slc
logo
Home   |    News
අගෝස්තු 11, 2023
LPL සම්පතක් බව කණ්ඩායම් නායකයෝ පවසති

sinhala editor

එල්පීඑල් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සම්පතක් බවත්, එය දිනෙන් දින දියුණුවට පත්වෙමින් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනා ගැනීම සතුටට කරුණක් බවත් මෙවර එල්පීඑල් තරගාවලියේ කණ්ඩායම් නායකයෝ පවසති. මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාවට මෙන්ම රටට විශාල මෙහෙවරක් කිරීම සම්බන්ධයෙන් ප්‍රසංසාව හිමිකළ යුතුව ඇතැයි ක්‍රිකට් නායකයෝ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මෙන්ම ගෝල් ග්ලැඩියේටර්ස් නායක දසුන් ශානක, ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා, දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස්, බී-ලව් කැන්ඩි නායක වනිඳු හසරංග හා කළම්බු ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ ඛෙත්තාරාම ක්‍රීඩාගාරයේ මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ගෝල් ග්ලැඩියේටර්ස් නායක දසුන් ශානක –

“එල්පීඑල් තරගාවලිය ආරම්භයේ සිට හොද දියුණුවක් ලබා තිබෙනවා. ක්‍රීඩා කරන ආකාරය හා තරගාවලියේ ගුණාත්මකභාවය ගොඩක් වැඩි වෙලා තියෙනවා. මෙම තරගාවලිය හරහා තරුණ ක්‍රීඩකයින්ට හොද අවස්ථාවක් ලැබී තිබෙනවා. කලින් ප්‍රේක්ෂකයින් දැක්කේ නෑ තරුණ ක්‍රීඩකයින් එළියට අවිත් ක්‍රීඩා කරනවා. නව සොයා ගැනීම් රැසක් ඉන්නවා. හරි ක්‍රීඩකයෝ තෝරා ගෙන ඔවුන්ට අවස්ථාව දී තිබෙනවා. අපේ ක්‍රීඩාවට එල්පීඑල් ලොකු දායකත්වයක්. පසුගිය තරගාවලියේදී මතීෂ පතිරණ වැනි දක්ෂයින් සොයා ගත්තා. මෙවර තරගාවලිය නිමා වෙද්දී අපට ගොඩාක් දක්ෂයින් දකින්න පුලුවන් වේවි“

“ ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් බෙදී ගිය ආකාරය නිසා ලොකු දියුණුවක් ලබා තිබෙනවා. ඉතාම තියුණු තරග මේ නිසා පැවැත්වුණා. නිසි වටිනාකමක් මෙයින් ක්‍රීඩකයින්ට ලැබී තිබෙනවා. මේ වගේ ‘ෆ්‍රැන්චයිස්‘ තරග නිසා රටතුල ක්‍රීඩකයින් රැදී සිටින කාලය වැඩියි. ඉදිරියේදී ඕවර් 10 (T10) තරගාවලියක් පැවැත්වෙනවා. මේ දේවල්වලට සියලු දෙනා සහයෝගය දිය යුතුයි“

“ සියලු නායකයින්ට පීඩනය වැඩියි. නමුත් කණ්ඩායමේ අනෙක් ක්‍රීඩකයින් හොදට කළාම නායකයාට එන පීඩනය අඩු වෙනවා. මා ක්‍රීඩා කරන්නේ අංක හය ස්ථානයේ. මා යන්නේ තරගයක් දිනන වෙලාවක නැතිනම් තරගයක් දිනවන්න අවශ්‍ය වේලාවක. ඒ නිසා ලැබෙන හැම වේලාවේම රට වෙනුවෙන් යුතුකම් කොටස කිරීමට කැප වෙනවා. මෙවර තරගාවලියේදී කොළඹදී අපි හොදට ක්‍රීඩා කළා. පල්ලෙකැලේ තරගවලදී අපේ පන්දු රැකීමේ දුර්වලතා දැක්කා. උඩ පන්දු අත්හැරියා. පන්දු රැකීමේ දුර්වලතා මැද කළම්බු ස්ට්‍රයිකර්ස් සමග ලොකු තරගයක් තිබුණා. ඇතැම් විට ඒ තරගය දිනන්න හැකියාවත් තිබුණා. අත්දැකීම් අඩු තරුණ ක්‍රීඩකයින් ඉන්නවා. අත්දැකීම් සමග තමයි ක්‍රීඩකයින් ඉදිරියට එන්නේ. හොදින් පන්දු රැකීම අත්‍යාවශයයි. පිත්තෙන්, පන්දු යැවීමෙන් මොනවා නොවුණත් පන්දු රැකීමෙන් යමක් කළ යුතුයි“

“ ක්‍රිකට් ගහනවා වගේම රට වෙනුවෙන් යම් දෙයක් කරන්න තියෙනවා නම් හරිම වටිනවා. ලිට්ල් හාට් ව්‍යාපෘතිය හරහා දරුවන්ගේ හදවත් සැත්කම් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලොකු මෙහෙවරක් කරනවා. ඒක ජාතික යුතුකමක් හැටියට මා දකිනවා. හයේ පහරකට, හතරේ පහරකට හා ඩොට් බොලයකට රිඩ්වේ ආර්යා ළමා රෝහලේ දරුවන්ගේ හෘද සැත්කම් වෙනුවෙන් මුදල් පරිත්‍යාගය උතුම් ක්‍රියාවක්. ක්‍රීඩකයෝ සන්නාම තානාපතිකම් දරනවා. මෙයට වඩා සමාජ සත්කාරකම් කරන්න අපට පුලුවන් වේවි ඉදිරියට. මේ වගේ සමාජ සත්කාරකම් හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට පදනමක් නැතිව කරන විවේචනත් අඩුවේවි“ දසුන් ශානක පැවැසීය.

ජැෆ්නා කිංග්ස් නායක තිසර පෙරේරා –

“එල්පීඑල් තරගාවලියට තවත් ටීම් එකක් එකතු වුණොත් වඩාත් උචිතයි. එයින් තරගකාරීත්වය වැඩි වෙනවා. ඒ අතර මේ තරගාවලිය නරඹන්න වෙනදාට වඩා ජ්‍රේක්ෂකයින් පැමිණෙනවා. ඒක තරගාවලියේ සාර්ථකත්වයට හේතුවක්. පසුගිය එල්පීඑල් වගේ නොවෙයි. මේ වතාවේ තරගකාරීත්වය වැඩිවී තිබෙනවා. ක්‍රීඩකයින් එක්කෙනාට එක්කෙනා වෙනස්. දක්ෂතා වෙනස්. ජැෆ්නා කිංග්ස් පිලට විශාල අභියෝගයක් එල්ලවී තියෙනවා. ඒ සදහා අප සැලසුම් සකස් කරමින් සිටිනවා. බංග්ලාදේශ ක්‍රීඩක තව්හිඩ් රිඩෝයි වෙනුවට ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිස් ලයින් කණ්ඩායමට අද එකතු වුණා“

“පසුගිය වසරේ ක්‍රීඩා කළ මෙවර ඉවත්වෙලා ගියේ දේශීය තරග බිමේ සිටි ක්‍රීඩකයින් 4ක්. ඒ වෙනුවට හොද විදේශීය ක්‍රීඩකයෝ මට ලැබී තිබෙනවා. ඒ නිසා වෙන්දේසියෙන් බලපෑමක් වුණේ නෑ. මට යහපතක් වෙලා තියෙන්නේ. ඒ විදේශීය ක්‍රීඩකයෝ විස්සයි 20 තරග 400කට වඩා ගහපු අය. නමුත් වෙන්දේසියක් තියන එක හොදයි. එයින් වටිනාකම වැඩි වෙනවා. මෙවර එල්පීඑල් තරගාවලියේ අපි තරග තුනක් පැරදිලා තියෙනවා. කලින් තරගාවලිවලදී තුනක් පැරදිලා හිටියේ නෑ. ජැෆ්නා කිංග්ස් හැටියට බලන්නේ නැතිව රටක් ලෙස බැලිය යුතුයි. මේ අවුරුද්දේ වෙනස ඒකයි“ තිසර පෙරේරා පැවැසීය.

දඹුල්ල අවුරා නායක කුසල් මෙන්ඩිස් –

“මෙවර එල්පීඑල් තරගාවලියෙන් තරුණ ක්‍රීඩකයින්ට හොද පණිවිඩයක් ලබාදී තිබෙනවා. දක්ෂ තරුණ ක්‍රීඩකයින්ට ඕනෑම වේලාවක තැනක් ගන්න පුලුවන් බව මෙවර තරගාවලියෙන් ඔප්පු වුණා. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඉතාම හොදයි. ඕනෑම ක්‍රීඩකයෙකු තෝරා ගන්නේ පුහුණුකරු හා නායකයා කතා කරලයි. ජැෆ්නා ටීම් එකේ 4ක් මෙවර අපේ කණ්ඩායමේ ඉන්නවා. මා ඒ පිලිබද සතුටට පත් වෙනවා. කොළඹ හා පල්ලෙකැලේ තරග අදියර දෙකම අපි හොදින් කළා. අපේ සැලසුම සාර්ථකයි. අපේ ක්‍රීඩකයින් හොදින් ක්‍රීඩා කරනවා. ඒ විශ්වාසය වැදගත්. පිතිකරුවන් ලකුණු අතරට එනවා. එහෙම නොවුණ වේලාවට පන්දු යවන්නන් තමන්ගේ කාර්ය කළා. මෙයින් අපේ විශ්වාසය වැඩිවී තිබෙනවා“ කුසල් මෙන්ඩිස් පැවැසීය.

බී-ලව් කැන්ඩි නායක වනිඳු හසරංග –

“අපි කොළඹ මුල් තරග පරාජය වෙද්දී ක්‍රීඩකයින් දෙදෙනකු පමණ අපට හිටියේ නෑ. දුෂ්මන්ත, සමාන්, මොහොමඩ් හැරිස් වගේ ක්‍රීඩකයින් හිටියේ නෑ. නායකයෙකු ලෙස සතුටු වෙනවා මුල් තරග පරාජය වෙලා යළිත් නැගී සිටීමට හැකිවීම පිළිබඳව. ක්‍රීඩක වෙන්දේසියෙන් පසු ක්‍රීඩකයින් තමන්ගේ කණ්ඩායම කෙරෙහි විශාල අවධානයක් ඇති කර ගන්නවා. වෙන්දේසිය නිසා ක්‍රීඩකයින් දන්නවා හොදට ක්‍රීඩා කළාම හොද වටිනාකමක් ලැබෙනව බව. මේ තරගාවලියට එන්න හැම ක්‍රීඩකයෙකුම උත්සහ කරනවා. මා අංක තුන ස්ථානයේ ක්‍රීඩා කළේ කණ්ඩායමේ සැලසුම අනුවයි. මම උඩින් පන්දුවට පහර දුන්නාම යටින් ගොඩක් හොද අය ඉතිරි වෙනවා. ඒ වගේම ජාතික කණ්ඩායමේ අංක 5 හා 6 ස්ථානවල බැට් කරලා තියෙනවා. ලකුණු ලබාගෙනත් තියෙනවා. ඒ නිසා මා බලාපොරොත්තු වෙනවා ජාතික කණ්ඩායමේ එම ස්ථානයේ පන්දුවට පහරදීමට. කණ්ඩායම සමබර කිරීමට මා අංක 3 ස්ථානයට පැමිණියා“

“කොළඹ තරග කළ මුල් තරග දෙක පරාජය වුණා. කොළඹ තණතිලිවල අමාරු වුණා පිතිකරුවන්ට. මහනුවර තණතිලිවල ලොකු ලකුණු ප්‍රමාණයක් ආවා. ඒ නිසා මේ වගේ තරගාවලි සදහා හොද තණතිලි අවශ්‍යයි. එතකොට පිතිකරුවන්ගේ දක්ෂතා දකින්න පුලුවන්. කොළඹ පැවැති තරගවලදී දක්ෂතා අතරට එන්න තරමක් අපහසු වුණා. මා පාසලේදීවත් නායකයා වෙලා නෑ. ඒ වගේම මා ගොඩක් ෆ්‍රැන්චයිස් ක්‍රීඩා කරලා නෑ. තිසර, දසුන් මට වැඩිය ක්‍රීඩා කර තිබෙනවා. මා අයිපීඑල් අවුරුදු දෙකක් ක්‍රීඩා කළා. ඩුබායි ටී 10 එක් අවුරුද්දක් ක්‍රීඩා කරලා අත්දැකීම් වැදගත් වුණා“ වනිඳු හසරංග පැවැසීය.

කළම්බු ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල –

“මෙවර තරගාවලියට විදේශීය ක්‍රීඩකයින් විශාල පිරිසක් එක්ව සිටිනවා. ඔවුන් තරගාවලියට යම් ආලෝකයක්. විශේෂයෙන්ම මගේ කණ්ඩායමේ සිටින පාකිස්තාන ක්‍රීඩකයින් විශාල ශක්තියක්. බාබර් අසාම් වගේ ක්‍රීඩකයින් ලෝක පූජිත ක්‍රීඩකයෙක්. නසීම් ෂා වගේ පන්දු අංක එකේ පන්දු යවන්නෙක් ඉන්න එක වටිනවා. මේ අයගෙන් ඉගෙන ගත හැකි දේ බොහොමයි. මෙවර එල්පීඑල් විශේෂ වන්නේ එන්න එන්නම දියුණුවක් ලබා ඇති නිසයි. විදෙස් ක්‍රීඩකයින් සියලු දෙනා පසුගිය තරගවලදී හොද දායකත්වයක් දුන්නා. පල්ලෙකැලේ පිටියේදී මගේ අත ආබාධයකට ලක්ව තිබෙනවා. ඉදිරි තරගවලට එක්වන්න පුලුවන් ද කියා තවම කියන්න බෑ. පිත්ත හසුරුවන්න පුලුවන් ද කියා අද පුහුණුවීම් වලින් පසුව බලනවා“ නිරෝෂන් දික්වැල්ල සඳහන් කළේය.

Active filters

Recent Posts

  • කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්
    ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ. ඒ අනුව මූලික කාල සටහනට අනුව […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලේ ප්‍රධාන පුහුණුකරු තනතුර චාමර සිල්වාට
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් හිටපු ටෙස්ට් ක්‍රීඩක චාමර සිල්වාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන තිබේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් […]
  • දේශීය ක්‍රීඩකයින්ගේ යෝග්‍යතාවය සහ කාර්යය සාධනය වැඩිදියුණු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය
    ක්‍රිකට් පිටියේ කාර්යය සාධනය වැඩිදියුණු කරලීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අඛණ්ඩව දරනු ලබන උත්සාහයන් අතර දේශීය පළමු පෙළ ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සමෙහි මේද ඝණත්වය මැණ බැලීම […]
  • කැන්ඩි – කොළඹ තරගය ජය පරාජ නෑ
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැති කැන්ඩි හා කොළඹ අතර තරගය ජය පරාජයෙන් ‍තොරව නිමාවට පත් වූවේය. […]
  • ගාල්ලට ලකුණු 145ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී ලකුණු 251ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායන දඹුල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee