slc
Home   |    News
පෙබරවාරි 8, 2023
ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම 332 න් නවතියි

sinhala editor

Chamila Karawita reporting from Galle

 

මංගල සිව්දින ටෙස්ට් තරගයට සහභාගි වූ ජොෂ් ටංග් ප්‍රමුඛ එංගලන්ත ලයන්ස් පිලේ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා එක්ව කඩුලු 9 ක් දවා ගැනීමට සමත්වීම ප්‍රධාන කොට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 332 දී අද (08 දා) නිමාවට පත්විය. ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කිරීම ආරම්භ කර සිටින ලයන්ස් කණ්ඩායමේ කඩුලු 2 ක් තේ පානයට මත්තෙන් දවා ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ වේග පන්දු යවන්නෝ සමත්වූහ.

දැවී ගිය කඩුලු 2 න් කඩුල්ලක් චාමික කරුණාරත්න විසින්ද අනෙක් කඩුල්ල විශ්ව ප්‍රනාන්දු විසින්ද දවා ගනිද්දී සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිහරඹය දියත් කරමින් සිටින ආරම්භක පිතිකරු ඇලෙක්ස් ලීස් පන්දු  39 කදී වේගවත් ලකුණු 40 ක් ද ජොෂ් බොහනන් පන්දු 23 කදී ලකුණු 21 ක් ද ලබා සිටියහ.

ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 10 න් 9 ක්ම ලයන්ස් පිලේ ප්‍රධානම වේග පන්දු යවන්නන් තිදෙනා වන ටංග්, මැතිව් ෆිෂර් සහ සෑම් කුක් විසින් දවා ගත්හ. එහි වැඩිම ගෞරවය හිමි වූයේ ජොෂ් ටංග්ටය. හේ අද දිනයේ දැවි ගිය කඩුලු 7 න් 4 කම හිමිකරුවා බවට පත්වූවේ සමස්ථ ඉනිමේම කඩුලු 5 ක් තම නම ඉදිරියෙන් ලියා ගනිමිනි. දිනය ආරම්භයේදී ලකුණු 45 කට එක් කඩුල්ලක් දවා ගෙන සිටි ජොෂ් ටංග් දිවා භෝජනය දක්වා යවන ලද පන්දුවාර 8.3 කදී ලකුණු 22 ක් පමණක් ලබා දී ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ දැවී ගිය කඩුලු 4 ම හිමිකරුවා බවට පත්වූවේය. ඔහුට අමතරව ෆිෂර් සහ කුක් කඩුලු 2 බැගින් දවා ගත්හ.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග සංචාරයේදී වේග පන්දු යවන්නකුට අමතරව පිතිකරුවකු ලෙසින් තමන්ට කළ හැකි දේ පෙන්වීම සඳහා ලබා දුන් අවස්ථාවේදී ලකුණු ලබා ගැනීමට පෙරම චාමික කරුණාරත්නව දවා ගැනීමට ජොෂ් ටංග් සමත්විය. ටංග්ගේ අති විශිෂ්ට පන්දු යැවීම නිසා ලකුණු 211 කට කඩුලු 3 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු පුවරුවේ අවසන් කඩුලු 7 ම ලකුණු 121 ක් ඇතුළත බිඳ වැටිණ.

දිනයේ දැවී ගිය පළමු පිතිකරුවා වූයේ පෙර දින ශතක ලාභී ලසිත් කෲස්පුල්ලේය. දුර්වල පන්දු දුටු විගස රිදෙන්නට පහර එල්ල කිරීමට කිසිසේත් පසුබට නොවන පිතිකරුවකු ලෙසින් නමක් දිනා සිටින කෲස්පුල්ලේගේ කඩුල්ලේ හිමිකාරිත්වය ජොෂ් ටංග්ට හිමි වුවත් එහි පූර්ණ ගෞරවය මැතිව් ෆිෂර්ට හිමිවිය යුතුය. ටංග්ගේ පන්දුවකට කෲස්පුල්ලේ එල්ල කරන ලද පහර බැක්වර්ඩ් පොයින්ට්හි සිටි මැතිව් ෆිෂර් රැක ගන්නා ලද්දේ ගුවනට පැන තනි අතට රැක ගනිමිනි.

එතැන් පටන් ශ්‍රී ලංකා කණ්ඩායමට යළි තරගයට අවතීර්ණ වූ එංගලන්ත ලයන්ස් පන්දු යවන්නෝ තවත් ලකුණු 08 ක් ලකුණු  පුවරුවට එකතු වන අතර තුරදී චාමික සහ ළහිරු උදාරව දවා ගනිමින් පීඩනය ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙතට යොමු කළහ.

මේ අතරින් චාමික පිට ඉන්නෙන් පිටට පිත වූ පන්දුවකට එලවා පහර දීමට යෑමෙන් කඩුල්ල අහිමි කර ගත් අතර ළහිරු උදාර බොහානන් අතට උඩ පන්දුවක් දැවී ලකුණු නොලබා දැවී ගියහ. මෙම දැවී යෑම් අතරින් ළහිරුගේ දැවී යෑම පිළිබඳව කිසියම් සැකයක් ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාට තිබූ හෙයින් එය තෙවැනි විනිසුරුවරයා දක්වා යොමු කළ නමුත් ඔහු එය දැවී යෑමක් ලෙසින් සංඥා කළේය.

කෙසේ වෙතත් පළමු තරගයේදී සැඳෑ පිතිකරුවා ලෙස පිටියට පිවිස අර්ධ ශතකයක් ලබා ගත් ලක්ෂිත මානසිංහ නායක නිපුන් ධනංජය සමඟ එක්ව කඩා වැටුණු ශ්‍රී ලංකා ‘ඒ ඉනිම ගොඩ ගැනීමේ කාර්යයෙහි නිරත වෙමින් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ලකුණු 300 සීමාව දක්වා රැගෙන යෑමට මූලිකත්වය ගත්හ. එහිදී නිපුන් ලකුණු 61 ක්ද, ලක්ෂිත මානසිංහ ලකුණු 43 ක්ද රැස් කළය. දිවා විවේකයට  පන්දුවාර 3 ක් තිබියදී නායක නිපුන් දැවී ගිය අතර ලක්ෂිතට එක්වූ ලසිත් ඇඹුල්දෙණියද ලකුණු 42 කින් ‘ඒ’ ඉනිමට ශක්තියක් වූවේය. ඔවුන් දෙදෙනා අතර වූ 8 වැනි කඩුල්ලේ සම්බන්ධතාව මුලු ලකුණු 308 දී බිඳ වැටිණ.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest