කවීෂා දිල්හාරිගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (11 දා) සමත්වූහ. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ලද ජයත් සමඟ තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවිය.
පළමු තරගයේ ලද පරාජයත් සමග කාසියේ වාසිය දිනුවද ශ්‍රී ලංකාව මෙම තරගයේදී පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. එහෙත් බංග්ලාදේශ ආරම්භක පිතිකාරිණියෝ ශ්‍රී ලංකා පිල කිසි විටෙකත් අපේක්ෂා නොකළ ආරම්භයක් ලබා දුන්නේ පන්දුවාර 4 දී ලකුණු 28 ක් රැස් කරමිනි.
බංග්ලාදේශ ඉනිමේ පළමු බිද දැමීම උදේශිකා ප්‍රබෝධනී විසින් සිදුකළේ රූබියා හයිදර්ව දවාගනිමිනි. ලකුණු 16 කට ඇයගේ කඩුල්ල ප්‍රබෝධනී දවා ගත්තා පමණක් නොව පෙර තරගයේදී නොදැවී ලකුණු 75 ක් රැස් කරමින් බංග්ලාදේශ පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමට මුල් වුණු නායිකා නිගර් සුල්තානාගේ කඩුල්ල දවා ගනිමින් ශ්‍රී ලංකාව සාර්ථක ප්රවේශයකට රැගෙන ගියාය.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උඩ පන්දු කීපයක්ම අද දිනයේදී ගිලිහී යෑමේ වාසිය බංග්ලාදේශ පිතිකාරිණියන් සතු වුවත්, දැවී ගිය කඩුලු 10 න් කඩුලු 7 ක්ම දවා ලමින් තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට ලබා දීමට දඟ පන්දු යවන්නියෝ සමත්වූහ. මෙම කඩුලු දැවී යෑම් අතර ශමීමා සුල්තානා, ෂෝභනා මොස්ටරි සහ නිගර් සුල්තානා යන ප්‍රභලම පිතිකාරිණියන් ලකුණු 17 ක් ඇතුළත දවා ගැනීමට ඉනෝකා රණවීර, කාව්‍යා කාවින්දි සහ උදේශිකා ප්‍රබෝධනී සමත්වූහ.
එම දවා ගැනීම් වලින් පසු බංග්ලාදේශ ඉනිමේ ඉතිරි කඩුලු 7 දවා ගැනීම සදහා ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විසින් ක්‍රියාක්මත කරන ලද්දේ පන්දු 30 ක් පමණි. 19 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී බංග්ලාදේශ ඉනිම ලකුණු 100 කදී නිමාවට පත්විය. පන්දු යවන්නියන් අතර කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2 බැගින් දවා ගත්හ.
එම ලකුණු හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතප්තතු ෆරිහා ට්රිස්නාගේ පළමු පන්දුවාරයට හතරේ පහර 4 ක් එල්ල කරමින් ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත්තාය. විශ්මි ගුණරත්න සමඟ ඉනිම ඇරැමි පරිණත ක්‍රීඩිකාව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 43 ක් එක් කළේ පන්දු 38 ක් පමණක් වැය කරමිනි. පිට ඉන්නෙන් ඈතින් ඇදී ගිය පන්දුවකට එලවා පහරක් එල්ල කර යෑමේදී ස්ටම්ප් කිරීමකට හසුව දැවී යෑම නිසා චමරිට ලකුණු 33 දී පිටියෙන් ඉවතට යෑමට සිදුවිය. ඒ වන විටත් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් තම ඉනිමට චමරි ඇතුලත් කර තිබුණේ පන්දු 27 ක් පමණක් වැය කරමිනි.
එම දැවී යෑමෙන් පසු ලකුණු 25 ක් ඇතුළත විශ්මි (12) සහ නිලක්ෂි ද සිල්වා (04) අඩු ලකුණු වලට දැවී ගියද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රමට එක්වූ කවීෂා දිල්හාරි ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ඔවුන් දෙදෙනා අතර එම කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව පන්දු 40 කදී ලකුණු 38 කි. ඒ වෙනුවෙන් කවිෂා ද්ලාහරි පන්දු 18 කදී ලකුණු 20 ක්ද හර්ෂිතා සමරවික්‍රම පන්දු 42 කදී ලකුණු 29 ක්ද රැස් කළහ. මෙම තරගයේදී දක්වන ලද තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය කවීෂා දිල්හාරි විසින් දිනා ගත්තාය.
දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් පන්දුවාර විස්සයි-20 තරගය හෙට (12 දා) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී ප.ව. 1.00 ට ආරම්භ වේ.
බංග්ලාදේශ කාන්තා පිල පන්දුවාර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 100 යි – (ශමීමා සුල්තානා 18, රුබී හයිදර් 16, ෂෝබනා මොස්ටරි 18, මුර්ෂිදා ඛටුන් 14, කවීෂා දිල්හාරි 13/2, ඉනෝකා රණවිර 09/2, සුගන්ධිකා කුමාරි 14/2, උදේශිකා ප්‍රබෝධනී 21/2)