slc
logo
Home   |    News
මාර්තු 25, 2023
ශ්‍රී ලංකාව පරදා නවසීලන්තය එක්දින තරගාවලියේ පෙරමුණට

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් තරග වටය යටතේ අද (25 දා) ආරම්භ වුණු නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරගයේදී පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 198 ක දැවැන්ත පරාජයකට මුහුණ දුන්නේය. මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන 8 වැනි කණ්ඩායම බවට පත්වීමට ශ්‍රී ලංකාවට පහසුවෙන්ම ලබා ගැනීමට තිබූ ප්‍රසාද ලකුණු 10 අහිමිවිය.

ඕක්ලන්ඩ්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 275 ක ඉලක්කයක් තැබූ නමුත් එය හඹා යෑමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 76 කට සීමා කිරීමට හෙන්රි ශිප්ලි ප්‍රමුඛ නවසීලන්ත පන්දු යවන්නෝ සමත්වූහ. නවසීලන්ත පිල මෙම ජයග්‍රහණය ලබා ගන්නා ලද්දේ ඔවුන් සතු හොඳම ක්‍රීඩකයින් ඉන්දියාවේ පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට ගොස් සිටින වටපිටාවකදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම දවා ගැනීම සඳහා නවසීලන්ත පන්දු යවන්නන්ට පන්දුවාර 20 ක් වත් වැය නොවිණ. සිය සිව්වැනි එක්දින තරගයට සහභාගිවුණු හෙන්රි ශිප්ලි කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසින් සටහන් වුණු මෙම තරගයේදී ශ්‍රී ලංකාව නවසීලන්තය හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. වසර 4 කට පසුව නවසීලන්තය වෙනුවෙන් එක්දින තරගයකදී කඩුලු 5 ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසින් සටහන් කරගත් ශිප්ලි සිය පන්දු යැවීම ලකුණු 31 කට කඩුලු 5 ක් වශයෙන් සටහන් කරගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවන් තිදෙනකුට පමණක් ලකුණු 10 සීමාව ඉක්මවා යැ හැකි වූ අතර ඒ අතරින් දෙනෙකුම පන්දු යවන්නන් වීම විශේෂත්වයකි. චාමික කරුනාරත්න (11) සහ ළහිරු කුමාර (10) එම පන්දු යවන්නන් බවට පත් වද්දී වසර 2 කට පසු කණ්ඩායමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 18 ක් ලබා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. නවසීලන්ත වේග පන්දු යවන්නන් කෙතරම් හොඳින් පන්දු යැව්වේද කිවහොත් එම කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් කැඳවීමට මත්තෙන්ම ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19.5 කදී නිමා කිරීමට ඔවුහු සමත්වූහ.

නුවනිඳු ප්‍රනාන්දුගේ දුවද්දී දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ඇරැඹිණ. කඩුලු අතර දිව යෑමේදී වූ අනබෝධය හේතුවෙන් නුවනිඳු දුවද්දී දැවී ගිය අතර පසුව පැමිණි කිසිවකුට සාර්ථක කඩුලු සම්බන්ධතා ගොඩ නගා ගැනීමට නොහැකි විය.

කාසියේ වාසිය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුවත්, නවසීලන්ත පිතිකරණ බල ඇණිය මෙල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත්විය. වනිදු හසරංගව දැඩි ප්‍රහාරයකට ලක් කළ නවසීලන්ත පිතිකරුවෝ ඔහුගේ පන්දුවාර 10 දී ලකුණු 67 ක් ලබා ගත්තේ කිසිදු කඩුල්ලක් ලබා නොදෙමිනි. සිව්වැනි වේග පන්දු යවන්නා ලෙසින් කණ්ඩායමට පිවිස සිටි චාමික කරුණාරත්න ලකුණු 43 කට කඩුලු 4 ක් බිද දමා සිය එක්දින තරග දිවියේ හොදම පන්දු යැවීම වාර්තා කර ගැනීමට සමත් වද්දී ළහිරු කුමාර සහ කසුන් රජිත කඩුලු 2 බැගින් බිද හෙලූහ.

මෙම පරාජයත් සමග ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව තබා තිබූ බලාපොරොත්තුද මේ වන විට හැකිළී ගොස් තිබේ. ශ්‍රී ලංකාව ඊළඟ තරග 2 ම ජය ගත්තද ඔවුන්ගේ අනාගතය රඳා පවතිනුයේ දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය ඉදිරි තරග වලදී ලබන ජය පරාජයන් වලට අනුවය.

නවසීලන්තය පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 274 යි – (ෆින් ඇලන් 51, චාඩ් බෝව්ස් 14, විල් යංග් 26, ඩැරල් මිචෙල් 47, ග්ලෙන් පිලිප්ස් 39, රෂින් රවීන්ද්‍ර 49, ඉෂ් සෝදි 10, චාමික කරුනාරත්න 43/3, ළහිරු කුමාර 46/2, කසුන් රජිත 38/2)

ශ්‍රී ලංකාව පන්දුවාර 19.5 කදී ලකුණු 76 යි – (ඇන්ජලෝ මැතිව්ස් 18, චාමික කරුණාරත්න 11, ළහිරු කුමාර 10, හෙන්රි ශිප්ලේ 31/5, ඩැරල් මිචෙල් 12/2, බ්ලෙයාර් තික්නර් 20/2

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee