slc
logo
Home   |    News
මාර්තු 10, 2023
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ජවය පෙන්වති

sinhala editor

ලකුණු 10 ක් ඇතුළත නවසීලන්ත පිලේ ඉදිරි පෙළ කඩුලු 3 ම දවා ගැනීමට සමත්වීම නිසා ක්‍රයිස්චර්ච්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (10 දා) තරගය නිමා කරන විට තරගයේ වාසි තමන් වෙත හරවා ගනිමින් සිය වේග පන්දුවේ ජවය පෙන්වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මෙම දක්ෂතාව ප්‍රධාන කොට දෙවැනි දිනට තරගය නිමා කරන විට නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 162 කට කඩුලු 5 ක් අහිමිකරගෙන සිටියහ.

හෙග්ලි ඔ්වල් පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා ඉනිම අභිබවා යෑමට නම් නවසීලන්ත පිලට තවත් කඩුලු 5 ක් ඇතුළත ලකුණු 193 ක් ලබා ගත යුතු වේ. ගැටලුවට හේතු වන්නේ නවසීලන්ත පිලේ නම් දැරූ පිතිකරුවන්ගෙන් ඉතිරිව සිටින්නේ ඩැරල් මිචෙල් පමණක් වීමය. දවස අවසන් වන විට මිචෙල් පන්දු 89 කට මුහුණ දී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 40 ක්ද මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 9 ක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 355 කට සීමා කිරීමෙන් අනතුරුව පිළිතුරු පළමු ඉනිම ඇරඹූ නවසීලන්ත පිල වෙනුවෙන් ලකුණු 67 ක් පළමු කඩුල්ල වෙුනවෙන් එක් කිරීමට ටොම් ලෙතම් සහ ඩෙවෝන් කෝන්වේ සමත් වුවත්, අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක්ව ලකුණු 10 ක් ඇතුළත තරගය කණ පිට පෙරළූහ. ඒ නවසීලන්තය සතු වටිනාම කඩුල්ල වන කේන් විලියම්සන්ගේ ඉනිම පන්දු 11 කට සීමා කරමිනි.

ලකුණු 67 කට කිසිවකු නොදැවී තිබූ ඉනිම ලකුණු 77 වන විට කඩුලු 3 ක් දක්වා පරිවර්තනය කළේ ළහිරු කඩුලු 2 ක් සහ අසිත කඩුල්ලක් දවා ගනිමිනි. විලියම්සන්ට අමතරව කෝන්වේ සහ හෙන්රි නිකොල්ස්ද දැවී ගිය පිතිකරුවන් අතරට අයත් විය.

යෝකර් පන්දුවකින් කෝන්වේව දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වද්දී ළහිරු කුමාර විසින් විලියම්සන්ගේ කඩුල්ල දවා ගත්තේය. ශ්‍රී ලංකා පිලට නව ජවයක් එකතු වුණු කඩුල්ලක් ලෙසින් විලියම්සන්ගේ කඩුල්ල සඳහන් කළ හැක. කුමාරගේ පන්දුවකට ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට යෑමේදී එය කරුණාරත්නගේ පරෙස්සමට රැක ගත්තේය.

පෙරමුණ බිඳ වැටුණු නවසීලන්ත ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූයේ ටොම් ලේතම් වන අතර ඔහු තරගය අවසන් වීමට පන්දුවාර හෝරාවකට අඩු කාලයක් තිබියදී දැවී ගියේය. දැවී යන විටත් තම 27 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට වමත් පිතිකරුවා සමත්වී සිටියේය. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ළහිරු කුමාර කඩුලු 2 ක බැගින් දවා ගනිද්දී කසුන් රජිත එක් කඩුල්ලක් දවා ගත්තේය.

අද උදෑසන පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 50 කින් ලකුණු පුවරුව ඉහළ දමා ගත්තේය. ඊයේ නතර කළ තැනින් අද දිනය ආරම්භ කළද ධනංජය ද සිල්වාට රැස් කරගත හැකි වූයේ ලකුණු 07 ක් පමණි. මැට් හෙන්රිගේ පන්දුවක් හමුවේ ධනංජය ලකුණු 46 කට දැවී ගියද අවසන් පිතිකරුවන් සිවු දෙනා එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 39 ක් එක් කළහ. කෙසේ වෙතත් උදෑසන දැවි ගිය කඩුලු 5 න් කඩුලු 2 ක් සමව දවා ගැනීමට මැට් හෙන්රි සහ ටිම් සවුති සමත්වූහ.

දක්ෂ පන්දු යැවීමක නිරත වුණු මෙම පන්දු යවන්නන් දෙදෙනා සිය පන්දු යැවීම නිමා කළේ පිළිවෙළින් ලකුනු 64 කට කඩුලු 5 ක සහ ලකුණු 80 ට කඩුලු 4 ක් වශයෙනි.

Active filters

Recent Posts

  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]
  • දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු හතකින් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා (13) කිම්බර්ලි නගරයේ ඩයමන්ඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි එක්දින තරගයේදී සත්කාරක දකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar