slc
Home   |    News
පෙබරවාරි 21, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය ජයගනිති

sinhala editor

By Chamila Karawita

ජාතික කණ්ඩායමට අවශ්‍ය දෙවැනි පෙළක් සකසා ගැනීමට අමතරව ශූරයින් කවුරුන්ද යන්න වෙනුවෙන් පැවැති එක්දින තරගාවලියේ අද (21 දා) පැවැති තෙවැනි නිල නොවන එක්දින තර‌ගයෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට ඇද දැමූ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගත්හ. මෙම තරගාවලියට පෙර පැවැති සිව් දින නිල නොවන ටෙස්ට් තරගාවලිය සම තත්ත්වයෙන් නිමාවට ප ත් වුවත් එහි වැඩි ගෞරව දිනා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත්විය.

කලකට පසු දක්නට ලැබුණු අති විශිෂ්ඨ පන්දු රැකීමත්, ඒ හා සමානම පන්දු රැකීමත් නිසා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත ලයන්ස් කණ්ඩායම ලකුණු 163 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට හැකියාව ලැබිණ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ඉලක්කය හඹා යෑම සඳහා පිටියට පිවිසි ‘ඒ’ ක්‍රීඩකයෝ පන්දු 107 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගියේ කඩුලු 6 ක් ඉතිරිව තබා ගනිමිනි.

ටොම් හාර්ට්ලි විසින් යොමු කරන ලද පන්දුවකට හතරේ පහරක් එල්ල කළ සහන් ආරච්චිගේ විසින් ප්‍රතිවාදීන් විසින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව සම කරන ලද නමුත්, විනිසුරුවරයා විසින් එය නිපන්දුවක් ලෙස සංඥා කිරීමත් සමඟ තරගයේ ජය ශ්‍රී ලංකා ‘ඒ’ පිලට හිමිවිය. ඒ වන විටත් ‘ඒ’ අනෙක් අන්තයේ රැදී සිටි නිපුන් ධනංජය ලකුණ 65 ක් ලබා සිටියේය. ඉනිමේ කොඳු නාරටිය බවට පත් වුණු ධනංජය සිය ඉනිම සදහා පන්දු 76 කට මුහුණ දී තිබු අතර ඉන් පන්දු 4 ක් හතරේ පහර ලෙසින් පරිවර්තනය කර ගෙන තිබිණ. ධනංජය සමඟ 5 වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 65ක සම්බන්ධතාවක් එක් කළ සහන් අරරච්චිගේ පන්දු 28 කදී ලකුණු 22 ක් ලබා සිටියේ ජයග්‍රහණය වෙනුවෙන් එල්ල කරන ලද එකම හතරේ පහරද සමගිනි.

ආරම්භක පිතිකරුවන් වූ ලසිත් කෲස්පුල්ලේ (18) සහ නුවනිඳු  ප්‍රනාන්දු මුලු ලකුණු සංඛ්‍යාව (10) ලකුණු 28 ක්ව තිබියදී දැවී ගිය අතර අවිශ්ක ප්‍රනාන්දු වෙනුවට කණ්ඩායමට පැමිණි ලහිරු උදාර ලකුණු 21 ක් ලබා ගත්තේය. නායක සදීර පන්දු 29 කදී ලකුණු 23 ක් ලබා ගත්තේ මෙම තරගාවලියේ වැඩිම ලකුනු ලාභියා ලෙසට ඉදිරියට පැමිණෙමිනි. තරග 3 කදී  සදීර රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 137 ක් ලෙස සටහන් වන්නේ ඉනිමක සාමාන්‍ය 45.66 ක අගයක් ද රඳවා ගනිමිනි.

කාසියේ වාසිය පළමු වතාවට හිමිකර ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නද එය එතරම් සාර්ථක තීරණයක් නොවූයේ අද දිනයේදී ‘ඒ’ වරම් දිනාගත් ඉසිත විජේසුන්දර ඇතුළු පන්දු යවන්නන් ඉතාම හොඳට පන්දු යැවීමට සමත්වූ නිසාය. දේශීය තරග පිටියේ වේග පන්දු යවන්නකු ලෙස එතරම් නමක් දරා නොසිටි ක්‍රීඩකයකු වන ඉසිත විජේසුන්දරගේ පන්දු යැවීම අති විශිෂ්ඨ මට්ටමේ විය.

දෙවැනි ආරම්භක පන්දු යවන්නා ලෙසින් පන්දු යැවීම ඇරැඹි ඉසිත එක දිගට පන්දුවාර 5 ක් යැවුවේ නිලකුණු පන්දුවාරයක් ද සමඟින් ප්‍රතිවාදීන් හමුවේ ලකුණු 08 ක් ලබා දෙමිනි. ඒ අතර වාරයේ එක් කඩුල්ලක්ද දවා ගත් දකුණත් වේග පන්දු යවන්නා නැවතත් 38 වැනි පන්දුවාරයේදී පිට පිට පන්දු 2 කදී ටොම් ලැමන්බි සහ බ්‍රයිඩන් කාර්ස්ගේ කඩුලු දවා ගනිමින් ‘ඒ’ කණ්ඩායමට විශාල වාසියක් ලබා දෙන්නේය. මෙම පන්දු යැවීම නිසා ලකුණු 126 කට කඩුලු 5 ක්ව සටහන්ව තිබූ ලයන්ස් ලකුණු පුවරුව පන්දු 4 ක් ඇතුළතදී ලකුණු 127 කට කඩුලු 7 ක් ලෙස සටහන් විය.

45 වැනි පන්දුවාරයේදී ලයන්ස් ඉනිම ලකුනු 163 කදී නිමා වන විටත් යවා තිබුණේ පන්දුවාර 7 න් එකක් නිලකුණු පන්දුවාරයක් ලෙසින් සටහන් කරගනු ලබන්නේ ලකුණු 14 කට කඩුලු 3 ක් ලෙස සිය පන්දු යැවීම සටහන් කර ගනිමිනි.

දෙවැනි තරගයේදී ලකුණු 43 ට කඩුලු 5 ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත් පා දඟ පන්දු යවන දුශාන් හේමන්ත අද දිනයේ පන්දුව අතට ගනු ලබන්නේ 25 වැනි පන්දුවාරයේදීය.එතැන් සිට එක දිගටම තම පන්දුවාර 10 ක්‍රියාත්මක කරන දුශාන් තම සිව්වැනි පන්දුවාරයේදී ජේම්ස් රූව සිය පළමු ගොදුර ලෙසින් ඩැහැ ගන්නේය. එම කඩුල්ල දවා ගැනීමට පෙරත් පිතිකරුවන්ට දැඩි තර්ජනයක් ගෙන දුන් මැණික් කටුව උපයෝගී කර ගනිමින් පන්දුව දඟ කවනු ලබන පන්දු යවන්නා ඒ වන විටත් යවා තිබූ පන්දුවාර 4 න් පන්දුවාරයක් නිලකුණු ලෙසින්ද සටහන් කරගන්නේ ලකුණු 08 ක් පමණක් ලබා දෙමිනි.

අනපේක්ෂිත කඩා වැටීමකට ලක් වන ලයන්ස් ඉනිම ගොඩ ගැනීම වෙනුවෙන් ටොම් හාර්ට්ලි සහන් ආරච්චිගේට එරෙහිව හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් ලකුණු වේගය වැඩි කළද සුමින්ද ලක්ෂාන් සහ දුශාන් හේමන්ත පිළිවෙළින් ජෝර්ඩ්න් කොක්ස් සහ සකීබ් මහමූද් දවා ගනිමින් පීඩනය වැඩි කළහ. අවසන් පිතිකරුවා වූ මේසන් ක්‍රේන් සමග පිටිය මැද තනි වුණු හාර්ට්ලිට පන්දුවට පහර දීමට ලැබුණු පන්දු දෙකෙන් එකක් හතරේ සීමාවට යවද්දී දෙවැන්න මිඩ් විකට් කලාපයට ඉහළින් හතරේ සීමාවට දෙසට යැවීමට උත්සාහ කළේය.

ඩීප් මිඩ් විකට් කලාපයේ පන්දු රකිමින් සිටි නිපුන් ධනංජය පන්දුව වෙත දුව යවමින් උඩ පන්දුවක් ලෙස රැක ගැන්මට ගන්නා ලද උත්සාහයේදී එයට තවත් අඩි 4 ක් පමණ අවශ්‍ය විය. කෙසේ වෙතත් ගුවනට පන් නිපුන් පන්දුව වෙත ඉගිලී ගියේ සම්පූර්නයෙන්ම අඩි 4 ක පමණ පොළොවට සමාන්තර උසකින් ගුවනේ සිටිමිනි. විශිෂ්ඨ උඩ පන්දුවක් ලෙස එය රැක ගැනීමත් සමග දුශාන් හේමන්තගේ පන්දු යැවීමද පන්දුවාර 10 කදී නිලකුණු පන්දුවාරයක්ද සමඟින් ලකුණු 27 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. මෙම තරගාවලියේ පන්දුවාර 28.1 ක් යැවූ දුශාන් ලකුණු 126 කට කඩුලු 11 ක් දවා ගනිමින් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර අංශයේ භාරව කටුයුතු කරන උප සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගිවුණු ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සෑම තරගයකම තරගයේ වීරයා සම්මානය දිනූ ක්‍රීඩකයින්ට සම්මාන ලබා දුන් අතර එහිදී පළමු තරගයේද සකීබ් මහමූද්, දෙවැනි තරගයේදී දුශාන් හේමන්තද සම්මාන දිනාගත්හ.

 

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest