slc
logo
Home   |    News
අගෝස්තු 16, 2023
LPL තරුණ ක්‍රීඩකයින්ගේ අනාගත කැඩපතයි – පුහුණුකරුවෝ කියති

sinhala editor

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් බිහිවන තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අනාගත කැඩපත බව අවසන් වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් හතරේ පුහුණුකරුවෝ පවසති. එල්පීඑල් තුලින් පැහැදිලි අනාගතයක් ඇති දක්ෂ ක්‍රීඩකයින් හදුනාගත හැකි බවත්, ඔවුන් එකවර ජාතික කණ්ඩායමට එක් කිරීමට හදිස්සි නොවිය යුතු බවත් ඔවූහූ පැවැසූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාගාරයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකදී දඹුල්ල අවුරා පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන, ගෝල් ටයිටෑන්ස් පුහුුුණුකරු චාමර කපුගෙදර, බී-ලව් කැන්ඩි පුහුණුකරු මුෂ්ටාක් අහමඩ් හා ජැෆ්නා කිංග්ස් පුහුණුකරු තිළිණ කණ්ඩම්බි යන මහත්වරු මෙම අදහස අනුමත කරමින් ප්‍රකාශ කළහ.

‘ප්ලේඕෆ්’ තරග වටයේ මුල්ම තරගය ලකුණු සටහනේ පළමු තැන සිටින දඹුල්ල අවුරා හා දෙවැනි තැන සිටින ගෝල් ටයිටෑන්ස් අතර හෙට පස්වරු 3 ට ආර්. පේමදාස පිටියේදී පැවැත්වේ. දෙවැනි තරගය රාත්‍රී 7. 30 ට ලකුණු සටහනේ තෙවැනි තැන සිටින බී-ලව් කැන්ඩි හා ජැෆ්නා කිංග්ස් අතර විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට නියමිතය.

මෙම තරග හා මෙතෙක් පැවැති සමස්ත තරගාවලිය පිළිබඳව එල්පීඑල් අවසන් වටයට පිවිසි කණ්ඩායම් පුහුණුකරුවෝ මාධ්‍ය වෙත අදහස් දැක්වූහ.

ගෝල් ටයිටෑන්ස් පුහුුුණුකරු චාමර කපුගෙදර –

“ඇතැම් ප්‍රේක්ෂකයෝ කඩුලු ලබා ගන්නා පන්දු යවන්නන්ට කැමැතියි. තවත් සමහරෙක් ලකුණු රැස්කරන පිතිකරුවන්ට කැමැතියි. ආර්. ප්‍රේමදාස පිටියේ තණතිලි ලකුණු ටිකක් අඩු ඒවා ලැබුණේ. ඒ මොනවා වුණත් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවන්ට හා පන්දු යවන්නන්ට අවශ්‍ය විදිහේ තණතිලි ලැබෙන එක ගොඩක් අඩුයි. ක්‍රීඩකයින් ලැබෙන තණතිල්ල අනුව පන්දුවට පහරදීමට සූදානමින් පැමිණිය යුතුයි. ඒ වගේම පන්දු යවන්නන් ඒ අභියෝගය භාරගත යුතුයි. පුහුණුකරුවන් විදිහට අපිත් ලැබෙන අභියෝගයට සාර්ථකව මුහුණදීමයි කළ යුත්තේ. අපට ලැබෙන අභියෝගය ජයගන්න පිතිකරුවන් හා පන්දු යවන්නන් සූදානම් විය යුතුයි“

“ ක්‍රිකට් ක්‍රීඩාවේ ලැබෙන අවස්ථාව වැදගත්. අපට ලැබෙන කුමන හෝ තණතිල්ලක් තමන්ගේ වාසියට නතු කර ගැනීමයි වැදගත්. තණතිල් හොද වීමෙන් හෝ නරක වීමෙන් තරගාවලයක සාර්ථකත්වය මනිනන් බෑ. තරගාවලියක රැදී සිටින ක්‍රීඩකයින් මත තමයි සාර්ථකත්වය තීරණය වන්නේ. ඔවුන් අභියෝග භාර ගන්නා ආකාරය අනුව හොද නරක තීරණය වෙනවා. හොදින් මුහුණ දුන්නොත් සාර්ථකයි. නැත්නම් අසාර්ථක බවක් දකිනවා. එක තරගාවලියක ස්භාවයයි“ චාමර කපුගෙදර පැවැසීය.

බී-ලව් කැන්ඩි පුහුණුකරු මුෂ්ටාක් අහමඩ් –

“මේ වගේ ලීග් ක්‍රිකට්වල ලැබෙන තණතිලි කාටත් පොදුයි. සමහර අවස්ථාවලදී මෙම තණතීරු සෑම කෙනෙකුටම තරමක් අභියෝගයක් විය හැකිය. ක්‍රීඩකයෙක් විදියට, කණ්ඩායමක් විදියට, පුහුණුකරුවන් විදියට මේ තත්ත්වය හොඳින් තේරුම් ගන්න ඕන. තණතීරු ඉහළ නොයන විට කළ යුතු දේ මගේ අනෙක් උපදේශකයින් දන්නවා. ඒක මගේ උප කල්පනයයි. වඩා හොඳ ශිල්පීය ක්‍රම පෙන්වන්න සහ ශක්තිමත් මනසකින් ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන් සූදානම් විය යුතුයි. සමහර කණ්ඩායම් හොඳින් ක්‍රීඩා කරන විට පන්දු යවන්නෙක් පෙරළියක් ඇති කරනවා. විශේෂයෙන්ම යොවුන් ක්‍රීඩකයන් තණතීරුවල ස්වභාවය සහ ක්‍රීඩාංගණයේ ස්වභාවය හොඳින් තේරුම් ගෙන ප්‍රතිවාදීන්ට මුහුණදීමට දන්නවා නම් ඕනෑම කෙනෙකුට ජයග්‍රහණය කරන්න පුළුවන්. මූලික වශයෙන් සෑම කෙනෙකුටම සම මට්ටමේ ක්‍රීඩා පිටියක් ලබා දී තිබෙනවා. ඒ නිසා ජයග්‍රහණය කරන්න නම් දක්ෂ ලෙස ක්‍රීඩා කළ යුතුයි“

“ ක්‍රිකට් ක්‍රීඩාවේදී විශ්වාසය සාර්ථකත්වයට අත්‍යවශ්‍යයි. සියලුම පුහුණුකරුවන් ක්‍රීඩා කරන්නේ ජයග්‍රහණය ඉලක්ක කරගෙන. මගේ බලාපොරොත්තුව කුසලානය දිනා ගැනීමයි. ඒ විශ්වාසය පුහුණුකරු විදියට මගෙන් ඇතිවෙන්න ඕන. ඒ වගේම සෑම කණ්ඩායමකම නායකයන්ගේ දායකත්වය ගොඩක් වැදගත්. නායකයා හොඳින් ක්‍රීඩා කිරීම සහ සියලු සැලසුම් පරිපූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයින් රතු පන්දුවෙන් හැකිතාක් පළමු පෙළ ක්‍රීඩා කළ යුතුයි. එවිට අවුරුදු කිහිපයක් යද්දී ඉතාම හොද දක්ෂයින් බිහිවන එක වලක්වන්න බෑ“ මුෂ්ටාක් අහමඩ් මහතා පැවැසීය.

දඹුල්ල අවුරා පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන –

“ එක් එක් ක්‍රීඩකයින්ට පැවැරුණ වගකීම් තියෙනවා. තරගාවලියක් ඉදිරියට ඇදෙද්දී ක්‍රීඩකයින්ගේ ඒ දක්ෂතා හා වගකීම් දියුණුවට පත්විය යුතුයි. දින 12ක් වැනි කාලයක් තුල තරග 8කට මුහුණදී තිබෙනවා. ඒ නිසා ක්‍රීඩකයින්ට විවේක ගන්වා තරගවලට යෙදවීමට සියලු කණ්ඩායම්වලට සිදුව තිබෙනවා. ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් දඟ පන්දුවලට ඉතා හොදින් මුහුණ දෙන එක අපට වාසියක්“

“ප්‍රේක්ෂකයින් හා මාධ්‍ය ක්‍රීඩකයින් පිළිබඳ කළබල විය යුතු නෑ. අපට තේරෙනවා තරුණ ක්‍රීඩකයින්ගේ නැගී සිටීම හා සූදානම. ඒ හරි වේලාව අපට කිව හැකියි මෙන්න මේ ක්‍රීඩකයා ජාතික තලයට ඔසවා තැබිය යුතුයි කියා. හොද ආරම්භයක් දුන්නේ නැත්නම් ටික කාලයකදී ඔහු අපට නැති වෙනවා. ඉනිමක් දෙකක් හොදට ක්‍රීඩා කළාට තරුණ ක්‍රීඩකයින් පිළිබඳ කළබල විය යුතු නෑ“

“ මේ තරගාවලියේ දේශීය පුහුණුකරුවන්ට හා ක්‍රීඩකයින්ට වැදගත් වන්නේ විදෙස් පුහුණුකරුවන්ගෙන් හා විදෙස් ක්‍රීඩකයින්ගෙන් බොහෝ දේ ගත හැකිවීමයි. විදෙස් පුහුණුකරුවන් ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත පදනම්ව සාමාන්‍ය විදිහට ක්‍රීඩකයින් හසුරවනවා. විදෙස් ක්‍රීඩකයින් යම් වගකීමක් දුන්නාම සියයට සියයක් කරන්න උත්සහා කරනවා. ඒක විශේෂ දෙයක්. ඔවුන්ගේ තාක්ෂණය පිළිබඳ හැදෑරීම තරුණ ක්‍රීඩකයින්ට වටිනවා“ අවිශ්ක ගුණවර්ධන පැවැසීය.

ජැෆ්නා කිංග්ස් පුහුණුකරු තිළිණ කණ්ඩම්බි –

“අපි තරග 5ක් පරාජය වුණේ පළමු වරටයි. ඒක අපිට අලුත් අත්දැකීමක්. මේ වේලාව අපේ ක්‍රීඩකයින්ට අත්දැකීම් අනුව ක්‍රීඩා කරන්න හොම වේලාවක්. මා උදාහරණයක් කියන්නම්. මා එක් තරගයකදී පිටිය මැදට යනකොට ලකුණු 50ට කඩුලු 6ක් බිඳ වැටිලා තිබුණේ. අපට දිනන්න 170ක් අවශ්‍ය වෙලා තිබුණා. පන්දුවට පහර දුන්නේ ෂොහිබ් මලික් හා ඩේවිඩ් මිලර්. මට ඔවුන්ට දෙන්න උපදෙසක් නෑ. මා කිව්වේ මේ වේලාවේ මේ තත්ත්වය පාලනය කරගන්න ලෝකයේ ඉන්න හොදම දෙන්නෙක් කියා පමණයි. ඒ වගේ අත්දැකීම් ඇති කණ්ඩායමක්. අප බලාපොරොත්තු වෙනවා ඉදිරියට යන්න. මේක හොදින් සංවිධානය වූ තරගාවලියක්. හොද දක්ෂ ක්‍රීඩකයින් බිහි වෙනවා. එල්පීඑල් තවත් දියුණු මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකියි. ඒ වගේම සමාජ සත්කාරක ක්‍රියා මේ තුලින් ඇතිවීම අගය කළ යුතුයි. රිජ්වේ රෝහලේ දරුවන්ගේ හදවත් සැත්කම් වෙනුවෙන් ලබා දෙන ලිට්ල් හාට් අරමුදල අගය කළ යුතු උතුම් සත් ක්‍රියාවක්“ තිළිණ කණ්ඩම්බි පැවැසීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee