slc
logo
Home   |    News
දෙසැම්බර් 12, 2022
දඹුල්ලට එරෙහි ජැෆ්නා අපරාජිතව භාවය තවදුරටත් ඉදිරියට

sinhala editor

Chamila Karawita reporting from Pallekele

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද සමඟින්, මූලික තරග වටය යටතේ දමුල්ල අවුරා කණ්ඩායම මුණ ගැසුණු දෙවැනි අවස්ථාවේදීද ලකුණු 51 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (11 දා) රාත්‍රියේ සමත්විය. මෙම ජය ජැෆ්නා පිල විසින් ‌දෙපිළ අතර තරග ඉතිහාසයේ වාර්තා කරන ලද 5 වැනි ජය ලෙසින්ද සටහන් විය.

අද තරගයට පෙර දෙපිළ 5 වතාවක් එල්.පී.එල්. පිටියේ මුණ ගැසී තිබෙන නමුත්, එකම වතාවක් හෝ ජැෆ්නා කිංග්ස් පරාජයට පත් කිරීමට දඹුල්ල පිල අසමත්ව තිබේ. අවස්ථා 4කදී කැන්ඩි පිල ජය වාර්තා කරද්දී එක් වතාවක් විසඳුමකින් තොරව තරගය අවසන්ව තිබේ.

රාමනුල්ලා ගුර්බාස් සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව පළමු ‌කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද වාර්තාගත සම්බනන්ධතාව පෙරටු කොට ලබා දුන් ලකුණු 241 ක දැවැන්ත ඉලක්කය හඹා යෑමේදී දඹුල්ල අවුරා පිල පන්දුවාර 20 කදී ලකුණු 189 කට සීමා කළේ කඩුලු 8 ක් ද දවා ගනිමිනි.

එම අසාර්ථක හඹා යෑමේදී නායක දසුන් ශානක පන්දු 23 කදී ලබාගත් වේගවත් ලකුණු 44 හැරුණු කොට සෙසු එකම පිතිකරුවකු හෝ සැලකියයුතු මට්ටමේ දායකත්වයක් නොදැක්ව්‍යී. හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වුණු දසුන්ගේ ඉනිම හැරුණු කොට භානුක රාජපක්ෂ පන්දු 31 කදී ලකුණු 38 ක් රැස් කළේය. තවමත් 19 හැවිරිදි වියේ පසුවන ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියල් පන්දු 20 කදී ලකුණු 29 ක් රැස් කළේය.

පන්දු යැවීමේදී කැපී පෙනුණේ බිනුර ප්‍රනාන්දුය. සිය පන්දුවාර 4 දී නිලකුණු පන්දු වාරයක්ද යැවූ බිනුර ලකුණු 22 ක් පමණක් ලබා දී කඩුලු 4 ක් දවා ගත්තේ ප්‍රතිවාදීන්ට වැඩිම තර්ජනයක් වුණු පන්දු යවන්නා බවට පත් වෙමින්. ඔහුට අමතරව සුමින්ද ලක්ෂාන් කඩුලු 2 ක් දවා ගත්තද ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 50 ක් උදුරා ගැනීමට අවුරා පිතිකරුවෝ සමත්වූහ.

ජැෆ්නා කිංග්ස් පිල විසින් අද දිනයේ බිඳ හෙළන ලද්දේ සමාරම්භක එල්.පී.එල්. තරගාවලියේ හෙවත් 2020 වසරේ තරගාවලියේ පළමු තරගයේදී කැන්ඩි ටස්කර්ස් සහ කලම්බු කිංග්ස් විසින් එකම තරගයේදී වාර්තා කරන ලද ලකුණු 219 ක වාර්තාව වේ. මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දෙන කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් පිල කඩුලු 3 ක් දැවී ලකුණු 219 ක් රැස් කරන අතර ඊට පිළිතුරු ලෙස කලම්බු කිංග්ස් පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලකුණු 219 ක් රැස් කළේය. සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු එම තරගයේන් කලම්බු කිංග්ස් කණ්ඩායම ජය ගත්තේය.

කලම්බු කිංග්ස් වෙනුවෙන් සාර්ථක ආරම්භයක් එක් කළ රාමනුල්ලා ගුර්බාස් සහ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවක් එක් කළහ. මෙය ජැෆ්නා කිංග්ස් ඉතිහාසයේ ඔ්නෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වුණු ඉහළතම ලකුණු සම්බන්ධතාව වද්දී සමස්ථව එය දෙවැන්න බවට පත්විය. අවිශ්ක සහ ගුර්බාස් විසින් අද බිඳ හෙළන ලද්දේ 2021 වසරේදී දඹුල්ල ජයන්ට්ස් එරෙහිව ලබා ගත් ලකුණු 122 වේ.

මොහොතකට ඉවසුම් නැති පිතිහරඹයක නියැළුණු රාමනුල්ලා ගුර්බාස් පන්දු 35 කදී ලකුණු 73 ක් ලබා පිටියෙන් ඉවත්විය. හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් කර ගත් දකුණත් ආරම්භක පිතිකරුවා පිටියෙන් ඉවතට ගියේ 11 වැනි පන්දුවාරය නිමාවීමට පන්දු 2 ක් ඉතිරිව තිබියදීය. මෙම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ගුර්බාස් පිදුම් ලැබීය.

අනෙක් අන්තයේ රැඳී සිටි අවිශ්ක ප්‍රනාන්දු පන්දු 30 කදී ලකුණු 54 ක් ලබා ගත්තේ සිය ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් කර ගනිමිනි. මෙවර තරග වාරයේ අවිශ්ක මෙවර තරග වාරයේ වාර්තා කරන ලද දෙවැන්න වශයෙන් සටහන් විය. ඒ අනුව ඔහු එල්.පී.එල්. තරග ඉතිහාසයේ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාවක් වාර්තා කරගෙන සිටි ධනුෂ්ක ගුණතිලක (6) සම කිරීමට සමත්විය.

එපමණක් නොව එල්.පී.එල්. තරග ඉතිහාසයේ වැඩිම ලකුනු ලාභියා බවටද අවිශ්ක අද දිනයේ පත්විය. මේ දක්වා එල්.පී.එල්. තරග 23 කට ක්‍රීඩා කර ඇති ප්‍රනාන්දු රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 732 කි. එහි ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 36.60 ක් සටහන්ව තිබෙන්නේ ප්‍රහාරාත්මක වේගය 140.22 ක් ද සමඟිනි.

කාසි‌යේ වාසිය දිනා ගත්තද පළමුව පන්දුවට පහර නොදී තමා ගනු ලැබුවේ බරපතල වැරැද්දක් බව දඹුල්ල නායකයාට ඒත්තු යෑමට පවර් ප්ලේ පන්දු වාර 6 දී රැස් කරන ලද ලකුණු 72 ප්‍රමාණවත් විය. දසුන් සතු ප්‍රබලම පන්දු යවන්නන් දෙදෙනා වුණු ළහිරු කුමාර සහ ප්‍රමෝද් මදුශාන්ට එලව එලවා පහර දෙද්දීත් ඔවුන් දෙදෙනාව පන්දුවාර 4 ම යැවීමට යොදා ගැනීමට තීරණය කළේය. ඒ අවසරයෙන් 56 ක් සහ 55 ක් ව‌ශයෙන් ප්‍රතිවාදී පිතිකරුවන් රැස් කළහ. ලකුණු වේගය වැඩි කිරීමට යෑමේදී ධනංජය ද සිල්වා පන්දු 12 කදී ලකුණු 19 කට දැවී ගිය නමුත් සධීර සමරවික්‍රම සහ ෂොයෙබ් මලික් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක් එක් කරන ලද්දේ පන්දු 26 ක් පමණක් වැයකරමිනි. පන්දු 15 කදී ලකුණු 32 ක් ලද මලික්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි තිසර පෙරේරාද සධීර සමව එක්ව ලකුණු 21 ක් රැස් ක‌ළේ පන්දු 9 ක් පමණක් වැය කරමිනි. අද දිනයේදී තම කඩුල්ල ආරක්ෂා කර ගත් සධීර පන්දු 22 කදී වේගවත් ලකුණු 38 ක් රැස් කරගත්තේය.

 

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

USD United States (US) dollar