slc
logo
Home   |    News
ජූනි 2, 2023
ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට

sinhala editor

පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක පරාජයකට මුහුණ දුන්නේය. මේ සමඟම තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස සංචාරකයින් පෙරමුණ ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ක් දැවී ලබා දුන් ලකුණු 269 ක ඉලක්කය හඹා ගිය ඇෆ්ගනිස්තානු කණ්ඩායම පන්දු 19 ක ඉතිරිව තිබියදීම ජයග්‍රහණය සපුරා ගත්තේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි.

වේග පන්දු යවන්නන් පිළිබඳව විශ්වාසය තබමින් ශ්‍රී ලංකාව අද තරගයේදී ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනකු සමඟින් අවතීර්ණ වුවද ඉන් ඇෆ්ගනිස්තානු පිල මට්ටු කළ නොහැකි විය. ඔවුන් හමුවේ අභීතව සිය පිත්ත ක්‍රියාත්මක කළ ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සද්‍රාන් පන්දු 98 කින් ලකුණු 98 ක් ලබා ගත්තේ සාර්ථක හඹා යෑමකට සංචාරකයින්ට හොදම අඩිතාලම එක් කර දෙමිනි.

කසුන් රාජිතගේ පන්දුවකට එල්ල කළ පුල් පහරක් වැරදී යෑමෙන් ඩීප් ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රැකි සදීර සමරවික්‍රම රැක නොගන්නට ශ්‍රී ලංකාවට එරෙහිව සද්‍රාන්ගේ තෙවැනි ශතකය වන්නට තිබිණ. කෙසේ වෙතත් දැවී යෑමට මත්තෙන් රහමට් ෂා සමඟ එක්වූ සද්‍රාන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146 ක සම්බන්ධතාවක් එක් කළහ. තවමත් එක්දින තරග 9 කට ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්තානු ආරම්භක පිතිකරුවා රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 531 කි. එයට ශතක 3 ක් ඇතුළත් වන්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 66.38 ක් ලෙස සටහන් වෙමිනි. හෙතෙම පසුගිය නොවැම්බරයේ පල්ලකැලේ පැවැති තරගාවලියේදී පිළිවෙළින් ලකුණු 106 ක් සහ ලකුණු 162 ක් ලබා ගත් අතර එය මෙතෙක් ඇෆ්ගනිස්තානු පිතිකරුවකු වාර්තා කර ඇති ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවද වේ.

මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ලකුණු 268 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියා ලැබිණ.

පළමු පවර් ප්ලේ අවස්ථාවට හිමි පළමු පන්දුවාර 10 අවසන් වීමට මත්තෙන් දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස්ගේ කඩුලු දවා ගත් ෆසල්හක් ෆරුකි ශ්‍රී ලංකාවේ කොඳු නාරටිය බිඳ දැම්මේය. මොවුන් දෙදෙනා දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 38 ක් ලෙසින් සටහන්ව තිබිණ. එම පීඩනයත් සමඟම පවර් ප්ලේ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 44 කට ඇද බැඳ තබා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන්ට හැකියාව ලැබිණ.

චරිත් සහ ධනංජය දෙදෙනා පිටියේදී මුණ ගැසෙන විට ශ්‍රී ලංකා ඉනිමේ ක්‍රියාත්මක වෙමින් පැවැතියේ 20 වැනි පන්දුවාරයයි. සිය අත්දැකීම් එක්දින තරග පිටියට උකහා ගැනීමේ බලාපොරොත්තු ඇතිව දිමුත් සහ මැතිව්ස් දෙදෙනාව යොදා ගත්තද ඔවුන්ට තේරීම් කමිටුවේ බලාපොරොත්තු අද තරගයේදී සඵල කර දීමට නොහැකි විය. පැතුම් නිස්සංකද 20 වැනි පන්දුවාරයේ දැවී යෑමෙන් පසු එක්වූ ධනංජය සහ චරිත්ගේ ලකුණු 99 ක සම්බන්ධතාව සදහා වැය කර තිබුණේ පන්දු 107 ක් පමනි.

ගාල්ල රිච්මන් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව එකම කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර පිටියට පැමිණ සිටින දකුණත් සහ වමත් පිතිකරුවන් යුගළේ සම්බන්ධතාවය ධනංජය ද සිල්වා එල්ල කරන ලද දුර්වල පහර නොවන්නට තව ඉදිරියට යෑමට අවස්ථාව තිබිණ. පන්දු 59 කින් ධනංජය ලකුණු 51 ක් ලබා ගත්තේ තම 12 වැනි එක්දින අර්ධ ශතකයට හිමිකම් කියමිනි.

සිය සගයා දැවී ගියද සටන අත්නොහළ චරිත්, කෝඩුකාර දුෂාන් හේමන්ත සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ඇදගෙන ගි‌යහ. ඊට පෙර දසුන් ශානක, චරිත් අසලංකට සමග එක්ව පන්දුවට පහර දුන්නද පා දග පන්දුවට මුහුණ දීමේදී දක්වනු ලබන දුර්වලතාව නිසා තම ඉනිම ලකුණු 17 න් අවසන් වූයේ පන්දුව 16 ක් ඊට වැය කරමිනි.

අවසන් පන්දුවාරය තෙක්ම කඩුල්ලේ රැඳී සිටි අසලංක අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට හසුව තම ඉනිම ලකුණු 91 දී නිමාවට පත් කර ගත්තේය. 49 වැනි පන්දුවාරයේදී පන්දු ගණනයේදී වූ අතපසුවීම නිසා ඔහුට 50 වැනි පන්දුවාරයේදී ප්‍රහාරක පිතිකරුගේ අංශයවෙත පැමිණීමට නොහැකි වුවත්, කඩුලු රකින්නා වෙත ඇදී ගිය පළමු පන්දුවේදීම පිතිකරුවෝ පැති හුවමාරු කරගත්හ. ඒ අනුව කඩුලු රකින්නාගේ පැත්ත වෙත දිව එන විට කඩුලු රැකි ගුර්බාස් පන්දුව කෙළින්ම කඩුල්ලට එල්ල නොකරන්නට චරිත්ට ශතකය කරා යෑමට තවත් පන්දු 5 ක් ඉතිරිව තිබිණ. කෙසේ වෙතත් පන්දු 95 කට මුහුණ දී තිබූ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා සිය ඉනිමට හතරේ පහර 12 ක්ද එල්ල කර තිබිණ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගත් 209 වැනි ක්‍රීඩකයා වූ දුෂාන් හේමන්ත ඉනිමේ එකම හයේ පහර එල්ල කරන ලද පිතිකරුවා බවට පත්විය. 208 වැනි එක්දින හිස් වැස්ම පැළැඳි මතීෂ පතිරණ අවසන් පිතිකරුවා ලෙසින් පිටියට පිවිස එක් ලකුණකදී දුවද්දී දැවී යන විට වනිඳු හසරංගගේ ආදේශකයා ලෙසින් එක්දින වරම් දිනා ගත් දුෂාන් පන්දු 20 කදී ලකුණු 22 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී ලකුණු 268 යි – (චරිත් අසලංක 91, ධනංජය ද සිල්වා 51, දුෂාන් හේමන්ත 22, දසුන් ශානක 17, පැතුම් නිස්සංක 38, කුසල් මෙන්ඩිස් 11, ඇන්ජලෝ මැතිව්ස් 12, දිමුත් කරුණාරත්න 04, ළහිරු කුමාර 04*, කසුන් රජිත 00, මතීෂ පතිරණ 01, ෆරීඩ් අහමඩ් 42/2, ෆසල්හක් ෆරුකි 58/2)

ඇෆ්ගනිස්තානය පන්දුවාර 46.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 269 යි – (ඊබ්‍රහිම් සද්‍රාන් 98, රාමට් ෂා 55, හෂ්මතුල්ලා ශහිදි 38, මොහොමඩ් නබි 27*, නජිබුල්ලා සදාන් 07*, රාමනුල්ලා ගුර්බාස් 14, කසුන් රජිත 49/2, ළහිරු කුමාර 21/1, මතිෂ පතිරණ 66/1)

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee