slc
logo
Home   |    News
ඔක්තෝබර් 17, 2023
පාකිස්තාන යොවුන් පිලට කඩුලු 9ක ජයක්

sinhala editor

ශ්‍රී ලංකා – පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර පාකිස්තානයේ කරච්චි නුවරදී පැවැති සිව් දින ටෙස්ට් තරගයේ තෙවන දිනය වූ අද (17) සවස තරගය නිමාවට පත්වූයේ දිනයක් ඉතිරිව තිබියදී පාකිස්තාන 19න් පහළ කණ්ඩායමට කඩුලු නවයක ජයක් වාර්තා කරමිනි.

පාකිස්තාන යොවුන් කණ්ඩායම ප්‍රථම ඉනිමේදී කඩුලු නවයකට රැස් කළ ලකුණු 433ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද උදෑසන මුල් ඉනිම සඳහා සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළේ ලකුණු 204කි. පාකිස්තාන කණ්ඩායම ඉනිමක ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් නැවත දෙවන ඉනිම සඳහා ද පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කර සිටි නමුත් මෙදින තරගය නිමවීමට ස්වල්ප වේලාවකට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙවන ඉනිමේදී ද සියලු පිතිකරුවන් ලකුණු 236ක් ඇතුළත දවාගැනීමට පාකිස්තාන යොවුන් පන්දු යවන්නෝ සමත්වූහ.

ජයග්‍රහණය සඳහා පාකිස්තාන කණ්ඩායමට දෙවන ඉනිමේදී ලකුණු අටක් අවශ්‍ය වූ අතර ඔවුන් පන්දුවාර 1.4කට මුහුණ දී කඩුල්ලක් දැවී ලකුණු නවයක් ලබමින් මේ ජයග්‍රහණය වාර්තා කළේය.
දිනයේ ප්‍රථම පන්දු ඕවරය යැවූ විශ්ව ළහිරු එම ඕවරයේදී ම ප්‍රථම ඉනිමේදී ලකුණු 104ක් ලැබූ අසාන් අවායිස්ව ලකුණකට දවාලුවේ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත යවමිනි.

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන විට ඔවුනට දෙවන ඉනිමේදී ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 229ක් අවශ්‍ය විණි. එහිදී ආරම්භක පිතිකරුවන් ලෙස පළිඳු පෙරේරා (50) සහ නායක සිනෙත් ජයවර්ධන (52) මුල් විකට්ටුවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ ලකුණු 82ක් රැස් කරමිනි.

දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා යොවුන් පිළ වරක් කඩුල්ලක් දැවී ලකුණු 125ක් ලබා සිටියත් නායක සිනෙත් ජයවර්ධනගේ දැවී යාමත් සමඟ අවසාන කඩුලු නවයට දැවී ගියේ තවත් ලකුණු 111ක් පමණක් එක්වද්දීය.

දෙවන ඉනිමේදී ලංකා යොවුන් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් ආරම්භක පිතිකරු යුගල පුළිඳු පෙරේරා පන්දු 62කදී හතරේ අටක් හයේ පහර දෙකක් සමඟ ලකුණු 50ක් ද නායක සිනෙත් ජයවර්ධන පන්දු 67කට මුහුණ දී හතරේ දහයක් සමඟ ලකුණු 52ක් ද රැස් කරමින් අර්ධ ශතක ලබා ගත්හ.

පුළිඳු මුළු ලකුණු 82දී දැවීයාමෙන් පසු අංක තුන පිතිකරු රවිෂාන් ද සිල්වා ද දක්ෂ අයුරින් පන්දුවට පහර දෙමින් නායක ජයවර්ධන සමඟ එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 125 දක්වා ඉහළ නැංවිණි. රවිෂාන් මෙහිදී පන්දු 43කදී හතරේ තුනක් සමඟ ලකුණු 24ක් රැස් කළ අතර මේ පිතිකරුවන් දෙදෙනාගේ දැවී යාමත් සමඟ ලංකා මැද පෙළ අඩු සංඛ්‍යාවකට බිඳ වැටිණි.

දෙවන දින තරගය නතර කරන විට කඩුලු හයකට ලකුණු 155ක් ලබා සිටි ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම අද (17) උදෑසන ඉතිරි කඩුලු හතර දැවී මුල් ඉනිම සඳහා තවත් එක් කළේ ලකුණු 49කි.
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 65ක් රැස් කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ පුළිඳු පෙරේරා පන්දු 91කට මුහුණ දී හතරේ පහර නවයක් ද එල් කළේය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ හොඳම සබඳතාවය වූයේ ද පුළිඳු පෙරේරා (65) සහ හිරාන් ජයසුන්දර එක් කළ ලකුණු 81ක සබඳතාවයයි.

දෙවන ඉනිමේදී ලංකා කණ්ඩායම වෙනුවෙන් අද දක්ෂතා දැක් වූ සෙසු පිතිකරුවන් දෙදෙනා වූයේ හිරාන් ජයසුන්දර සහ මල්ෂා තරුපතිය. ජයසුන්දර දිගු වේලාවක් කඩුල්ලේ රැඳී පන්දු 69කට මුහුණ දී හතරේ දෙකක් සමඟ ලකුණු 22ක් එක් කරද්දී වේග පිතිහරඹයක නියැලුණු අංක නවය පිතිකරු මල්ෂ තරුපති ලකුණු 23ක් රැස් කළේ පන්දු 19කට පමණක් මුහුණ දෙමින් හතරේ හතරක් සහ හයේ පහරක් ද සමඟිනි.

දක්ෂතම පන්දු යවන්නා ලෙස පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනුණු මොහමඩ් ඉබ්ටිසාන් ලකුණු 37කට කඩුලු තුනක් දවාලීමට සමත් විය.

පාකිස්තාන අවුරුදු 19න් පහළ කණ්ඩායම මුල් ඉනිම කඩුලු 9ට 433යි (121.3යි)- (ෂෂෙබ් ඛාන් 161, අසාන් අවායිස් 104, ෂාඩ් බෙග් 68, වහාජ් රියාස් 18, අරෆට් මින්හාස් 17, මල්ෂා තරුපති 75/3, රවිෂාන් පෙරේරා 44/2, විහස් තෙව්මික 105/2, විශ්ව ළහිරු 68/1).

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මුල් ඉනිම 204 (පන්දුවාර 67.2යි) – (පුළිඳු පෙරේරා 65, සිනෙත් ජයවර්ධන 38, හිරාන් ජයසුන්දර 22, මල්ෂා තරුපති 23, අයිමල් ඛාන් 47/3, මොහමඩ් ඉබ්ටිසාන් 37/3, අරෆට් මින්හස් 31/2).

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම දෙවන ඉනිම සියල්ල දැවී 236 (පන්දුවාර 60.2යි) – (සිනෙත් ජයවර්ධන 52, පුළිඳු පෙරේරා 50, විශ්ව ළහිරු නොදැවී 29, රවිෂාන් ද සිල්වා 24, විහස් තෙව්මික 19, රවිෂාන් පෙරේරා 22, හිරාන් ජයසුන්දර 17, මොහමඩ් ඉස්මයිල් 18/2, මොහමඩ් ඉබ්ටිෂාන් 20/2, අහමඩ් ඛාන් 61/2, අලි අස්ෆාන්ඩ් 54/2).

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee