ්ඩායමේ කෂේරුකාව බවට පත් වද්දී, එය මෙතෙක් එල්. පී. එල්. තරගයකදී ජාතික කණ්ඩායම නියෝජනය නොකළ දෙදෙනකු ලකුණු 100 ක සම්බන්ධතාවක් පවත්වන ලද පළමු අවස්ථාව වශයෙන් සනිටුහන් විය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුණු දාබරේ පන්දු 51 කදී ලකුණු 70 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කරගනිමිනි. මෙම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද තනුක පිදුම් ලැබුවේය.

තම කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 10 ක් ඇතුළත දැවී යන විට සිය අන්තය ආරක්ෂා කරගත් දකුණත් පිතිකරුවා, පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වන විටත් පන්දු 9 කට මුහුණ දී රැස්කරගෙන තිබුණේ ලකුණු 06 ක් පමණි. කණ්ඩායම වෙනුවෙන් තම අවශ්‍යතාව කුමක්ද යන්න හොඳින් වටහා ගත් වමත් ආරම්භක පිතිකරුවා නුවනිඳු සමඟ බුද්ධිමත්ව පන්දුවට පහර දීම තරගයේ කැපී පෙණින. මෙවර තරගාවලියේ වැඩිම තර්ජනයක් සහිත පන්දු යවන්නා වන වනිදු හසරංගගේ  පන්දු වලදී වඩාත් ආරක්ෂා කාරී වූ වමත් දකුණත් යුගල, අවසන් පන්දුවාර සංඛ්‍යාව දක්වා කණ්ඩායම රැගෙන ගියහ.

පසුගිය කාලාන්තය පුරාම පිතිකරුවකු සාර්ථක්තවයට පැමිණ සිටින නුවනිඳු අද දිනයේදී පන්දු 50 කදී ලකුණු 56 ක් ලබා ගත්තේ හතරේ පහර 6 ක්ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. සිව්වැනි පන්දුවාරයේදී පිටියට එක් වුණු මොවුන් දෙපළෙන් නුවනිඳු දැවී ගියේ 18 වැනි පන්දුවාරයේදීය. එතෙක් වේලා මොවුන් දෙපළ ක්‍රීඩා කළ නිසා පසු‌ පෙළින් පැමිණි ඉමාද් වසීම්ට වේගයෙන් පන්දුවට පහර දීමේ නිදහස හිමිවිය. ඒ අවසරයෙන් ඔහු මුහුණ දුන් පන්දු 5 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුනු 15 ක් ලබා ගත්තේ ග්ලැඩියේටර් ලකුණු පුවරුව 150 ඔබ්බට රැගෙන යමිනි.

නායක කුසල් මෙන්ඩිස් දෙවැනි පන්දුවාරයේ දැවී ගියේ කාලෝස් බ්‍රැත්වයිට්ට පුල් පහරක් එල්ල කිරීමට යෑමෙනි. ඩීප් මිඩ්විකට් කළාපයේ පන්දු රැකි පැතුම් නිස්සංක සුරැකව උඩ පන්දුව රැක ගනිද්දී කුසල් ලකුණු 01 කට පිටියෙන් ඉවත් විය. ග්ලැඩියේටර් ඉදිරි පෙළ පිතිකරුවන් වූ අසාම් ඛාන් සහ ඉෆ්තිකාර් අහමඩ් දෙදෙනාව පිට පිට පන්දු 2 කදී දවා ගන්නා බ්‍රැත්වයිට් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමේ අභිමුවට පිවිසියේය. එහෙත් අනතුරුව පිටියට පිවිසි නුවනිඳු සිය කඩුල්ල ආරක්ෂා කර ගැනීම නිසා, බ්‍රැත්වයිට්ගේ බලාපොරොත්තුව සුන් විය. කෙසේ වෙතත් තරගය නිමා කරන විට කාලෝස් බ්‍රැත්වයිට් පන්දුවාර 4 කදී නිලකුණු පන්දුවාරයක්ද සමග ලකුණු 17 ක් ඇතුළත කඩුලු 3 ක් දවා ගත්තේ ග්ලැඩියේටර් ආරම්භය සුණු විසුණු කරමිනි. ආම්භයේ නැතත් අධිවේගී පන්දුවාරවලදී ක්‍රියාත්මක වුණු ඉසරු උදාන නුවනිදු සහ ළහිරු උදාරගේ කඩුලු දෙක ලකුණු 19 ක් ඇතුළත දවා ගැනීමට සමත්වූවේය.

Active filters

Recent Posts

  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]
  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee