slc
Home   |    News
මාර්තු 9, 2023
ශ්‍රී ලංකා පිතිකරුවෝ අභියෝගය වාසියට පෙරළා ගනිති

sinhala editor

කොළපාට තණතණතිල්ලක් ලබා දෙමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අමාරුවේ දැමීමට නවසීලන්ත පිල දැරූ ප්‍රයත්නය ව්‍යර්ථ කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ ක්‍රයිස්චර්ච්හි හෙග්ලි වල් පිටියේ අද (09 දා) ඇරැඹි පළමු ටෙස්ට් තරගයේදී සත්කාරකයින් කිසිසේත් අපේක්ෂා නොකළ පිතිහරඹයක නිරත වීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත්වූහ. ඒ පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 6 කට ලකුණු 305 ක් ලබා ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ ලකුණු සංඛ්‍යාව ලබා ගන්නා ලද්දේ පළමු දිනයේ යැවීමට නියමිත පන්දුවාර 90 න් පන්දුවාර 15 යැවීමට වර්ෂාව හරස් වුණු පසුබිමකදීය.

ඒ වෙනුවෙන් කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනුණහ. කොළ පැහැති තණතීරුවක් අද තරගයට ලබා දීම හේතුවෙන් කාසියේ වාසිය තමන් සතු කරගත් නවසීලන්ත නායක ටිම් සවුති හැකි නම් ලකුණු රැස් කර ගන්නා ලෙස අභියෝග කරමින් පළමුව පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

බලාපොරොත්තු වූ පරිදිම පන්දුවේ ‌අදහා ගත නොහැකි දෝලනය පළමු පන්දුවාරයේ සිටම දැක ගත හැකිවිය. ඒ අතරතුරදී ඕෂධ ප්‍රනාන්දු ලකුණු 13 කදී දැවී යෑමෙන් පසු නායක දිමුත් කරුණාරත්නට එක් වූ කුසල් මෙන්ඩිස් තරගය මුලුමලින්ම නවසීලන්ත පිලෙන් උදුරා ගත්තේ දිවා භෝජනය වන විට ලකුණු පුවරුව එක් කඩුල්ලකට ලකුණු 120 ක් දක්වා ඉහළ නංවමිනි.

දකුණු අප්‍රිකාවේ පැවැති විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි දකුණත් අංක 3 පිතිකරුවා අර්ධ ශතකය පන්දු 40 කදී වාර්තා ක‌ර ගත්තේ ඉන් 11 වතාවක් හතරේ පන්දුව හතරේ සීමාවට යොමු කරමිනි. එම අර්ධ ශතකය ක්‍රයිස්චර්ච් පිටියේදී සංචාරක පිතිකරුවකු රැස් කරන ලද වේගවත්ම අර්ධ ශතකය ලෙසින් සටහන් විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ ස්ටීවන් ස්මිත් විසින් 2016 වසරේදී පන්දු 41 කදී තබා තිබූ වාර්තාවය.

සිය සහායකයා නවසීලන්ත පන්දු යවන්නන්ට තලා පෙළා දමමින් පන්දුවට පහර දෙද්දී කවදත් පන්දුවට ගරු කරමින් තැන්පත් පිතිහරඹයක නියැළීමට රුචියක් දක්වන දිමුත් අන්තය ආරක්ෂා කරගත්තේ දිවා විවේකයේදී පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 33 ක් දක්වා ඉහළ දමා ගත්තේය.

මුලු ලකුණු සංඛ්‍යාව 151 ක්ව තිබියදී කුසල් මෙන්ඩිස් සහ දිමුත් කරුණාරත්න දැවී ගියහ. ඒ වන විට් පන්දු 83 කින් කුසල් ලකුණු 87 ක් ලබා සිටියේ හතරේ පහර 16 ක්ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි. මැට් හෙන්රිගේ පන්දුවකට දිමුත් දැවී යන විට පන්දු 87 කදී හතරේ පහර 7 ක්ද එල්ල කරමින් ලකුණු 50 ක් ලබා සිටියේය. දැවී යෑමට මත්තෙන් දිමුත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරන ලද ආරම්භක පිතිකරුවාගේ වාර්තාවටද හිමිකම් කීවේය. මීට පෙර ආරම්භ පිතිකරුවකු ලෙස වැඩිම ලකුණු රැස් කරනෙ සිටි පිතිකරුවා වූයේ සනත් ජයසූරිය වන අතර හේ තරග 79 කදී ලකුණු 5317 ක් රැස් කරගෙන තිබුණි. දැවී ය විට දිමුත් තරග 83කදී ලකුණු 6073 ක් රැස්කරගෙන සිටියේය.

මොවුන් දැවී යෑමත් සමඟ තරගයට වර්ෂාවෙන් හරස් වූ නමුත්, අනතුරුව ඇරැඹි තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් එක්ව ලකුණු රැස් කිරීමේ කාර්යයෙහි නිරත වූහ. බ්ලෙයාර් තික්නර් යවන ලද පිට පිට පන්දු 3 කදී හතරේ පහර 3 ක් එල්ල කළ චන්දිමාල් වඩා වැඩි විශ්වාසයක් පිටියේ ගොඩ නඟා ගත් නමුදු, සිව්වැනි කඩුල්ල ලෙසින් චන්දිමාල් (39) දැවී යන විට එම කඩුල්ලට ලකුණු 82 ක් එක් කිරීමට දායකත්වය දක්වා තිබිණ. චන්දිමාල් තවත් ලකුණු 25 ක් ලබා ගැනීමට සමත්වූයේ නම් ඔහුට ටෙස්ට් ලකුණු 5000 සීමාව ඉක්මවා යෑමේ අවස්ථාව අද දිනයේ තිබිණ.

ශ්‍රී ලංකා ඉනිමේ අද සිදුවූ සුවිශේෂී සිදුවීම වූයේ ඇන්ජ‌ලෝ මැතිව්ස්‌ ටෙස්ට් ලකුණු 7000 සීමාව ඉක්මවා යෑම විය. 47 වැනි ලකුණු ලබා ගැනීමත් සමඟ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම දැක්වූ තෙවැනි පිතිකරුවා ලෙසින්ද ඉතිහාස ගත විය. මැතිව්ස්ට ඉදිරියෙන් පසුවන්නේ මහේල ජයවර්ධන (11,814) සහ කුමාර් සංගක්කාර (12,400) පමණි. එම කඩඉම සනිටුහන් කර ගැනීමෙන් පසු එකම ලකුණක් හෝ ලබා ගැනීමට පෙර මැට් හෙන්රි විසින් මැතිව්ස්ව දවා ගත්තේය. ඒ වන විටත් පන්දු 98 කට මුහුණ දී සිටි මැතිව්ස් තම ඉනිමට හතරේ පහර 6 ක් එල්ල කර තිබුණේය.

තවමත් ටෙස්ට් ශතකයක් ලබා නොමැති නිරෝෂන් දික්වැල්ලට අද දිනයේදී දීර්ඝ ඉනිමක් කරා යෑමට හොඳම අවස්ථාවක් තිබුණද වැරදී ගිය ස්වීප් පහරකින් සිය ඉනිම හමාර කරගත්තේය. ධනංජය ද සිල්වා ලකුණු 39 ක්ද කසුන් රජිත ලකුණු 16 ක්ද ලබා තරගයේ දෙවැනි දිනය වන හෙට (10 දා) දිනයේදීත් පන්දුවට පහර දීම සදහා සූදානම්ව සිටිති.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest