slc
logo
Home   |    News
ඔක්තෝබර් 26, 2023
එංගලන්තය පැරදවූ ශ්‍රී ලංකාව ලෝක කුසලාන බලාපොරොත්තු වැඩි කරති

sinhala editor

පන්දු යැවීම, පන්දු රැකීම මෙන්ම පන්දුවට පහර දීම යන තුන් ඉරියව්වේ දක්ෂතා ඉහළින්ම පවත්වාගැනීමට සමත්වීම නිසා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ එංගලන්ත පිලට එරෙහිව බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 8 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ලද දෙවැනි ජයග්‍රහණය ලෙසින් මෙය සනිටුහන් විය.

වර්තමාන ලෝක ශූරයින් බවට පත්ව සිටින එංගලන්ත කණ්ඩායමට එරෙහිව ලද මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද ශ්‍රී ලංකා කණ්ඩායමට දැන් අවස්ථාව උදාවී තිබේ. පන්දු යවන්නන්ගේ කැපී පෙනෙන පන්දු යැවීම නිසා ජයග්‍රහණය සදහා ලකුණු 157 ක පහසු ඉලක්කයක් ලබා ගත් ශ්‍රි ලංකා පිතිකරුවෝ ඒ සඳහා පන්දුවාර 25.4 ක් පමණක් වැය කරන ලද්දේ කඩුලු 2 ක් පමණක් ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ පිරිනමමිනි.

ලකුණු 23 ක් ඇතුළත කඩුලු 2 ක අහිමිව තිබියදී පැතුම් නිස්සංකට එක් වුණු සධීර සමරවික්‍රම තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 122 කදී ලකුණු 137 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය කණුව කරා රැගෙන ගියහ. අදෙල් රශීඩ්ගේ පන්දුවකට පැතුම් නිස්සංක එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමඟ ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් වන විට ලකුණු පුවරුවේ තවත් පන්දු 146 ක් ඉතිරිව තිබිණ. එමෙන්ම එංගලන්ත කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියකදී ශ්‍රී ලංකාව හමුවේ පිට පිටම පරාජයට පත් වුණු 5 වැනි තරගය ලෙසින්ද අද තරගය සනිටුහන් විය. මීට පෙර එංගලන්තය 2007 වසරේදී, 2011 වසරේදී, 2015 වසරේදී මෙන්ම 2019 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසුණු සෑම අවස්ථාවකදීම පරාජයට පත්ව තිබේ.

ශ්‍රී ලංකාව ඉදිරියෙන් කඩුලු 8 ක ජයක් සනිටුහන් වන විටදී පැතුම් නිස්සංකගේ නම ඉදිරියෙන් ලකුණු 77 ක්ද සධීරගේනම ඉදිරියෙන් ලකුණු 65 ක් ද සටහන්ව තිබිණ. අද දිනයේ පැතුම් රැස් කරන ලද්දේ මෙවර තරගාවලියේ පිට පිටම ලද සිව්වැනි අර්ධ ශතකය වේ. පන්දු 83 ක් ඒ සදහා මිඩංගු කළ දකුණත් ආරම්භක පිතිකරුවාගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 4 පිතිකරු ස්ථානයට තමා වඩාත්ම සාදාරණය ඉටු කරන ලද පිතිකරුවා බව පෙන්නුම් කර සිටින සධීර අද දිනයේදී රැස් කරන ලද්දේ මෙවර තරගාවලියේ ඔහු වවාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකයයි. පන්දු 54 ක් ඒ සඳහා වැය කළ අලංකාර දකුණත් පිතිකරුවා ඊට හයේ පහරක් සහ හතරේ පහර 7 ක්ද ඇතුළත් කිරීමට අමතක නොකළේය.

ඉන්දියාවේ පැවැත්වෙන තරගවලදී තීරණාත්මකම සාධකයක් බවට පත්ව තිබෙන කාසියේ වාසිය එංගලන්ත නායක ජොස් බට්ලර් තමන් සතු කරගත්තද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එංගලන්ත පිතිකරුවන්ට පසුබැසීමට සිදුවිය. පන්දු යැවීමට නොදෙවැනි පන්දු රැකීම හමුවේ ලෝක ශූර එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 33.2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි. මෙම ලකුණු සංඛ්‍යාව චින්නස්වාමි ක්‍රීඩාංගණයේ මෙතෙක් පවත්වා ඇති එක්දින තරගයකදී කණ්ඩායමක් රැස් කරන ලද අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය. එංගලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේදී ශ්‍රී ලංකා පන්දු රකින්නන් රැක ගැනීමට අසීරු උඩපන්දු කීපයක්ම රැක ගැනීමට සමත්වීම කැපී පෙනෙන. ඒ අතර සධීර සමරවික්‍රම විසින් ක්‍රිස් වෝක්ස් දවා ගැනීම වෙනුවෙන් රැක ගත් උඩ පන්දුව ඉතාම විශීෂ්ඨ මට්ටමේ විය.

එංගලන්තය වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට ජොනී බෙයාර්ස්ටෝ සහ ඩේවිඩ් මලාන් සමත්වූයේ පළමු පන්දුවාර 6 ඇතුළත ලකුණු පුවරුව 44 ක් දක්වා ඉහළ දමමිනි. එහෙත් ඔවුන්ගේ ඉනිමේ කඩුලු 10 ම ඉතිරි පන්දුවාර 26 දී ලකුණු 111 ක් ඇතුළත බිඳ දැමීමට ළහිරු කුමාර සහ ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. වසර තුනහමාරකට පසු පළමු වතාවට අද තරගයේදී පන්දුව අතට ගත් ඇන්ජලෝ මැතිව්ස් තමා යැවූ පළමු පන්දුවාරයේදීම මලාන්ව ලකුණු 28 කට දවා ගනිමින් පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිද හෙළුවේය. මැතිව්ස් අද තරගයට පෙර එක්දින තරගයක අවසන් වතාවට පන්දු යවා තිබුනේ 2020 වසරේ මාර්තු 01 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලේකැලේ පැවැති තරගයේදී වේ.

ඩිල්ෂාන් මදුශංක විසින් යවන ලද තරගයේ පළමු පන්දුවම බෙයාර්ස්ටෝගේ පා ආවරණයේ වැදුණු නමුත් කරන ලද ඉල්ලීමේදී එය විනිසුරුවරයා විසින් නිෂ්ප්‍රභා කළේය. පළමු පන්දුවම නිසාදෝ එම තීරණය අභියෝගයකට ලක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මැළිකමක් දැක්වූ නමුත් පුනරූපණවලට අනුව එය කඩුල්ල මුවා කිරීමක් බව පැහැදිළිව පෙනී ගියේය. ඉන් මහත් ඵල ලබා ගත් බෙයාර්ස්ටෝ ලකුණු 30 ක් රැස් කර ගත්තේය.

කලකට පසු එක්දින පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් කැපී පෙනන පන්දු යැවීමක නිරත වූයේ තම පන්දුවාර 5 දී නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 14 කට කඩුලු 2 ක් දවා ගනිමිනි. පන්දු යැවීමට අමතරව පන්දු රැකීමෙන්ද ජෝ රූට්ව දවා ගැනීමට මැතිව්ස් දායකත්වය ලබා දුන්නේය. මැතිව්ස් ලබා දුන් තල්ලුවත් සමඟින් පන්දු යැවූ ළහිරු කුමාර ජොස් බට්ලර් (08), ලියෑම් ලිවිංග්ස්ටන් (01) සහ බෙන්ස්ටෝක්ස් (43) කඩුලු දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ළහිරුගේ පන්දු යැවීම ලකුනු පුවරුවේ සටහන් වූයේ පන්දුවාර 7 කදී ලකුණු 35 කට කඩුලු 3 ක් වශයෙනි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකරමින් අවතීර්ණව සිටියේය. එහිදී එම තරගයට ක්‍රීඩා කරන ලද චාමික කරුණාරත්න සහ දුශාන් හේමන්ත වෙනුවට ඇන්ලෝ මැතිව්ස් සහ ළහිරු කුමාරව කැඳවා තිබුණි. ප්‍රතිවාදී එංගලන්ත කණ්ඩායමද වෙනස්කම් 3 ක් සිදු කරමින් අද තරගයට අවතීර්ණව සිටියේය. දකුණු අප්‍රිකාවට එරෙහි තරගයට ක්‍රීඩා කරන ලද ගුස් ඇට්කින්සන්, හැරී බෘෘක් සහ රීස් ටොප්ලි වෙනුවට අද තරගයේදී ක්‍රිස් වෝක්ස්, මොයින් අලී සහ ලියෑම් ලිවිංග්ස්ටන්ව කැඳවමින් අද තරගයට අවතීර්ණ විය.

එංගලන්තය පන්දුවාර 33.2 කදී සියලු දෙනා දැවී ලකුනු 156 යි – (ජොනී බෙයාර්ස්ටෝ 30, ඩේවිඩ් මාලන් 28, ජෝ රූට් 03, බෙන් ස්ටෝක්ස් 43, ජොස් බට්ලර් 08, ලියම් ලිවිංග්ස්ටන් 01, මොයින් අලී 15, ක්‍රිස් වෝක්ස් 00, ඩේවිඩ් විලී 14*, අදෙල් රශීඩ් 02, මාක් වුඩ් 05, ළහිරු කුමාර 35/3, ඇන්ජලෝ මැතිව්ස් 14/2, කසුන් රිත 36/2, මහීෂ් තීක්ෂණ 21/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 25.4 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 160 යි – (පැතුම් නිස්සංක 77*, සධීර සමරවික්‍රම 65*, කුසල් මෙන්ඩිස් 11, කුසල් පෙරේරා 04, ඩේවිඩ් විලී 30/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee