එදා බක් මහේ කොවුල් නාදය බොහෝ තැන්වල ගිගුම් දෙන වසන්ත කාලයේ ආරම්භය සටහන් වූ සොදුරු උදාවකි. වසර 2014 අප්‍රේල් මස 6 වනදා ඒ වසන්ත සැමරුම අර්ථවත් කළ උදාර දිනයක් විය. ශ්‍රී ලංකාව ලෝකයේ ලබාගත් දෙවන ඉහළම කුසලානය දිනාගත් දිනය ලෙස ඉතිහාස පොතේ සටහන් වූ අමරණීය දිනය එය වේ. එම විජයග්‍රහණයේ 9 වැනි සංවත්සරය උදා වූ දිනය අපූර්ව මතක සටහන් වලින් පිරී ඉතිරී ගියේය.
ඒ අභිමානවත් දවසේ අතුරු සිදුරු නොමැතිව ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී ගිය බංග්ලාදේශයේ ඩකා නුවර ශ්රේ බංග්ලා ක්‍රීඩාංගණයේ සිටි බහුතරයක් සිංහ ධජය වැළදගෙන තිබිණි. ඔල්වරසන් හඩ මැද ඔවුන් අත තිබූ ඒ ප්‍රතාපවත් සිංහ ධජ ළෙලදෙමින් තිබිණ. ඒ අතර ගෙවුණු සෑම නිමේෂයකම ලොව පුරා සිංහයන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ තම හෘදයාංගම සුබ පැතුම් සමග ආශිර්වාදය හා ආදරය ලබා දුන්හ.
ශ්‍රී ලංකාවට මෙම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී විවිධාකාරයේ ගැටලුවලට මුහුණ දීමට සිදු වූ අතර, ඒ සෑම අවස්ථාවකදීම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී ගමන් මඟට ප්‍රේක්ෂක ආශිර්වාදය හා ආදරය නොඅඩුව හිමිවීම අමතක කළ නොහැක. කිසිදා කිසිවෙකුටත් බිය නැති සිංහයින් වැටී වැටී නැගිටිද්දී ප්‍රේක්ෂක ආශිර්වාදය හා ආදරය ජයග්‍රහණයකට කෙතරම් වැදගත් ද යන්න විස්සයි 20 ලෝක කුසලානය අතටගත් සැනින් නායක ලසිත් මාලිංග එදා කළ පැහැදිලි කිරීමෙන් සිහිපත් වේ.
“අපි ක්‍රිඩාංගණයේදී දක්වන දක්ෂතාවලට ප්‍රේක්ෂකයන්ගේ ආශිර්වාදය හා ආදරය විශාල ලෙස බලපානවා. ඒ නිසා තරගයක් දෙකක් පරාජය වූවත් ඒ ගැන කළබල නොවී ඔබේ ආශිර්වාදය හා ආදරය ක්‍රීඩකයන්ට දෙන්න. එහෙම වුණාම අපට ලෝක කුසලාන ගේන්න අපහසු නෑ“ මාලිංගගේ ඒ කතාව අදට කෙතරම් ගැලපේද යන්න සිතා බැලිය යුතුය.
තරගාවලියකට පිවිසෙන ක්‍රීඩකයන්ට ක්‍රීඩා පිටියේදී එල්ලවන අභියෝග දන්නේ පිටියේ සිටින ක්‍රීඩකයන් හා ඔවුන්ට සහය දෙන කළමනාකාරීත්වය පමණි. පිටත සිටින අය කුමන විවේචන කළත් තරගාවලියක් අතරතුර එල්ලවන අභියෝගවලට ක්‍රීඩකයන් පිළිතුරු සෙවිය යුතුය. 2014 ලෝක කුසලානය දිනා ගන්නා දවස තෙක් පැමිණි බාධක සියල්ල “පැණි රසක්“ ලෙස භාරගත් ආකාරය සියළු දෙනාට අති මහත් ආදර්ශයකි. ක්‍රිකට්වලට ආදරය කරන සැමට අදටත් ගැලපෙන යථාර්ථයකි.
එදා තරගාවලියේදී ශ්‍රී ලංකාව මුහුණදුන් ගැටලු අතර ප්‍රධානම එකක් වූයේ කණ්ඩායමේ නායකයා හදිසියේම ඉවතට යෑමය. ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය කණ්ඩායමේ නායකයා වූයේ දිනේෂ් චන්දිමාල් වුවද, තරගාවලියේ සුපිරි 10 වටයේ එංගලන්තය සමඟ පැවති තරගයේ දී, නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීමේ හේතුව මත චන්දිමාල්ට තරග තහනමක් පැනවිය. එම තහනම කිසිදු අභියාචනාවකින් ගලවා ගැනීමට නොහැකි තරම් ප්‍රබල එකක් වූවේය.
චන්දිමාල්ට තහනම් වන්නේ සුපිරි 10 වටයේ නවසීලන්තය සමග තරගය පමණක් වුවත් එතෙක් උපනායකයා ලෙස කටයුතු කළ මාලිංග, නායකත්වයේ වගකීමද අකුරටම ඉටු කරන බව තේරුම් ගත් එවකට තේරීම් කමිටුව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිගටම මාලිංගට භාර කළේය.
ශ්‍රී ලංකාව 2014 විස්සයි 20 තරගාවලියේදී තරග 6තට සහභාගීවී පරාජයට පත්වූයේ එංගලන්තය සමග තරගය පමණි. එහෙත් එම ලෝක කුසලාන ගමනේ අවසන් සුපිරි කණ්ඩායම් 4ට පිවිසීම සඳහා නවසීලන්තය සමඟ තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තීරණාත්මක විය.
ඒ තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 119ක් පමණි. එබැවින් බ්‍රෙන්ඩන් මැක්ලම්ගේ කණ්ඩායම ශ්‍රී ලංකාව යට කරනු ඇතැයි බොහෝ අය කල්පනා කළහ. අඩු ලකුණු ගණනක් ලබාගෙන සිටිද්දී නවසීලන්තයේ මාර්ටින් ගප්ටිල් හා කේන් විලියම්සන් වැනි කසකරුවන්ගේ ගමන් මඟ නවතාලන්නේ කෙසේද යන්න කල්පනා කිරීමම හිසරදයක් වූවේය. ක්‍රීඩා පිටියෙන් පිටත සිටින විචාරකයෝද නා නා විධි කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළහ. නමුත් සුපිරි පන්දු යැවීමක නිරත වූ රංගන හේරත්ගේ කර මතින් ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දොරටු විවර විය. හේරත් කඩුලු 5ක් ගනිද්දී බින්දු 4ක් ද සමග නවසීලන්ත ලකුණු පුවරුව ලකුණු 60 කට සීමා විය.
අවසන් වතාවට 2012 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී ශූරයින් වූ කොදෙව්වෝ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංවේ ප්‍රතිවාදීන් බවට පත්විය. කලින් පැවැසූ පරිදි සිංහයින් ගැන විශ්වාසය තබා සියළු දෙනාගේ ආශිර්වාදය හිමිවූ හෙයින් කොදෙව් තරගයේදී දක්ෂතා උද්දීපනය විය. ශ්‍රී ලංකාව කඩුලු 6කට ලකුණු 160ක් ලබාගත් අතර, පසුපස එළවා පහරදුන් කොදෙව්වෝ ඕවර් 13.5කදී කඩුලු 4කට ලකුණු 80ක් ලබා සිටියදී තරගයට වර්ෂාව බාධා ගෙන දුන්නේය. ශ්‍රී ලංකාවේ ලකුණු වේගය ප්‍රබල එකක් වූ බැවින් ඩක්වර්ත් – ලුවිස් න්‍යාය අනුව ලකුණු 27ක ජයක් ලබා අවසන් මහා තරගයට පිවිසියහ.
ඒ සමගම ක්‍රිකට්වලට ආදරය කළ හෝ නොකළ භේදයක් නැතිව මුලු රටක් එක්සේසත් විය. ක්‍රීඩාවට ජාති කුල මල ආගම් භේද නොමැති බව පසක් කරමින් සියලු ජාතීහූ සිංහයින් වටා රොක් වූහ. පංසලේ, පල්ලියේ, කොවිලේ සෑම පුද බිමකම ආශිර්වාද පූජා පැවැත්වූහ.
අවසන් තරගයේදී දෝනී හා මාලිංග කාසියේ වාසිය උරගා බැලීමට පිටියට පිවිසියහ. දෝනී අවසන් තරගයකදී කාසියේ වාසිය දිනා ගැනීමේ සමතෙකු බවට විශාල මතයක් ගොඩනැගී තිබියදී, වැල්ලේ ගැහුවත් බඹරේ කැරකැවෙන බවට විශ්වාසයෙන් යුතුව මාලිංග කාසියේ වාසිය දිනා පන්දු යැවීම තෝරා ගත්තේය.
තරගාවලිය පුරා වැඩ පෙන්වමින් සිටි විරාට් කෝලී ප්‍රමඛ ප්‍රබලම ඉන්දීය පිතිකරු ලැයිස්තුව ඇද බැඳ තබා ගත් ලසිත් මාලිංග ප්‍රමුඛ පන්දු යවන්නෝ ඉන්දීය ඉනිම ලකුණු 130 කට සීමා කරේ තම පන්දු යවන්නන් සතු ප්‍රතාපවත් බව යළි යෙළිත් පෙන්නුම් කරමිනි. ඉන්දීය කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට ඇද බැද තබා ගත් අවසන් පන්දුවාර 4 පිළිබඳව අදටත් මහ ඉහළින් කතා කරනුයේ ප්‍රබල ඉන්දීය පිතිකරුවන් ළදරුවන් සේ අපහසුතාවයට පත් නිසාය. එම පන්දුවාර 4 දී ශ්‍රී ලංකාව විසින් ලබා දී තිබුණේ ලකුණු 19 ක් පමණි. සාමානයෙන් ඉන්දීය පිතිකරණ අංශය යනු ලොව භයානකම පිතිකරුවන් සහිත කණ්ඩායම වූවත් මෙම තරගයේදී මාලංග සහ කුලසේකර විසින් ඔවුන් වෙත යොමු කරන ලද ‘වයිඩ් යෝකර්ස්’ පන්දුවලට පහර එල්ල කිරීමට තරම් සැලසුමක් ඔවුන් සතු නොවීය.
ලකුණු 77 ක් ලබා සිටියදී විරාත් දුවද්දී දවා ගැනීමට මිඩ්විකට් හී සිට පන්දුව කෙලින්ම කඩුල්ලට යොමු කොට දවා ගැනීමට සචිත්‍ර සේනානායක සමත්වීමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය තවත් ඉහළට යෑමට හේතු කාරණා වූවේය.
ශ්‍රී ලංකාවේ මුල් කඩුලු 4ක් ලකුණු 78කට දැවීගොස් තිබියදී කුමාර් සංගක්කාර හා තිසර පෙරේරා එක්ව ඉන්දියාවට එරෙහි සටනේ තීරණාත්මක කොටස භාර ගත්හ. දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තරගයේ 18 වැනි ඕවරයේ යැවූ මුල් පන්දු දෙකේදී සංගක්කාර හතරේ පහර දෙකක් එල්ල කළේ ජයග්‍රහණයට වඩාත් ළං වෙමිනි.
සංගක්කාර මුහුණ දුන් සිව්වැනි පන්දුවට තවත් ලකුණක් ගෙන (ලකුණු 52ක් ලබා) තිසරට පන්දුවට පහර දීම සදහා පැති මාර කර දුන්නේය. ඒ වන විටත් රටවල් 16 ක් තරග වැදුණු 2014 ලෝක කුසලානය තමන් සන්තකයට ගැනීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය වූයේ ලකුණු 3ක් පමණි. එවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැගී එන ක්‍රීඩකයෙකු වූ තිසර පෙරේරාගේ හැඩි දැඩි සිරුරට අශ්වින් ලිලිපුට්ටෙක් බඳු වූවේය. අශ්වින්ගේ පස්වැනි පන්දුවට ඉදිරියට පැන එල්ල කරන ලද දැවැන්ත පහරින් ලකුණු 6ක් ලබා ගත් තිසර පෙරේරා (ලකුණු 23ක්) සිංහයින්ගේ කුසලාන පිපාසය සංසිඳවූවේය.
ලක්ෂ ගණනක ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මැද සිංහයින් විසින් ඉන්දියානුවන් පරදා 2014 විස්සයි 20 ලෝක ක්‍රිකට් කිරුළ දිනාගත්තේ ඒ අයුරිනි.
එම ලෝක ශූරතාවලියේ ශූරතාව බොහෝ ලාංකේය ක්‍රීඩා ලෝලීන්ගේ දෑසට සතුටු කඳුලු එක් කරන අතර වාරයේදී දුක්බර හැඟීමක්ද එක් කළේ කුමාර් සංගක්කාර සහා මහේල ජයවර්ධනගේ අවසන් විස්සයි 20 ජාත්‍යන්තර තරගය ලෙසින් එය සටහන් වීමය. විස්සයි 20 පිටියෙන් සමුගෙන යන්නට පෙර ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දීමට ඔවුන් සමත්වීමද දෛවෝපගත සිදුවීමක් විය.