නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන බැරෑරැම්ම ආර්ථික අර්බුදයට රජය විසඳුම් සොයද්දී ශ්‍රී ලංකා ආර්ථීකයට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් එක්කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මහා සැණකෙළිය වූ ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි 20 තරගාවලිය හෙට (30) ආරම්භ කිරීමට සියලු කටයුතු සැලසුම් කොට ඇත. ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට පත් කිරීම උදෙසා විදේශ විනිමය අත්‍යාවශ්‍ය සාධකයක්ව ඇති මොහොතකදී මෙම එල්පීඑල් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබීම සංවිධායකයින් වන ශ්‍රී ලංකා ක්‍රිකට්හි නිහතමානී ආඩම්බරයට හේතුවී තිබේ.
බොහෝ අවස්ථාවලදී ක්‍රීඩා ආර්ථිකයක් පිළිබඳ කතා කළද එය යථාර්ථයක් වී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණි. ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයන මුදලින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ජාතික ක්‍රීඩා අරමුදල ශක්තිමත් කිරීම මෙන්ම, මලල ක්‍රීඩා, නෙට්බෝල්, පැරා ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිලියන ගණනින් උපකාර කිරීමද සිදු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයා ගන්නා මුදල් අර පිරිමැස්මෙන් යුතුව පරිහරණය කිරීම හේතුවෙනි. මේ උපයා ගන්නා මුදල තර කිරීම වෙනුවෙන් එක් කොටසක් බවට එල්පීඑල් තරගාවලිය පත්ව තිබීම විශේෂ්වයකි.
එල්පීඑල් තරගාවලිය නරඹන සෑම ප්‍රේක්ෂකයෙකුම ටිකට් පතක් මිළදී ගෙන තරගය නැරඹීමෙන් ලැබෙන ආශ්වාදය සේම නොදැනුවත්වම දැවැන්ත සමාජ සත්කාරකයක කොටස්කරුවෙකු වීමටද මෙවර තරගාවලියේදී අවස්ථාව උදාවීම ඇති තවත් විශේෂත්වයකි. කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් මෙවර එල්පීඑල් තරගාවලියෙන් රුපියල් මිලියන 5ක් පමණ ලබාදීමට අපේක්ෂා කරන බව ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි අධ්යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා බලාපොරොත්තු පළ කළේය.
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු එල්ල කරන සෑම හයේ පහරකින්ම රුපියල් 6000ක්, හතරේ පහරකින් රුපියල් 4000ක් හා නිලකුණු පන්දුවකට (Dot ball) රුපියල් 2000ක් බැගින් කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් පිහිටුවා ඇති ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් පිරිනැමීට එල්පීඑල් සංවිධායකයෝ තීරණය කරති. එයට අමතරව තරගාවලියේ අලෙවි වන සෑම ටිකට් පතකින්ම යම් ප්‍රතිශතයක් එම ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් පිරිනැමීට ද සංවිධායකයෝ අපේක්ෂාවෙන් සිටිති. එබැවින් ක්‍රීඩා ලෝලීන්ට ආශ්වාදය සේම ජාතික යුතුකමකට කැපවීම ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය තුලින් ඉටුවන කලෝචිත මෙහෙවරකි.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සංවිධානය තුලින් විදෙස් ක්‍රීඩකයන් සමග අපගේ නැගී එන ක්‍රීඩකයන් උරෙන් උර ගැටී ලැබෙන අත්දැකීම් සම්භාරය අති විශාල එකකි. එක් කණ්ඩායමකට උපරිම විදෙස් ක්‍රීඩකයන් 6ක් ඇතුලත් කර ගැනීමේ හැකියාව ඇති නිසා ශ්‍රී ලාංකේය නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය කදිම අත්දැකීමක් වනු ඇත. ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට තව දුරටත් ඔපවත්වීමේ අවස්ථාවක් මෙම තියුණු සටන් තුලින් ඇතිවනු නොඅනුමාණය.
තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස්, නිරෝෂන් දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් කලම්බු ස්ටාර්ස්, කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල අවුරා, දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ග්ලැඩියේටර්ස් සහ වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් බී – ලව් කැන්ඩි කණ්ඩායම් තරගාවලියට එක් වී සිටිති. එම කණ්ඩායම් 5 මිළදී ගැනීමට දෙස් – විදෙස් හි ව්‍යාපාරිකයෝ ඉදිරිපත්වීම ද විශේෂත්වයකි. එමගින් රටේ ආර්ථිකයට සෘජු ආයෝජනයක් සිදුවේ. එමෙන්ම රජය අපේක්ෂා කරන ක්‍රීඩා ආර්ථිකය ශකිත්මත් කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය හරහා සිදු වේ.
අවසන්වරට පැවැති එල්පීඑල් තරගාවලිය ලොව පුරා මිලියන ගණනක නැරැඹූ බව සංඛ්‍යා දත්ත තහවුරු කළේය. එබැවින් තරගාවලිය ලොව පුරා විකාශනය කිරීමට නිල විකාශන අයිතිකරුවන් ටෙන්ඩර් මගින් තොරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදු විය. එම එල්පීඑල් නිල විකාශන අයිතිකරුගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන ගණනක ආදායමක් ලැබේ. විදේශීය ක්‍රීඩකයන්ගේ දස්කම් දැක බලා ගැනීමට ඒ ඒ රටවල ක්‍රීඩා ලෝලීන් උනන්දුවන බැවින් විකාශන කටයුතු පුළුල් ජාලයක් තුල විහිදේ. තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකාවේ ශ්‍රී විභූතිය ලොව පුරා රූපවාහිනී නාලිකා මගින් විකාශය කිරීමෙන් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට හැකිවීම වක්‍රව රටට ලැබෙන තවත් අමතර වාසියකි.
ක්‍රීඩකයන්ගේ නාවාතැන් පහසුකම්, වෛද්‍ය පහසුකම්, කැම බීම මෙන් ම අනිකුත් සැම දේම තරගාවලිය තුළ දී සපයා ගන්නේ මෙරට තුළිනි. එබැවින් ගමේ කුඩා ව්‍යාපාරයේ සිට ශ්‍රී ලංකාවේ තරු පහේ හෝටල් කර්මාන්තයට ද ලැබෙන්නේ වෙනදා නොවූ ප්‍රාණවත් බවකි. සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් වැසී ගොස් තිබූ හොටල්වල හිමිකරුවන් එල්පීඑල් තරගාවලිය නිසාම අලුත් සූදානමකින් පසුවෙති. මෙම තරගාවලිය නැරැඹීමට විදෙස් ප්‍රේක්ෂක පිරිසක් ද හුරුවී තිබේ. ඔවුන්ද එල්පීඑල් තරගාවලිය ඇතුළතදී ඩොලර්වලින් මුදල් වියදම් කරයි. එමෙන්ම තරගාවලියට සමගාමීව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නියෝජිතයන්ගේ අවධානය හා අන්තර්ජාතික ක්‍රිකට් සමුලුව පිළිගත් නිලධාරීන්ගේ පැමිණීම ද සිදුවේ..
මහනුවර පල්ලේකැලේ හා කොළඹ ආර්. ප්‍රේමදාස යන ක්‍රීඩාංගණවලදී මෙම තරගාවලිය සති තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන අතර, ලොව ප්රබලතම විදෙස් ක්‍රීඩකයන් 30ක් සමග දේශීය ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය සමඟ රුපියල් කෝටි දෙකක මුදල් ත්‍යාගයක් හිමිවන අතර, අනුශූරයන්ට රුපියල් කෝටියක මුදලක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි20 තරගාවලිය කොරෝනා අර්බුද මැද පසුගිය ර වලදීරේ සාර්ථකව පැවැති අතර, එයින් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ලැබුණු ආකාරයෙන්ම මෙවරත් අභියෝග මැද වුවද තරගාවලිය සාර්ථක කිරීමේ හැකියාව ලැබී ඇතැයි තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වල මහතා සඳහන් කළේය.
සිවුවැනි වරට පැවැත්වෙන එල්පීඑල් තරගාවලිය ජාතික ආර්ථිකයට ආභරණයක් වනවා සේම ක්‍රිකට් ක්‍රීඩාවේ බලාපොරොත්තු සඵලවීමකි.