slc
logo
Home   |    News
ජූලි 12, 2023
චමරි – හර්ෂිතා – ඉනෝකා ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

sinhala editor

තරග 2 කට පසු යළිත් ලකුණු අතරට පිවිසි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ පන්දු 47 කදී නොදැවී රැස් කරන ලද ලකුණු 80 ක වේගවත් ඉනිම හේතුවෙන් නවසීලන්ත කාන්තා පිලට එරෙහිව පැවැති තෙවැනි විස්සයි-20 තරගයේදී කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට අද (12 වැනිදා) අවස්ථාව උදාවිණ. මෙරට කාන්තා විස්සයි-20 තරග ඉතිහාසයේ පමණක් නොව කාන්තා එක්දින තරග ඉතීහාසයේදීද කඩුල් 10 ක් ඉතිරිව තිබියදී තරගයක් ජය ගන්නා ලද පළමු අවස්ථාව ලෙසින්ද මෙම තරගය ඉතිහාස ගත විය.

කොළඹ පී. සරා ඔ්වල් පිටියේ පැවැති මෙම තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වුවත් තරගාවලිය ජයග්‍රහණය කිරීමට සංචාරක ක්‍රීඩිකාවෝ සමත්වූහ. කෙසේ වෙතත් තරගාවලිය 2-1 ක් ලෙස ගෞරවාන්විතව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජය බෙහෙවින් ඉවහල් විය.

ප්‍රබල පන්දු යවන්නියන් සතු නවසීලන්ත කන්ඩායමට එරෙහිව ලකුණු 141 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 33 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගියේ කඩුලු 10 ම අත ඉතිරිව තබාගෙනය. හර්ෂිතා සමරවික්‍රම එල්ල කරන ලද පුල් පහරින් ලද ලකුණු 4 ත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේය.

එම පුල් පහර එල්ල කිරීමට පෙර හර්ෂිතාගේ ලකුණු සංඛ්‍යාව ලකුණු 45 ක් ලෙසින් සටහන් වූ අතර අර්ධ ශතකය ලබා ගැනීමට නම් ඇයට හයේ පහරක් අවශ්‍ය විය. කෙසේ තරග නිමා වන විට පන්දු 40 කට මුහුණ දී සිටි හර්ෂිතා  හතරේ පහර 7 ක් ද සමඟන් ලකුණු 49 ක් ලබා සිටියාය.

අනගි ඉනිමක් ක්‍රීඩා කළ චමරි අතපත්තු පන්දු 47 කදී ලකුණු 80 ක් ලබා ගත්තේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 13 ක් ද තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි. මුහුණ දුන්  25 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත් චමරි ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම අර්ධ ශතකය හිමි පිතිකාරිණිය ලෙසින්ද අද ඉතිහාස ගත වූවාය. ආරම්භයේ සිටම කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර එල්ල කළ චමරිගේ මෙම සුවිශේෂී ඉනිමත් සමඟ නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ලද පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරග ජය ලෙසින්ද සටහන් විය.

පළමු වතාවට මෙම තරගාවලියේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කන්ඩායම වෙනුවෙන් ඉසබෙලා ගාස් සහ සුසී බේට්ස් පන්දු 31 කදී ලකුණු 43 ක සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. 11 වැනි පන්දුවාරය අවසන් වන විට නවසීලන්ත කන්ඩායම කඩුලු 2 කට ලකුණු 73 ක් තරම් ප්‍රබල ස්ථානයක පසු වුවත්, අනතුරුව තරගයට අවතීර්ණ වුණු ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ තරගයේ පාලනය නවසීලන්ත කණ්ඩායමෙන් උදුරා ගත්හ. 15 වැනි පන්දුවාරය අවසන් වන විට කඩුලු 4 කට ලකුණු 104 ක් ලෙසින් සටහන් වුණු ලලකුණු පුවරුවේදී ඉතිරි පන්දු 30 යවන විටත් ඔවුහු එකතු කර ගැනීමට සමත්වූයේ ලකුණු 34 ක්  පමණි. ඒ අතරතුරදී නවසීලන්ත කණ්ඩායමේ කඩුලු 5 ක් දවා ගැනීමට ඉනෝකා රණවීර ප්‍රමුඛ පන්දු යවන්නියෝ සමත්වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් කැපී පෙනුණු ඉනෝකා රණවීර නියමිත පන්දුවාර 4 දී ලකුණු 15 කට කඩුලු 3 ක් දවා ගනු ලැබීය. ඊට අමතරව සුගන්දිකා කුමාරි ලකුණ 23 කට කඩුලු 2 ක් දවා ගනිද්දී කාවයා කාවින්දි, ඉනෝෂි ප්‍රියදර්ශනී, කවීෂා දිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්හ.

මෙම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් චමරි අතපත්තු සම්මාන ලබා ගනිද්දී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන නවසීලන්ත පිලේ ආරම්භක පිතිකාරිණී සුසී බේට්ස් විසින් දිනා ගත්තාය. තරගාවලියේ ජය සංකේත ප්‍රදානය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික කිත්සිරි ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 140 යි – (සුසී බේට්ස් 37, ඉසබෙලා ගාස් 13, අමේලියා කර් 14, සොපී ඩිවයින් 46, මැඩී ග්‍රීන් 10, ජෝර්ජියා ප්ලිමර් 03, බෘක් හෝලිඩේ 02, හනා රෝව් 0, මොලී පෙන්ෆෝල්ඩ් 02, ඊඩන් කාසන් 00*. ‌ෆ්‍රැන් ජෝන්ස් 02*, ඉනෝකා රණවීර 15/3, සුගන්දිකා කුමාරි 23/2, කාව්‍යා කාවින්දි 27/1, ඉනෝෂි ප්‍රියදර්ශනී 25/1, කවීෂා දිල්හාරි 32/1)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 14.3 කදී කිසිවකු නොදැවී ලකුණු 143 යි – (හර්ෂිතා සමරවික්‍රම 49*, චමරි අතපත්තු 80*)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය සුසී බේට්ස් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික කිත්සිරි ද සිල්වා මහතාගෙන් ලබා ගත් අවස්ථාව.

තෙවැනි තරග‌යේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනූ චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික කිත්සිරි ද සිල්වා මහතාගෙන් ලබා ගත් අවස්ථාව.

විස්සයි-20 ශූරතාව දිනූ නවසීලන්ත කණ්ඩායමේ නායිකා සොෆී ඩිවයින් විසින් ශූරතා කුසලාන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජික කිත්සිරි ද සිල්වා මහතා අතින් ලබා ගත් අවස්ථාව.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee