slc
logo
Home   |    News
ජූලි 18, 2023
සුපිරි ජයකින් ශ්‍රී ලංකා ‘ඒ’ අවසන් පූර්ව වටයට

sinhala editor

ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ ඕමාන කණ්ඩායමට එරෙහිව ලකුණු 217 ක දැවැන්ත තරග ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අවසන් පූර්ව තරග වටයට අද (18 දා) සුදුසුකම් ලබා ගත්තේය.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ  පැවැති මෙම තරගයේ ලද මෙම විශිෂ්ඨ ජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණ සිටියි. ඒ අනුව හෙට රාත්‍රියේ පැවැත්විමට නියමිත ඉන්දීය ‘එ්’ සහ පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම් අතර තරගයේ පරාජිතයින් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයේදී තරග වැදීමට නියමිතව සිටියි.

අද දිනයේදී දිවා තරගයක් ලෙසින් කොළඹ පී, සරා පිටියේදී පැවැති තවත් තීරණාත්මක තරගයක් වුණු ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයේ ජය වාර්තා කළ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟින් අවසන් පූර්ව තරග වටයට පිවිසි ‌අනෙක් කණ්ඩායම බවට පත්වූවේය.

කාසියේ වාසිය ප්‍රතීවාදී නායකයා සතු වීම නිසා මන්දගාමී වූ තණතීරුවේ පළමුව පන්දුවට පහර දීම ශ්‍රී ලංකා පිලට භාර කෙරුණි. මන්දගාමී බව දැනගත් නිසාම ආරම්භයේ සිටම දඟ පන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තැබූ ඕමාන නායකයා වේග පන්දු යවන කෙලීමුල්ලා හැරුනු කොට සෙසු පන්දුවාර 44 ම යැවීම සඳහා දඟ පන්දු යවන්නන් භාවිතා කළේය. කෙසේ වෙතත් අසීරුතාව මැඩ ගමිනින් ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 8 කට ලකුණු 260 ක ඉලක්කයක් ඕමාන  පිල හමුවේ තැබූහ.

එහෙත් එම ඉලක්කය හඹා යෑමේදී පන්දුවාර 17.1 කදී ඕමාන පිල ලකුණු 42 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. මෙහි‌දී ලකුණු 03 කට කඩුලු 3 ක් දවා ලූ චමික කරුණාරත්න වැඩිම කඩුලු ලාභියා බවට පත්වද්දී ප්‍රමෝද් මදුෂාන්, දුනිත් වෙල්ලාලගේ සහ ළහිරු සමරකෝන් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පිල වෙනුවෙන් පසිඳු සූරියබණ්ඩාර පන්දු 75 කදී ලකුණු 60 ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සහන් ආරච්චිගේ පන්දු 63 කදී ලකුණු 48 ක් ලබා අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේය. මොවුන් දෙදෙනා පිටියට එකතු වන විට මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 84 කට කඩුලු 3 ක් ලෙසින් සටහන් විය. සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 132 කදී ලකුණු 110 ක් ලෙසින් සටහන් විය.  පන්දුවට පහර දීමට අසීරු තණතීරුවේදී ලකුණු අතරට පිවිසි පසිඳු සූරියබණ්ඩාර තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ හැරුණු විට ආරම්භක පිතිකරුවා වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 25 ක්, ලසිත් කෘස්පුල්ලේ ලකුණු 43 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සාර්ථක ආරම්භයක් එක් කළහ. පසු පෙළින් පැමිණි චාමික කරුනාරත්න පන්දු 14 කදී ලකුණු 20 ක්ද නායක දුනිත් වේලලාලගේ ලකුණු 21 ක් ද රැස් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව පෝෂණය කළහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 259 යි – (පසිඳු සූරියබණ්ඩාර 60, සහන් ආරච්චිගේ 48, අවිශ්ක ප්‍රනාන්දු 25, ලසිත් කෲස්පුල්ලේ 42, මිනෝද් භානුක 09, ළහිරු සමරකෝන් 01, අෂේන් බණ්ඩාර 11, දුනිත් වෙල්ලාලගේ 21, චාමික කරුණාරත්න 20, දුෂාන් හේමන්ත 05*, අකීබ් ඉල්යාස් 59/4, ජේ ඔඩේරා 44/2, අයාන් ඛාන් 39/2)

ඕමාන ‘ඒ’ පන්දුවාර 17.1 කදී සියලු දෙනා දැවී ලකුණු 42 යි – (කාශ්‍යප් ප්‍රජාපතී 18, සුරාජ් කුමාර් 10, චාමික කරුණාරත්න 03/3, දුනිත් වෙල්ලාලගේ 10/2, ප්‍රමෝද් මදුශාන් 06/2, ළහිරු සමරකෝන් 21/2)

ශ්‍රී ලංකා ක්‍රිකට්හි විධායක කමිටු සාමාජික, ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපති නලීන් අපෝන්සු මහතා අතින් පසිඳු සූරියබණ්ඩාර තරගයේ වීරයා සම්මානය ලබා ගනිමින්.

 

Active filters

Recent Posts

  • ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
    තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කර නොමැති වුවද එළැඹෙන ජුනි මසදී ආරම්භවීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට වමතින් දඟ […]
  • අවු. 23 න් පහළ බාළිකා විස්සයි-20 සුපර් ලීග් තරගාවලිය 15 දා ඇරඹෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන්ගේ විස්සයි-20 ජාතික සුපර් ලීග් තරගාවලිය මැයි මස 15 වැනිදා ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ සියලුම […]
  • ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලට ‘Amul’ සවිය වෙයි
    ලබන ජුනි මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාත්‍යන්තර නාමයක් සහිත ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදනායතනයක් […]
  • දසුන් සහ බිනුරගේ දක්ෂතා නිසා රෙඩ්ස් පිලට ජය
    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට පෙරහුරු තරගාවලියක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දිනවල මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සංවිධානය කරන ක්‍රිකට් තරගාවලියේ මැයි 08 වැනිදා පැවැති රෙඩ් සහ […]
  • පස්වන එක්දින තරගයේ ජයත් ඇෆ්ගනිස්තානයට
      ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පස්වන සහ අවසාන එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් අත්කර ගැනීමට අද (07) ඇෆ්ගනිස්තාන […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee