slc
logo
Home   |    News
ජනවාරි 3, 2024
නව තේරීම් කමිටුව මුල් වරට මාධ්‍ය හමුවට එයි

Sri Lanka Cricket

සංචාරක සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරමින් නව ක්‍රිකට් තේරිම් කමිටුව අද (3) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී මාධ්‍ය හමුවක් පැවැත්විය. එම මාධ්‍ය හමුවට නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මහතා හා සාමාජිකයින් වන තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් පෙරේරා සහ ඉන්දික ද සේරම් යන මහත්වරු එක්ව සිටියහ.

තේරීම් කමිටු සභාපතිවරයා සිම්බාබ්වේ සමඟ ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා එක්දින සංචිතය ප්‍රකාශ කරමින් මාධ්‍ය හමුව ආරම්භ කළේය.

එම සංචිතයට කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, ඩිල්ශාන් මධුශංක, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්, ජෙෆ්රි වැන්ඩර්සේ, අකිල ධනංජය, වනිඳු හසරංග (ශාරීරික යෝග්‍යතාවය අනුව ඔහු ක්‍රීඩා කරන බව සඳහන් විය) ඇතුලත් වේ.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හා තේරීම් කමිටුව ලබාදුන් පිළිතුරු මෙසේය.

මාධ්‍යවේදියා: 

ශ්‍රී ලංකා පිල දැන් වැටී ඇති තත්ත්වය ගැන නව තේරීම් කමිටුව හිතන්නේ කුමක්ද? එ් තත්ත්වයෙන් ගොඩ එන්නේ කොහොමද?

උපුල් තරංග : 

ඔව්. ඇත්තටම පසුගිය අවුරුදු කිහිපයේ හා ලෝක කුසලාන තරගාවලිය ගත්තාම හිතුව තරම් සාර්ථක වුණේ නෑ. කණ්ඩායමක් හැටියට දක්ෂ ක්‍රීඩකයින් රැසක් අපට ඉන්නවා. තේරීම් කමිටුවේ අපි සාකච්ඡා කළාම අපට වැටහුනේ ක්‍රීඩකයින් consistency නෑ. එක දවසක හොදට සෙල්ලම් කරනවා. ඊට පස්සේ ආයෙත් තරග කිහිපයක් යනකල් දක්ෂතා අතර නෑ. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය ගත්තොත් පිතිකරුවන් හොද ආරම්භයක් ගන්නවා. ඔවුන් ඒක දිගට ඒක තියා ගන්නේ නෑ. විශේෂයෙන්ම විස්සයි 20 හා එක්දින තරගවලදී දිනන්න ඕනෙ නම් මුල් හතර දෙනාගෙන් එක්කෙනෙක් ලොකු ලකුණු අතරට යන්න ඕනේ. ඔවුන් වටා තමයි අනෙක් ක්‍රිඩකයින් සෙල්ලම් කරන්නේ. අපි එවැනි දක්ෂතා දැක්කේ නෑ. පන්දු යවන්නන් හොදින් කළා. පන්දු රැකීමත් එහෙමයි. ජාතික තලයේ ක්‍රීඩකයින් හදන තැන. අපට හොද බැකප් එකක් (ආදේශ කළ හැකි පසුපෙළ ක්‍රීඩකයින්) හිටියේ නෑ. ජාතික තලය හොද වෙන්නනම් හොද බැකප් එකක් හැදෙන්න ඕනේ. අපි තේරීම් කමිටුව විදිහට බලන්නේ බැකප් එක කොහොමද ශක්තිමත් කර ගන්නේ කියලා.

මාධ්‍යවේදියා: 

ඔබ ලෝක කුසලානය පිළිබඳ කතා කලා. ලෝක කුසලානය පුරාවට උඩ පන්දු 16ක් අත්හැරුනා. ශ්‍රී ලංකා පිල කලක් පන්දු රැකීමේදී හොද තැනක හිටියා. කොහොමද මේ දුර්වලතාව නැති කර ගන්නේ?

උපුල් තරංග : 

අත්හැරුණ උඩ පන්දු 16 න් සමහරක් හාෆ් චාන්ස්. හැබැයි ඒ වුණාට ජාත්‍යන්තර තරගයකදී අපි කියනවා ‘කැචර්ස් වින් මැචර්ස්‘ කියලා. මොඩර්න් ක්‍රිකට් වලදී උඩ පන්දු කියන එක සෑහෙන්න වැදගත් දෙයක්. මොකද ඕනෑම වේලාවක තරගයක් වෙනස් කළ හැකියි. අපි උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් සමඟ හා අපේ පුහුණුකරුවන් සමඟ සෑහෙන්න කතා කරලා තියෙනවා. මොකද ගොඩක් වේලාවට එක්දින තරගවලදී ‘ෆිට්නස්‘ බලපානවා. ඉන්දියාව වගේ කණ්ඩායමක් සමඟ එක දිගට තියා ගන්න ඕනේ. උසස් දක්ෂතා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු ක්‍රමවේද වෙනස් කරගත යුතුයි. ඒ ගැන ගොඩක් කතා කර තිබෙනවා.

මාධ්‍යවේදියා: 

තේරීම් කමිටුව විදිහට දීර්ඝ කාලීන හා කෙටි කාලීන වැඩ පිළිවෙල මොකක්ද? වේග පන්දු යවන්නන් වූ ළහිරු කුමාර, කසුන් රාජිත නෑ. දඟ පන්දු යවන දුෂාන් හේමන්ත නෑ. ක්‍රීඩකයෝ තරග රටාව අනුව වර්ගීකරණයක් කරනවද?

උපුල් තරංග : 

අපේ දීර්ඝ කාලීන සැලැස්ම 2027 ලෝක කුසලාන තරගාවලිය.  කෙටි කාලීන වැඩ පිළිවෙල තවත් මාස 6කින් පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය. ඒකට මාස 6ක්වත් නෑ. අපි කිසිම ක්‍රීඩකයෙක් අත්හරින්නේ නෑ. අපි කණ්ඩායමක් ලෙස විශ්වාස කරන්නේ අත්දැකීම් වැදගත් කියලා. නවක ක්‍රීඩකයින්ට යමක් ඉගෙන ගන්න අත්දැකීම් වැදගත් වෙනවා. කිසිම ක්‍රීඩකයෙක් වර්ගිකරණය කරන්නේ නෑ. කසුන් රාජිත සමඟ හිටිය කෙනෙක් ප්‍රමෝද් මධුෂාන්. ඒ නිසා මධුෂාන් සමඟ මෙවර අප ඉදිරියට යනවා. ළහිරු කුමාර ආබාධ තත්ත්වයේ ඉන්නේ. දුෂාන් හේමන්ත හොද නවක ක්‍රීඩකයෙක් නෑ. ඔහුව අත්හැරලා නෑ. ඔහුට ‘ඒ‘ කණ්ඩායමේ හා ජාතික සුපර් ලීග් තරගවලදී දස්කම් පෙන්වා ඉදිරියට පැමිණිය හැකියි. 

මාධ්‍යවේදියා: 

අපි පසුගිය කාලයේ ස්ථීර නායකයෙකු සමඟ දිගු කාලීන සැලසුමක්  දැක්කේ නෑ. එක් නායකයෙක් සමඟ දීර්ඝ ගමනක් යනවා. දැන් කුසල් හා වනිඳු යන නායකයෝ දෙන්නෙක් පත්කර තිබෙනවා. මේක දීර්ඝ කාලීන පත් කිරීමක්ද? නැත්නම් තාවකාලික එකක් ද?  

උපුල් තරංග : 

අපි දැනට හිතාගෙන ඉන්නේ ඔවුන් දෙදෙනා සමඟ යන්නයි. දසුන් නැති නිසා කුසල්ට නායකත්වය ලැබුණා. ඔහුට හොද අවස්ථාවක් ලැබුණේ නෑ. වනිඳු සමඟ අප දිගට යන්න බලනවා. ඕවර් 50 ලෝක කුසලාන තරගාවලියට තව අවුරුදු 4ක් තියෙනවා. කුසල් සමඟ ගිහින් බලන්න පුලුවන් ඔහුගේ පිතිකරණය හා නායකත්වය පිළිබඳව.

මාධ්‍යවේදියා: 

තරංග. ඔබේ ගම අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ මොනවටද ප්‍රසිද්ධ?

උපුල් තරංග : 

වෙස් මුහුණුද? රූකඩද?

මාධ්‍යවේදියා: 

මම ප්‍රාර්ථනා කරනවා ඔබලා රුකඩයක් නොවේවා කියා. මට දැන ගන්න ඕනේ ඔබලා භානුක රාජපක්ෂ හා ඇන්ජලෝ මැතිව්ස් විස්සයි 20 සංචිතයට ගෙනත් තියෙනවා. හිටපු තේරීම් කමිටුව මේ අය ෆිට්නස් නෑ කියලා එළියට දැම්මා. කොහොමද ආයෙත් ගෙනාවේ?

උපුල් තරංග : 

මැතිව්ස් පසුගිය ලෝක කුසලානයේදී හිටියා. භානුක විස්සයි 20 තරග විතරයි ක්‍රීඩා කළේ. මාස 8කට පමණ පෙර අපි විස්සයි 20 තරගයකට ක්‍රීඩා කළේ. භානුක විස්සයි 20 තරගයක් දිනවන්න පුලුවන් කෙනෙක්. ආසියානු කුසලානයේදී අපි ඒක දැක්කා. ජාත්‍යන්තර තලයේදී ‘ෆිට්නස්‘ තියාගන්න ඕනේ. භානුක ඉදිරි ලෝක කුසලාන තරගාවලියේ අවසන් 15 අතර ඉදියිද මා දන්නේ නෑ. නමුත් ඔහු විස්සයි 20 ආකෘතියේ ඔහු තියාගත යුතුයි.

මාධ්‍යවේදියා: 

තේරීම් කමිටු එනවා යනවා. නමුත් අපට තවමත් ජාතික තේරීම් කමිටු ප්‍රතිපත්තියක් නෑ. එහෙම එකක් හදන්න අවශ්‍ය නැද්ද? මෑත කාලයේ ක්‍රිකට් ගහපු අය තේරීම කමිටුවේ ඉන්නේ. ප්‍රතිපත්තියක් හදන්න හිතන්නේ නැද්ද?

උපුල් තරංග : 

ඒක හොද ප්‍රශ්නයක්. අපට අපේ ප්‍රතිපත්තිය තියාගෙන යන්න පුලුවන්. එන එන කෙනාට වෙනස් විය හැකියි. ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ දීර්ඝ කතාවකට ගිහින් හදා ගන්න පුලුවන් නම් හොදයි. ඒක ඉදිරියේදී කළ යුතුයි.

මාධ්‍යවේදියා: 

මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය පැවැත්වෙනවා. ඒ තරගාවලිය ගැන මොකක්ද හිතන්නේ. ඒ වගේම වනිඳුගේ තත්ත්වය කොහොමද?

උපුල් තරංග : 

වනිඳු ඔහු හොද තැනක ඉන්නවා. ඔහු ක්ලබ් ටූනමන්ට් එකේ තරග දෙකක් ගහලා තියෙනවා. වෛද්‍ය උපදෙස් අනුව ක්ලබ් තරග 3ක් ගහලා ඉන්පසුව වනිඳුව අපට නිදහස් කරන්න පුහුණුකරු බලාපොරොත්තු වෙනවා. ක්ලබ් ටූනමන්ට්ස් එකේ තණතිලි ගැන අප සතුටු නෑ. ක්‍රීඩකයින් කියන්නේ මේ තණතිලි ජාත්‍යන්තර ඒවාට වඩා හාත්පසින්ම වෙනස් බවයි. ක්‍රිකට් ආයතනයේ මේ ගැන ලොකු සාකච්ඡාවක් ගියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සැලසුමක් තියෙනවා ලබන තරගාවලියේ සිට තණතිලි පිළීබඳ විශේෂඥ දැනුමක් ඇති අය යොදා තණතිලි මොනිටර් කරන්න.

මාධ්‍යවේදියා: 

පසුගිය තේරීම් කමිටුව ආරම්භයේදි කිව්වා තරුණයින් සමඟ ගමනක් යන බව. ඔබේ කමිටුවේ ප්‍රතිපත්තිය කුමක්ද?

උපුල් තරංග :

තරුණ අය සමඟ පමණක් යන්න අප හිතන්නේ නෑ. අපි විශ්වාස කරනවා සමහර ක්‍රීඩකයින්ට තවමත් රටට යමක් කළ හැකියි කියා. ජාත්‍යන්තර ක්‍රීඩා කළ ක්‍රීඩකියින් රැසක් ඉන්නවා. ඔවුන් දක්ෂතා අතර ඉන්නවා නම්. ඔවුන් ෆිට්නස් තියෙනවා නම් ලෝක කුසලානය ක්‍රීඩා කරන්න පුලුවන්. ඇතැම් අයට අවුරුද්දක් දෙකක් වෙන්න පුලුවන්. ඔවුන්ගේ අත්දැකීම් වැදගත්. නවකයින් සමඟ හුවමාරු කරගන්න පුලුවන්. යම් කාලයක හරි කණ්ඩයමට ගන්න පුලුවන් අය ඉන්නවා නම් සලකා බලනවා.

මාධ්‍යවේදියා: 

ක්‍රීඩකයෙකු කණ්ඩායමේ ඉන්නවාද? නැද්ද? කියා ක්‍රීඩකයා සමඟ සන්නිවේදනය කරන ක්‍රමවේදය කුමක්ද?

උපුල් තරංග : 

ක්‍රීඩකයින් සියලු දෙනාට මම කතා කරනවා. මාධ්‍යයෙන් එළියට එන්න කලින් ඔවුන්ට අපි කියන එක හොදයි කියලා හිතෙනවා.

මාධ්‍යවේදියා: 

ජාතික කණ්ඩායම, ‘ඒ‘ කණ්ඩායම, නැගී එන කණ්ඩායම යන අංශ තුනම ඔබේ අතේ තියෙනවා. මේ නිසා ක්‍රීඩකයින් කී දෙනෙක් සලකා බැලුවාද? 

උපුල් තරංග : 

ක්‍රීඩකයින් 120ක් පමණ සංචිතවල ඉදලා තියෙනවා. අපි බලලා සමහර නම් වෙනස් කරන්න වෙයි. ඉදිරියේදී එන්එස්එල් එක එනවා. ඒ වගේම ඇෆ්ගනිස්තාන ‘ඒ‘ සංචාරයක් එනවා. ඒ අයගෙන් කණ්ඩායම තෝරා ගන්න වෙනවා. 

මාධ්‍යවේදියා: 

ධනංජය ද සිල්වා හා දිනේෂ් චන්දිමාල්ට අවස්ථාවක් ලැබිලා නෑ. මොකක්ද ඒකේ අදහස. 2027 ලෝක කුසලානයද? 

උපුල් තරංග : 

අපි විශ්වාස කරනවා ධනංජය එක්දින තරගවලදී මුල් පිතිකරුවන් තුන ඇතුලේදී ලොකු ලකුණු ගහලා තියෙනවා. ධනංජය සමඟ අපි කතා කළා. ඔහු අවසන් කාලයේ ක්‍රීඩා කළේ නොම්බර 6, 7 වගේ. එකෙන් ඔහුට වැඩක් නෑ. අපට වැඩකුත් නෑ. ඒ නිසා ක්ලබ් ටූනර්මන්ට් එකේදි ඔහුට මුල් පිතිකරුවන් අතර සෙල්ලම් කරන්න උපදෙස් දුන්නා. චන්දිමාල් අංක 4,5 ක්‍රීඩා කරන්නේ. එතැන මේ අවස්ථාවේ සධීර හා චරිත් අසලංක හොදින් ක්‍රීඩා කරනවා. අපි ක්‍රීඩකයින් ගෙනත් ස්ථාන මාරු නොකොට ඔවුන්ට අවේනික ස්ථානයේ වැඩිපුර ක්‍රීඩා කිරීමට ඉඩ දෙනවා.

මාධ්‍යවේදියා: 

2027දී ලෝක කුසලානය තියෙන්නේ. එක්දින තරග මේ එන අවුරුදු 4දී එක්දින තරග අඩුයි. කොහොමද ඒ වගේ තත්ත්වයක් තුල සැලසුම් කරන්නේ? 

උපුල් තරංග : 

තරග ක්‍රීඩා කිරීම වැදගත්. මේ අවුරුද්ද පුරාම ක්‍රිකට් තියෙනවා. ක්‍රීඩා කරද්දී තමයි අත්දැකීම් එන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ කතා කරලා ඉදිරි තරග සැලසුම් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

මාධ්‍යවේදියා: 

අවිශ්ක ප්‍රනාන්දු එක්දින තරගවල ඉන්නවා. විස්සයි 20 සංචිතයේ නෑ. ඒකට හේතුව මොකක්ද?

උපුල් තරංග : 

අවිශ්කගේ විස්සයි 20 තරග වාර්තා එච්චරම හොද නෑ. අපි කමිටුවක් විදිහට තීරණය කළා ඔහු එක්දින තරගවලදි හොදින් ක්‍රීඩා කළා. පහුගිය ක්ලබ් තරග වලදීත් ඔහු හොදින් ක්‍රිඩා කළා. අපට තියෙන ලොකු ප්‍රශ්නයක් පිතිකරුවන් ලොකු ලකුණු ගණනකට යන්නේ නැති එක. 40ක් 50ක් ගහලා අවුට් වෙනවා. ඒත් අවිශ්කට ඒ දේ කරන්න පුලුවන් කියා අපි හිතනවා. 2019 ලෝක කුසලානයේ ශතක දෙකක් ගැහුව්වා. එතකොට අවුරුදු 20ක් විතර ඇති. ඒ නිසා එක්දින සංචිතයට ඇතුලත් කළා.

මාධ්‍යවේදියා: 

එක්දින නායකත්ව තීන්දු කරද්දී කුසල්ට දෙන්නත්. දසුන්ට නොදෙන්නත් හේතුව මොකක්ද?

උපුල් තරංග : 

අවසන් වසර දෙකේ පමණ දසුන් නායකයා ලෙස හිටියේ. ඔහු පිතිකරුවෙකු ලෙසත් හොදින් කළේ නෑ. මොකද මේක අලුත් සර්කල් එකක්. ඒ නිසා කුසල් සමඟ යන්න හිතුවා.

මාධ්‍යවේදියා: 

එන්එස්එල් එකට ක්‍රීඩකයෝ තේරීමේදී ක්‍රීඩා සමාජ 5කට ක්‍රීඩකයෝ බෙදන්නේ. එහිදී ස්ථාන අනුව බෙදිම අපහසු වෙනවා. ඒ නිසා එන්එස්එල් ක්‍රීඩක තේරීමේදී යම් ක්‍රියා මාර්ගයක් ගන්නවාද? 

උපුල් තරංග : 

පසුගිය අවුරුදු දෙකේම ඔය ප්‍රශ්නය ආවා.  එකම කණ්ඩායමේ දඟ පන්දු යවන්නෝ 5ක් 6ක් විතර හිටියා. මේ ගැන මහේල ඇතුළු බොහෝ දෙනෙක් ඇවිත් කතා වුණා. අපි එකඟතාවකට ආවා සිස්ටම් එක එහෙම යද්දී අපට පේනවා නම් ජාතික කණ්ඩායමට හෝ ‘ඒ‘ කණ්ඩායමට බලන ක්‍රීඩකයෙක් හෝ දෙන්නෙක් හිටියොත් ‘හයිබ්‍රිඩ්‘ සිස්ටම් එකක් හදුන්වා දුන්නා. අපට ඒ අය ගැන බලලා පළාත්වලට මාරු කරන්න පුළුවන්. 

මාධ්‍යවේදියා: 

මේ පත්වෙලා තියෙන්නේ තරුණ තේරීම් කමිටුවක්. ඇතැම් අයගෙන් චෝදනාවක් එන්න පුළුවන් එකට හිටිය අයට අවස්ථාවක් දෙනවා කියලා. එහෙම වුනොත් ඔබේ ස්වාධීනත්වය වෙනුවෙන් දෙන්න තියන උත්තරය මොකක්ද? 

උපුල් තරංග : 

ඒක බලන් ඉන්න අයට තමයි කියන්න පුළුවන්. කවුරු හරි ක්‍රීඩකයෙක් දැම්මොත් ඕගොල්ලන්ට බලා ගන්න පුලුවන්. ඉදිරියේදී එන්එස්එල් තරගාවලිය එනවා.‘ඒ‘ කණ්ඩායමේ තරගාවලි එනවා. අපට විශ්වාසයෙන් කියන්න පුළුවන් කාටවත් පක්ෂග්‍රාහී නොවී දක්ෂතාවලට තැන දෙනවා කියා.

මාධ්‍යවේදියා: 

මේ ප්‍රශ්නය යොමු කරන්නේ අජන්ත මෙන්ඩිස්ට හා දිල්රුවන් පෙරේරා වෙතට. අකිල ධනංජය ඉන්නවා මේ සංචිතයේ කලකට පසු. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ ප්‍රශ්න තිබුණා. දැන් කොහොමද තත්ත්වය?

අජන්ත මෙන්ඩිස් : ඔහුගේ ප්‍රශ්නය දැන් නිරවුල් කරගෙන තියෙනවා. බටහිර ඉන්දීය කොදෙව්වලදී ඔහු කඩුලු ත්‍රිත්වයක් ගත්තේ ඉන් පසුවයි.  අකිල ධනංජය පසුගිය අවුරුදු දෙකේදී හොදින් කඩුලු අරන් තියෙනවා. ජාතික කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නන් දෙදෙනා වනිඳු හා මහීෂ්. ඒ ක්‍රීඩකයින් දෙදෙනා සමඟ බැකප් ප්ලෑන් එකක් තියන්න අවශ්‍යයි. ඔවුන් තරග 30ක් 35ක් ක්‍රීඩා කරලා තියෙනවා. සිම්බාබ්වේ වගේ කණ්ඩායමක් සමඟ ඔවුන් දාලා බලන්න අවශ්‍යයි. අන්තර්ජාතික තරගයකට ගිහින් බලන්න පුළුවන් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව. දැනට කිසිම ප්‍රශ්නයක් නෑ. දක්ෂතා අතර ඉන්නවා නම් ක්‍රීඩකයාට සාධාරණයක් කළ යුතුයි. 

දිල්රුවන් පෙරේරා:

ලෝක කුසලානයේදී අපට මැද හරියේ කඩුලු ගන්න එක ප්‍රශ්නයක් තිබුණා. අකිල 2019දී ටෙස්ට් තරගයකදී තමයි ප්‍රශ්නයක් ආවේ. නමුත් ඔහු දැන් ඒ වැරදි හදාගෙන එළියට ගිහින් අන්තර්ජාතික තලයේ කඩුලු ගත්තා.

මාධ්‍යවේදියා: 

ඔබ කිව්වා කුසල් හා වනිඳු දීර්ඝකාලීන නායකයින් සේ බලනවා කියා. නමුත් පත්විමෙන් සතියක් යද්දී වැඩ අල්ලා යම් විනය විරෝධී හැසිරිමක් වාර්තා කළා. නායකත්වයේදී විනය බලන්නේස නැද්ද?

උපුල් තරංග : 

විනය සෑහෙන්න වැදගත්. නායකයාගේ විනය ඉතාම වැදගත්. කුසල්ගේ ඔය ප්‍රශ්නය ගැන ක්‍රිකට් ආයතනය සමඟ කතා කළා. ඒ පිළීබඳ එස්එස්සී එකෙන් පරීක්ෂණය කරන බව දැනුම් දුන්නා. වාර්තාවක් අපට දෙනවා කිව්වා. තවම ලැබුණේ නෑ. 

මාධ්‍යවේදියා: 

මේ ප්‍රශ්නය යොමු කරන්නේ ඉන්දික ද සේරම් වෙත. තේරීම් කමිටු සභාපති පැවැසූවා පිතිකරණයේ අඛණ්ඩ දක්ෂතා ගැන. ඔබ මොකද හිතන්නේ මේ ගැන?

ඉන්දික ද සේරම්:

සෑම පිතිකරුවෙක් ලකුණු අතර ඉන්නේ නෑ. ලකුණු අතර ඉන්න කාලෙදි දිගු ඉනිම් ඔවුන් ක්‍රීඩා කළ යුතුයි. එතකොට එක තරගයක් ෆේල් වුණාම අනික් තරගයේදී ඒක කවර් වෙනවා. අපේ හොද පිතිකරුවන් 5ක් විතර ඉන්නවා ස්ථාන තහවුරු කරන් ඉන්න අය. ඉදිරියේදී ඔවුන් මේ දේවල් තේරුම් අරන් කරයි.

මාධ්‍යවේදියා:  

ඉදිරියේ ටෙස්ට් තරගාවලි කිහිපයක් එනවා. ටෙස්ට් නායකත්වයේ වෙනසක් වෙනවාද?

උපුල් තරංග : 

ඔව්. ටෙස්ට් නායකයා ධනංජය ද සිල්වා. උප නායකයා කුසල් මෙන්ඩිස්

මාධ්‍යවේදියා: 

ටෙස්ට්, විස්සයි 20 හා එක්දින ආකෘති තුනට නායකයෝ 3ක් පත් කිරීමට හේතුව කුමක්ද?

උපුල් තරංග : 

පෞද්ගලිකව ගත්තොත් මා කැමැතියි ආකෘති තුනටම එක නායකයෙක් ඉන්නවාට. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව අපට එහෙම කරන්න අමාරුයි. අපි දීර්ඝව කතා කරලා එහෙම කළේ.

මාධ්‍යවේදියා: 

තේරිම් කමිටුව අවුරුදු තුනකට පස්සේ තේරීම් ගැන මෙහෙම මාධ්‍ය හමුවක් තිබ්බේ. මේක එකම මාධ්‍ය හමුවද? නැත්නම් ඒ ඒ සංචාරවලදී මාධ්‍ය හමුවක් තියලා පැහැදිලි කිරීමක් කරනවාද?

උපුල් තරංග : 

ගොඩක් වේලාවට සංචිතයෙන් පසු අපි මාධ්‍ය හමුවක් තියනවා. අපටත් ලෙහෙසියි. ක්‍රීඩකයෙක් ආවේ කොහොමද? කියලා කියන්න. මේ වසරේ ටිකක් කාර්ය බහුලයි. නමුත් අපි හැම වේලාවේම බලනවා ඒක කරන්න.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee