slc
logo
Home   |    News
ජූලි 24, 2023
පිට පිටම දෙවැනි වතාවටත් නැගීඑන ආසියානු කුසලාන පාකිස්තානයට

sinhala editor

ආසියානු ක්‍රිකට් සමුළුව ශ්‍රී ලංකාවේදී සංවිධානය කළ ආසියානු කුසලාන එමර්ජින් (නැඟී එන) කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ලකුණු 128 කින් ඉන්දියාව පරාජය කළ පාකිස්තාන ‘ඒ ‘ කණ්ඩායම පිට පිටම දෙවැනි වතාවටත් නැගීඑන ආසියානු ශූරයින් බවට කිරුළු පැළඳිය.

මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (23) පැවැති අවසාන මහා තරගයේදී පාකිස්තානය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8කට රැස් කළ ලකුණු 352ට පිළිතුරු ලෙසින් ඉන්දියාව පන්දුවාර 40කදී සියලු පිතිකරුවන් දැවී ගියේ ලකුණු 224කට ය.

අවසාන තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පාකිස්තානයේ ටායාබ් ටාහිර් ද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ නිශාන්ට් සින්ධු ද නම් කැරිණි.

ඉන්දියාව ලකුණු 353ක ජයග්‍රහණ ඉලක්කයක් කරා යෑමට පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඔවුනට ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට අවශ්‍ය වූ සාමාන්‍ය ලකුණු 7.05ක සංඛ්‍යාව තබා ගනිමින් ආරම්භක පිතිකරුවන් දෙදෙනා සායි සුදර්ශන් (29) සහ අභිෂේක් ෂර්මා (61) පන්දුවාර අටක් වන විට ලකුණු 64ක් රැස් කළේ පන්දුවාරයකට ලකුණු අටක් වන පරිදිය.

ඉන්දියාව ලකුණු 64ක් ලබා සිටියදී සාල් සුදර්ශන්ගේ දැවී යාමෙන් පසු ලකුණු රැස් කිරීමේ වේගය මඳකින් අඩාල විණි. පසුව ඔවුන්ගේ හොඳම සබඳතාවය වූයේ අභිෂේක් ෂර්මා සහ නායක යාෂ් ඩුල් තෙවන කඩුල්ලට පන්දු 45කදී එක් කළ ලකුණු 52ය. ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණ අපේක්ෂාව සපුරා ගැනීමට අප්‍රතිහත උත්සාහයක යෙදුණු ආරම්භක පිතිකරු අභිෂේක් ෂර්මා පන්දු 51කට මුහුණදෙමින් හතරේ පහර පහක් සහ හයේ පහරක් සමඟ වේගවත් ලකුණු 61ක් රැස් කළත් ඔහුගත් උත්සාහය ද ව්‍යාර්ථ වූයේ මුළු ලකුණු 132දී ඔහු තෙවන කඩුල්ල ලෙසට දැවී යාමෙනි.

ඉන්දීය නායක යාෂ් ඩුල් කණ්ඩායමේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 41කදී ලකුණු 39ක් ලබා සිටියදී මුළු ලකුණු 159 දී පස්වන කඩුල්ල ලෙස දැවී යාමත් සමඟ ඔවුනගේ ජයග්‍රහණ අපේක්ෂා බිඳ වැටී කණ්ඩායමම ලකුණු 224ක් වන විට දැවී ගියේ තරගය නිමවීමට තවත් පන්දුවාර දහයක්ම ඉතිරිව තිබියදීය. කණ්ඩායමේ වෙනත් පිතිකරුවන් කිසිවකුට ලකුණු 15 ඉක්මවීමට අවස්ථාව නොලැබිණි.

ඉන්දියාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම පාකිස්තානයට පැවරීමෙන් පසුව පාකිස්තාන පිතිකරුවන් ප්‍රථම පන්දුවාරයේ සිටම පන්දුවට පහර දුන්නේ දැඩි ප්‍රහාරාත්මක විලාශයක් අනුගමනය කරමිනි. ඔවුනගේ පන්දුවට පහරදීමේ වේගය පැවැතුණේ පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු 7.04ක් වැනි ඉහළ මට්ටමකය.

ලකුණු 352ක් වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඔවුනට අවස්ථාව උදා වූයේ ප්‍රථම කඩුල්ලට සාහිබ් සාඩා ෆර්හාන් (65) සහ සායිම් අයුබ් (59) ආරම්භක පිතිකරුවන් දෙදෙනා ප්‍රථම කඩුල්ලට පන්දු 104කදී රැස් කළ ලකුණු 121ක සබඳතාවයත් හයවන කඩුල්ලට අංක හතර පිතිකරු ටායාබ් ටාහිර් (108) සහ මුබාසිර් ඛාන් (35) තබාගත් පන්දු 97කදී ලකුණු 126ක සබඳතාවයයි.

ප්‍රථම විකට්ටුව වෙනුවෙන් සාහිබ් ෆර්හාන් සහ සායිම් අයුබ් ප්‍රථම කඩුල්ලට ලකුණු 121ක් රැස් කළ අවස්ථාවේ (පන්දුවාර 17.2) සයිම් අයුබ් දැවී ගියේ සතාර්ගේ පන්දුවකට ජුරෙල් උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලකුණු 59කටය. සයිම් පන්දු 51කට මුහුණදී හතරේ හතක් සහ හයේ පහර දෙකක් ද එල්ල කළේය.

දෙවන කඩුල්ලට සාහිබ් සාඩා ෆර්හාන්, ඔමායිර් යුසුෆ් මුළු ලකුණු 146ක් රැස් කළ අවස්ථාවේ ෆර්හාන් දැවී ගියේ දුවද්දී දැවීමට හසුව ලකුණු 65කටය. ෆර්හාන් පන්දු 62කට මුහුණදී හතරේ හතරක් සහ හයේ හතරක් ද එල්ල කළේය.

අංක තුන පිතිකරු ඔමයිර් යුසුෆ් (35) අංක පහ පිතිකරු කසිම් අක්රම් (00) සහ අංක හය පිතිකරු මොහමඩ් හැරිස් (02) පන්දු 45ක් තුළ අඩු සංඛ්‍යාවන්ට දැවී ගොස් පන්දුවාර 28.4කදී ඔවුනගේ ලකුණු තත්ත්වය කඩුලු පහකට ලකුණු 187ක් ලෙස සඳහන් විය.

පාකිස්තානයේ හොඳම සබඳතාවය වාර්තා වූයේ ටායාබ් ටහිර් සහ මුබාසිර් ඛාන් හයවන කඩුල්ලට පන්දු 97කදී එල්ල කළ ලකුණු 126ය. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පුරා දර්ශනීය වේග ප්‍රහාරාත්මක පහරවල් එල්ල කරමින් ටයාබ් ටාහිර් ලකුණු 108ක් (පන්දු 71 හතරේ 12යි හයේ හතරයි) රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විණි.

ටාහිර් ශතකයක් ලබා දැවී ගියේ කණ්ඩායමේ හයවන පිතිකරු ලෙස මුළු ලකුණු 313දී ය. අවසාන පන්දුවාර පහේදී කණ්ඩායමේ ලකුණු රැස් කිරීම මඳක් අඩාල වූ අතර කඩුලු තුනක් දැවී එම ඕවර පහේදී ඔවුන් රැස් කළේ ලකුණු 32කි.

මුබායිර් ඛාන් ලකුණු 35ක් ද (පන්දු 47යි හතරේ දෙකයි හයේ දෙකයි) මොහමඩ් වසිම් නොදැවී ලකුණු 17ක් ද (පන්දු 10යි හතරේ පහරයි හයේ පහරයි) අග පෙළ පිතිකරුවන් අතුරින් කැපී පෙනුණි.

ඉන්දීය පන්දු යවන්නන් අතුරින් කිසිවකුට විශේෂිත වූ දස්කම් පෙන්වීමට අවස්ථාව උදා නොවූ අතර රියාන් පරාග් පමණක් ලකුණු 24කට පිතිකරුවන් දෙදෙනකු දවාලීමට සමත්විණි.

පාකිස්තානය පන්දුවාර 50කදී කඩුලු 8ට 352යි – (ටයාබ් ටාහිර් 108, සාහිබ් සාඩා ෆර්හාන් 65, සායිම් අයුබ් 59, ඔමායිර් යුසුෆ් 35, මුවාසිර් ඛාන් 35, මොහමඩ් වසිම් නොදැවී 17, රියාන් පරාග් 24/2, ජවාධාන් හන්ෆාගේ කාර් 48/2).

ඉන්දියාව පන්දුවාර 40කදී සියල්ල දැවී 224 – (අභිෂේක් ෂර්මා 61, යාෂ් ඩුල් 39, සාල් සුදර්ශන් 29, රියාන් පරාග් 14, සුෆියන් මුකීම් 66/3, මෙහ්රාන් මුට්ටාෂ් 30/2, අර්ෂාඩ් ඉක්බාල් 34/2).

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee