slc
logo
Home   |    News
අප්‍රේල් 17, 2023
අයර්ලන්තය දැඩි අසීරුතාවක

sinhala editor

දිනේෂ් චන්දිමාල් සහ සදීර සමරවික්‍රම එක්ව රැස් කරන ලද ශතක හේතුවෙන් අයර්ලන්තයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 6 කට ලකුණු 591 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටුවා පන්දුවට පහර දීමේ වාරය ප්‍රතිවාදීන්ට ලබා දුන්නේය. තරගයේ දෙවැනි දිනය වූ අද (17 වැනිදා) තරගය නිමා කිරීමට පෙර යවන ලද පන්දුවාර 45 ඇතුළතදී ප්‍රතිවාදී පළමු ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 117 ක් ඇතුළත බිඳ දැමීමට ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු සමත්වී සිටියහ.

තරගය නිමාවීමට තවත් දින 3 ක් ඉතිරිව තිබෙන අතර පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමට නම් අයර්ලන්තය හමුවේ අත ඉතිරි කඩුලු 3 ඇතුළත ලකුණු 274 ක් ලබා ගත යුතු වේ. එහෙත් වර්තමාන අයර්ලන්ත කණ්ඩායම සතු ටෙස්ට් තරග අත්දැකීම් අවම වීමත්, ශ්‍රී ලංකා පන්දු යවන්නන් සිය උපරිමයට පැමිණීමට සමත්ව සිටීමත් නිසා මෙය සංචාරකයින්ට දැඩි අභියෝගයකි.

අයර්ලන්ත ඉනිමේ පන්දුවාර 45 න් පන්දුවාර 19 ක් යැවූ ජයසූරිය දිනය නිමා වන විට නිලකුණු පන්දුවාර 9 කදී ලකුණු 42 කට කඩුලු 5 ක් දවා ගත්තේය. මෙය ඔහු ඉනිම 9 කදී කඩුලු 5 කට වඩා වැඩියෙන් දවා ගන්නා ද පස්වැනි අවස්ථාව ලෙසින්ද සටහන් විය. ඉකුත් වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදීම ටෙස්ට් වරම් දිනාගත් වමත් දඟ පන්දු යවන්නා සිය ටෙස්ට් දිවියේ දවාගෙන තිබෙන කඩුලු 38 න් 34 ක්ම ගාල්ලේදී දවා ගැනීමට සමත්වීමද කැපී පෙනෙයි.

දැවී ගිය කඩුලු 7 න් 5 ක්ම තමන් සතු කරගත් ප්‍රභාත් ජයසූරිය අවම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 50 ක් දවාළීමට සමත් පන්දු යවන්නාගේ වාර්තාව ආසන්නයට පැමිණීමට සමත්ව සිටින්නේය. ජයසූරිය දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ 6 වැනි ටෙස්ට් තරගයට වන අතර මේ වන විට ඔහු කඩුලු 38 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අවම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් කඩුලු 50 ක් බිඳ හෙළා ඇත්තේ ඩිල්රුවන් පෙරේරා වන අතර ඔහු තරග 11 කට ක්‍රීඩා කරමින් එම දක්ෂතාව පෙන්වා තිබේ.

අසිත ප්‍රනාන්දු යවන ලද තරගයේ පළමු පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙසින් සටහන් වුණු අතර දෙවැනි පන්දුවාරය යැවීම සඳහා පන්දුවට අතට ගත් විශ්ව ප්‍රනාන්දු පළමු පන්දුවෙන් මරේ කමින්ස් මුහුණ දුන් පළමු පන්දුවෙන්ද, පස්වැනි පන්දුවෙන් ඇන්ඩි බැල්බර්නි (04)ගේ කඩුලු දවා ගනිමින් අයර්ලන්ත අපහසුතාවයට පත් කළේය.

අද දිනයේදී කැපී පෙනෙන සිදුවීම් බවට පත්වූයේ ශ්‍රී ලංකා පිලේ දිනේෂ් චන්දිමාල් සහ සදීර සමරවික්‍රම ශතක රැස් කර ගැනීමට සමත්වීමයි. දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් රැස් කරන ලද ශතකයද සමඟ ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුණු සමස්ථ ශතක සංඛ්‍යාවක් 4 ක් ලෙසින් සටහන් විය.

මෙය ගාල්ල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක පිතිකරුවන් ශතක 4 ක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසින් සටහන් වද්දී ශ්‍රී ලංකාව රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව එම ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් ලද සිව්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සටහන් විය. ගාල්ලේදී ශ්‍රී ලංකාව එවැනි දස්කමක් දක්වන ලද  පළමු අවස්ථාව ලෙසින් අද ඉනිම සටහන් විය. මීට පෙර ශ්‍රී ලංකා පිල අවස්ථා 3 කදී එවැනි දස්කමක් සටහන් කර ගැනීමට සමත්ව ඇතත් ඒ සියල්ලම කොළම එස්. එස්. සී. පිටියේදී සටහන් ව තිබේ.

මීට පෙර ගාලු ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් රැස් කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ  බංග්ලාදේශ පිල විසින් 2013 රැස් කරන ලද ලකුණු 638, ඉන්දියාව විසින් 2017 දී රැස් කරන ලද ලකුණු 600 සහ පාකිස්තානය විසින් 2000 දී කඩුලු 8 ක් දැවී රැස් කරන ලද ලකුණු 600 ක ඉනිම්ය.

මෙම දැවැන්ත ලකුණු පුවරුව ගොඩ නැගීම වෙනුවෙන් චන්දිමාල් සිය 14 වැනි ශතකයෙන්ද සදීර සමරවික්‍රම මංගල ශතකයෙන්ද දායකත්වය දැක්වූහ. වසර පහකුත් මාස 4 කට පසු ටෙස්ට් පිටියට අවතීර්ණ වුණු සදීර සමරවික්‍රම තමාට ලැබුණු පළමු අවස්ථාවේදීම ශතකයක් වාර්තා කළේ ශ්‍රී ලාංකික කඩුලු රකින්නකුට වසර 7 ක් ඇතුළත ලබා ගැනීමට නොහැකි වූ ශතකයක අඩුපාඩුව මකාළමිනි. අවසන් වතාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුලු රකිමින් ශතකයක් වාර්තා කිරීමට සමත්ව ඇත්තේ කුසල් පෙරේරා වන අතර ඒ 2016 වසරේ සිම්බාබ්වේට එරෙහිව පැවැති තරගයේදීය.

පෙර දිනයේ සැඳෑ පිතිකරු ලෙසින් පැමිණි ප්‍රභාත් ජයසූරියත් ධනංජය ද සිල්වාත් (16) දැවී යෑමෙන් පසු දිනේෂ් චන්දිමාල්ට එක්වූ සදීර සමරවික්‍රම ආරම්භයේ සිටම තරමක් වේගයෙන් ලකුණු රැස් කිරීමේ කාර්යයේ නියැළිණ. පළමු ලකුණු 50 ලබා ගැනීම සඳහා පන්දු 62 ක් වැය කළ දකුණත් පිතිකරුවා මුහුණ දුන් 112 වැනි පන්දුවේදී හතරේ පහරක් එල්ල කර ගනිමින් ශතකය සම්පූර්ණ කරගත්තේය.

අයර්ලන්තයට එරෙහිව වන පළමු ඉනිම සදහා ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ හෙයින් එම පන්දුවාරයට පමණක් නොදැවී සිටි පිතිකරුවන්ට අවස්ථාව ලබා දීමට නායක දිමුත් තීීරණය කළේය. කෙසේ වෙතත් අවසන් පන්දුවටද හතරේ පහරක් එල්ල කළ සදීර තම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව 104 දක්වා වැඩි කරගත්තේ ගාල්ල ක්‍රීඩාංගණයේදී අංක 7 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණ ඇති පිතිකරුවන් අතර ඉහළතම ලකුණු සංඛ්‍යාව රැස් කරගත් ක්‍රීඩකයාගේ වාර්තාව සියතට ගනිමිනි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියන ලද්දේ තිලාන් සමරවීර වන අතර ඔහු ලකුණු 104 ක් ලබාගැනීමට සමත්වී තිබේ.

චන්දිමාල් අද දිනයේ රැස් කරගන්නා ලද්දේ සිය ටෙස්ට් තරග දිවියේ 14 වැන්න විය. මෙය ගාල්ල ක්‍රීඩාංගණයේදී චන්දිමාල් විසින් රැස් කර ගන්නා ලද පස්වැනි ශතකය ලෙසින් සටහන් විය. ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ සිටම ටෙස්ට් පිතිකරුවක් ලෙස දැවැන්ත සාර්ථකත්වයක් ලබා සිටින චන්දිමාල්, අද දිනයේදී ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවන විටත් හතරේ පහර 1 ක් සමඟ පන්දු 155 කදී ලකුණු 102 ක් රැස් කර ගැනීමට සමත්ව සිටියේය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 131 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 591 යි – (දිමුත් කරුණාරත්න 179, කුසල් මෙන්ඩිස් 140, නිශාන් දුශ්ක 29, සදීර සමරවික්‍රම 104*, දිනේෂ් චන්දිමාල් 102*, ඇන්ජලෝ මැතිව්ස් 00, ප්‍රභාත් ජයසූරිය 16, ධනංජය ද සිල්වා 12, කර්ටිස් කැම්පර් 84/2)

අයර්ලන්තය පන්දුවාර 45 කදී කඩුලු 7 ට ලකුණු 117 යි – (ජේම්ස් මැක්ලම් 35, හැරී ටෙක්ටර් 34, පීටර් මුවර් 21, කර්ටිස් කැම්පර් 00, මරේ කමි් 00, ඇන්ඩ් බැල්බරීන් 04, ලෝකන් ටකර් 21*, ජෝර්ජ් ඩොකරල් 02, ඇන්ඩ් මැක්බ්‍රීන් 05*, ප්‍රභාත් ජයසූරිය 42/5, විශ්ව ප්‍රනාන්දු 22/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee