slc
Home   |    News
මාර්තු 11, 2023
මිචෙල් සහ හෙන්රි පීඩනය ශ්‍රී ලංකාව දෙසට හරවයි

sinhala editor

BY CHAMILA KARAWITA

ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු සහ දෙවැනි දින අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියත් ඩැරල් මිචෙල් ශතකයක් සහ මැට් හෙන්රි අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වීම නිසා තෙවැනි දිනයේදී යළි හිස එසවීමට නවසීලන්ත කණ්ඩායමට අද (11 දා) හැකියාව ලැබිණ. ශ්‍රී ලංකා ඉනිම අභිබවා යෑමට අවසන් කඩුලු 5 ඇතුළත ලකුණු 193 ක අභියෝගයක් නවසීලන්ත කණ්ඩායම හමුවේ පැවැතියත් ඩැරල් මිචෙල් සමඟ එක්වූ පසු පෙළ පිතිකරුවෝ පළමු ඉනිමේදී ලකුණු 18 ක වාසියක් ද නවසීලන්ත වෙත ලබා දුන්හ.

නවසීලන්තය වෙනුවෙන් ඩැරල් මිචෙල් ටෙස්ට් තරග දිවියේ 5 වැනි ශතකය අද දිනයේදී රැස් කර ගැනීමට සමත් වුවත් ශ්‍රී ලංකාවට වැඩිම හානියක් සිදුකරන ලද්දේ මැට් හෙන්රි විසින් රැස් කරන ලද ලකුණු 72 ක ඉනිම විය. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 291 ක්ව තිබියදී ශතක ලාභියාව දවා ගැනීමට ළහිරු කුමාර සමත් වුවත්, මැට් හෙන්රිගේ අනුකම්පා විරහිත ඉනිම ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යෑමට නවසීලන්ත පිලට ඉඩ පහස විවර කර දුන්නේය.

නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම ඇරැඹි ශ්‍රී ලංකා පිල ඉනිම ගොඩ නගන ලද්දේ දැඩී මන්දගාමී පිතිහරඹයක් පෙන්නුම් කරමිනි. කෙසේ වෙතත් තේ පානය දක්වා කඩුලු ආරක්ෂා කර ගැනීමට ආරම්භක පිතිකරුවන් යුගල සමත් වුවත්, ඊළඟ සැසියේදී කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා පිලේ ලකුණු සංඛ්‍යාව 83 ක්ව සටහන් තිබියදීය. ඒ වන විටත් දැවී ගිය පිතිකරුවන් වූ නායක කරුනාරත්න (17), ඔෂද ප්‍රනාන්දු (28) සහ කුසල් මෙන්ඩිස් (14)ගේ කඩුලු දවා ගැනීමට බ්ලෙයාර් තික්නර් සමත්වූවේය. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලකුණු 65 ක් ඉදිරියෙන් සිටින්නේ කඩුලු 7 ක් අත දරාගනිමිනි.

දිනය අවසන් වීමට පන්දුවාර 4 කුත් පන්දු 2 ක් ඉතිරිව තිබියදී සැඳෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය මැතිව්ස් සමඟ එක්ව වගකීම අකුරටම ඉටු කළේ පන්දු 14 කට මුහුණ දෙමින් කඩුල්ල ආරක්ෂා කර ගනිමිනි. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම වෙනුවෙන් යවන ලද පන්දුවාර 38 න් වැඩිම පන්දු සංඛ්‍යාවකට පහර දුන් මැතිව්ස් පන්දු 62 කදී ලකුණු 20 ක් ලබා තරගයේ සිව්වැනි දිනය වන හෙට (12 දා) දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටියි. පළමු ඉනිමේදී ලකුණු 7000 සීමාවට ළඟා වූ මැතිව්ස් අද දිනයේදී සිය ජාත්‍යන්තර තරග දිවියේ ලකුණු 14,000 සීමාව ඉක්මවාලීමට සමත්වීම කැපී පෙනුණි.

පළමු දින දෙකට සාපේක්ෂව පන්දුවේ දෝලනයක් හෙග්ලි ඔ්වල් පිටියේදී දැක ගැනීමට නොහැකි විය. ඉන් වාසි ලබා ගත් අංක 9 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි මැට් හෙන්රි හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමඟින් පන්දු 75 කදී ලකුණු 72 ක් ලබා සිය කණ්ඩායම පළමු ඉනිමේදී ඉහළට ඔසවා තැබුවේය. මෙම ඉනිම නොවූයේ නම් ශ්‍රී ලංකාවට නිසැකරයෙන්ම ලකුණු 50 කට වඩා වැඩි වාසියක් ලබා ගැනීමට  හොඳින්ම අවකාශ පැවතිණ.

මිචෙල් දැවී යන විටත් හෙන්රි ලබා ගෙන තිබුණේ පන්දු 45 කදී ලකුණ 20 ක් පමනි. එහෙත් ධනංජය ද සිල්වාගේ පන්දුවාරයකට පිට පිට හයේ දෙකක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 17 ක් ලබා ලකුණු ලබා ගැනීම වේගවත් කළ හෙන්රි අවසන් පන්දු 30 දී ලකුණු 52 ක් රැස් කරන ලද්දේ කසුන් රජිත විසින් යවන ලද පන්දුවාරයේදී ලකුණු 4, 4, 4, 6, 4, සහ 2 වශයෙන් ලකුණු 24 ක් රැස් කර ගනිමිනි.

අසිත ප්‍රනාන්දුගේ යෝකර් පන්දුවක් හමුවේ හෙන්රි කඩුල්ල අහිමිකර ගත්තද එම ඉනිමෙන් යළිත් තරගයට අවතීර්ණ වූ පසු පෙළ පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉවක් බවක් නැතුව පහර එල්ල කළහ. දැවී යන විටත් වගකීම ඉටු කළ තිබූ හෙන්රි ලකුණු 05 කින් ශ්‍රී ලංකා ඉනිම අභිබවා යෑමට නවසීලන්ත පිලට අවස්ථාව සලසා දී තිබුනේය.

හෙන්රිගේ මේ වීරක්‍රියාව අනෙක් අන්තයේ සිට බලා සිටි නීල් වැග්නර් පන්දු 24 කදී ලකුණු 27 ක් රැස් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ව අවස්ථාවක් ලබා නොදෙමිනි. නවසීලන්ත නායකයා වූ ටිම් සවුති ද පන්දු 20 කදී ලකුණු 25 ක් ලබා ගත්තේය. එ් අනුව නවසීලන්ත පිලේ අවසන් පිතිකරුවන් සිව්දෙනා පමණක් නවසීලන්ත පළමු ඉනිම සඳහා ලකුණු 124 ක් රැස් කිරීම කැපී පෙනෙයි. මොවුන් සිව්දෙනා පන්දුවට පහර දීමට පැමිණීමට පෙර නවසීලන්ත පිල කඩුලු 6 කට ලකුණු 188 ක් වශයෙන් අසීරු තත්ත්වයක රැඳී සිටියත් ඉනිමේ අවසන් පිතිකරුවා ලෙසින් නීල් වැග්නර්ව අසිත ප්‍රනාන්දු විසින් දවා ගන්නා විට නවසීලන්ත ඉනිම ලුණු 373 ක් ලෙසින් සටහන්ව තිබිණ.

තේ පානයට මිනිත්තු 30 ක් පමණ ඉතිරිව තිබියදී නවසීීලන්ත ඉනිම හමාර වන විටත් අසිත ප්‍රනාන්දු කඩුලු 4 ක් සහ ළහිරු කුමාර කඩුලු 3 සහ කසුන් රජිත කඩුලු 2 ක් වශයෙන් දවා ගෙන තිබුණහ.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 92.4 කදී 355 යි.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest