slc
logo
Home   |    News
ජූනි 10, 2023
මට මගේ කණ්ඩායම ගැන විශ්වාසයි – දසුන් ශානක

sinhala editor

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා සුදුසුකම් ලබා ගැනීමේ අටියෙන් දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (10 දා) අළුයම සිම්බාබ්වේ දේශය බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලට සහභාගිවීමෙන් අනතුරුව ඔවුහු මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා පිටත්ව ගියහ.

තරගාවලියේ ආකෘතිය අනුව සමස්ථ තරගාවලිය තරග 34 කින් සමන්විත වන අතර අවසන් මහ තරගය ජූලි මස 09 වැනිදා හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන මූලික වටය අවසානයේ ඒ ඒ කාණ්ඩවල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන කණ්ඩායම් 3 අනතුරුව පැවැත්වෙන සුපිරි කණ්ඩායම් 6 දෙනා අතර තරග වටයට සුදුසුකම් ලබනු ඇත. සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයේදී සැම කණ්ඩායමක්ම මූලික වටයේ ප්‍රතිවාදී කාණ්ඩයේ කණ්ඩායම් සමඟ තරග වදිනු ඇත.

එය අවසානයේ වැඩිම තරග සංඛ්‍යාවක් ජයග්‍රහණය කරමින් පළමු ස්ථාන දිනා ගනු ලබන කණ්ඩායම් දෙක සුදුසුකම් ලැබීමේ තරග වටයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන අතර ශූරයින් කවුරු වුවත්, එම කණ්ඩායම් දෙකම ලබන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීම සඳහා වරම් ලබනු ඇත.

ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කර සිටියේ මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය යනු තම කණ්ඩායමට පහසුවට ගත හැකි තරගාවලියක් නොවන බවයි.

“ක්‍රීඩා කරන හැම තරයකදීම පීඩනයක් තියෙනවා. ඒ වගේ තමයි මේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අපිට ලේසියට ගන්න පුලුවන් තරගාවලියක් නොවෙයි. නමුත් අපි හොඳින් මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. මට විශ්වාසයි මගේ කණ්ඩායම ගැන” යැයි දසුන් සදහන් කර සිටියේය.

දසුන් තම කණ්ඩායම පිළිබඳව ස්ථීර විශ්වාසයකින් පසුවන්නේ පසුගිය මාස 10 කට ආසන්න කාලයක් තමන්ට අහිමි වුණු හොඳම පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර යළි කණ්ඩායමට පැමිණ සිටීමය. ඊටත් අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයා ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන මහතාද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ සිම්බාබ්වේදී කටයුතු කිරීමට පැමිණීම දසුන් ඇතුළු කණ්ඩායමේ මානසික ඒකාග්‍රතාවය ඉහළ යෑමට දායක වී තිබේ.

“පසුගිය කාලේ අපි ක්‍රීඩා කරපු ආකාරය අරන් බැලුවහම දුෂ්මන්ත චමීර ක්‍රීඩා කළේ. නෑ. ඉතිං ඒක ලොකු අඩුපාඩුවක්. මොකද ස්කිල් එකයි ටැලන්ට් එකයි කියන්නේ දෙකක්. එක්දින තරග ක්‍රීඩා කරද්දී ටැලන්ට් එක තිබ්බට මදි ස්කිල් එකත් තියෙන්න. ඉතිං අපි දැක්කා පසුගිය තරගාවලියේදී ඔහුගේ පැමිණීමත් සමග කණ්ඩායමේ සංයුතිය වෙනස් වුණු විදිය”.

“ඔහු උඩින් විකට් අරන් දුන්නම ළහිරු කුමාරට කොච්චර ලේසිද, වනිඳු හසරංගට මහීෂ් තීක්ෂණට කොච්චර සහයෝගයක් හම්බ වුණාද කියන එක අපි දැක්කා. මේක තමයි සංයුතිය. මං හිතනවා අභියෝගයක් එල්ල කරන්න පුලුවන් කණ්ඩායමක් අපිත් එක්ක ඉන්නවා කියලා. ඒ වගේම තරගාවලිය ජයග්‍රහණය කරන්න අනිවාර්යයෙන් පුලුවන් කියලා මම විශ්වාස කරනවා” යැයි දසුන් සඳහන් කර සිටියි.

“මහේල අයියා කණ්ඩායම එක්ක සිටින එක ඇත්තටම හොදයි. මොකද එයා කළිනුත් අපිත් එක්ක වැඩ කරලා තියෙනවා. මං හිතන්නේ ලොකු බූස්ට් එකක් ඒ වගේ කෙනෙක් විශේෂයෙන් කොලිෆයර් එකටා එනවා කියන්නේ. ඉතිං අපි ඔහුගේ අත්දැකිම් ගැන කතා කරන්න උවමනා නෑ, මොකද එච්චරට අති විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඔහු සතුව තියෙනවා. ඉති මම හිතනවා එයා කොලිෆයි වලට එන්න තීරණය කරපු එක හොද තීරණයක්” යනුවෙන් දසුන් පවසයි.

තරගාවලිය සඳහා පිටත්ව ගිය කණ්ඩායමට තවත් අතිරේක පිතිකරුවකු අවශ්‍ය යැයි ක්‍රිකට් ක්ෂේත්‍රයේ මතයක් පවතින නමුත්, දසුන් සඳහන් කර සිටින්නේ පිතිකරුවකුගේ අවශ්‍යතාවයක් මතු වුවහොත් එය කණ්ඩායම තුළින්ම පියවා ගැනීමේ හැකියාවෙන් යුත් සංයුතියක් තමන් සතුව පවතින බවයි.

“මම දිගටම ක්‍රීඩා කළේ නොම්බර 6 ස්ථානයෙන්. නමුත් පසුගිය තරගාවලියේදී මම නොම්බර 7 ක්‍රීඩා කළා. මම හිතන්නේ පිතිකරුවකු අඩු වුනොතින් කළින් ක්‍රීඩා කළ ආකාරයට මම නොම්බර 6 ඇවිල්ලා චාමික කරුණාරත්න ඉන්නවා එළිය. ඒ වගේම වනිඳු ක්‍රීඩා කළේ නොම්බර 8. අපිට ඒක එජස් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ කියන්න ඔ්න ධනංජය ද සිල්වා නොම්බර 6 ඇවිල්ලා ක්‍රීඩා කළා. ඔහු ක්‍රීඩා කළේ නොම්බර 4. ඉතිං අපිට කණ්ඩායම තුළ අනුගත වෙන්න පුලුවන් හැකියාවක් තියෙනවා” යනුවෙන් දසුන් පිළිතුරු දුන්නේය.

සුදුසුකම් ලැබීමේ තරගාවලියකදී කන්ඩායමේ නායකත්වය හෙබවීම පීඩනයක්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විසින් දසුන්ගෙන් විමසා සිටි අතර, ඊට පිළතුරු ලෙස “මටනම් පීඩනයක් නොවෙයි. මොකද මම තුන්වැනි පාරට කොලිෆයි ගහන්නේ. අපි මීට කළින් තිබුණු ටී-20 දෙකක කොලිෆයි ගහපු කණ්ඩඩායමක්” යැයි සදහන් කළ දසුන්, පසුගිය වසර කීපයේදී හොදින් ක්‍රීඩා නොකරපු බැවින් මේ තරගාවලියේදී තම කණ්ඩායමට සුදසූකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමට සිදුව තිබෙන නමුත්, එය තමන්ට පීඩනයක් නොවන බවද සඳහන් කර සිටියේය.

“පීඩනයක් නම් නෑ. නමුත් මම හිතනවා ඒක අභියෝගයක් කියලා. අභියෝග වවලට අපි හරි කැමැතියි. අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා කියලා විශ්වාසයි” යැයි දසුන් ස්ථීර හඬින් සඳහන් කර සිටියේය.

මෙම තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇඟ උණුසුම් කර ගැනීම සදහා තරග 2 කට සහභාගිවීමේ අවස්ථාව උදාවන අතර එහි පළමු තරගය ජුනි 13 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත්, ජුනි 15 වැනිදා ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිවත් පැවැත්වෙනු ඇත.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ නේපාලය අතර තරගයෙන් හරාරේ ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී ජුනි මස 18 වැනිදා ආරම්භ වන අතර එම තරගයෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අසල්වැසි ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම ටකාශිංගා ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගයට ජුනි මස 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව කුවීන්ස් ක්‍රීඩා සමාජය ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත. එම තරගයෙන් පසු ශ්‍රී ලංකාව ජුනි 23 වැනිදා ඔ්මානයට එරෙහිවත්, ජුනි 25 වැනිදා අයර්ලන්තයට එරෙහිවත් සහ ජුනි 27 වැනිදා ස්කොට්ලන්තයට එරෙහිවත් තරග වදිනු ඇත.

මූලික වටය යටතේ පැවැත්වෙන තරග වලදී ප්‍රධාන විනිසුරුගේ තීරණය අභියෝගයට ලක් කිරීම හෙවත් විනිසුරු තීරණ විමසීමේ (විතීවි) අවස්ථාව කණ්ඩායම් වලට අහිමි වන නමුත්, සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයේ සිට විනිසුරු තීරණ විමසීමේ අවස්ථාව කණ්ඩායම්වලට හිමිවනු ඇත.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee