slc
logo
Home   |    News
ජනවාරි 15, 2024
ශ්‍රී ලංකාව අවසාන පන්දුවේදී සිම්බාබ්වේ පරාජය කරයි

Sri Lanka Cricket

තරගයේ අවසාන ඕවරයේ අවසාන පන්දුවට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු දෙක ශ්‍රී ලංකා අගපෙළ පිතිකරු වේගපන්දු යවන්නකු වන දුෂ්මන්ත චමීර විසින් බ්ලෙසින් මුසරබානිගේ පන්දුවට ඩීප් මිඩ් විකට් දෙසට එල්ල කරමින් ලබා ගැනීමත් සමඟ ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ප්‍රථම විස්සයි 20 තරගයෙන් ලංකා කණ්ඩායමට කඩුලු හතක ජයග්‍රහණයක් අත් විය.

 සිම්බාබ්වේ ලබාගත් ලකුණු 143 හඹායාමේදී ජයග්‍රහණය සඳහා අවසාන පන්දුවාරයේදී (ඕවරයේදී) ලංකා කණ්ඩායමට ලකුණු 14ක් අවශ්‍ය විය. මේ අවස්ථාවේ හත්වන කඩුල්ලට පන්දුවට පහරදෙමින් සිටියේ හිටපු නායකන් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානකය.

  අවසාන පන්දු ඕවරය යවන ලද්දේ බ්ලෙසින් මුසරබානි විසින්ය. 36 හැවිරිදි ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථම සහ දෙවන පන්දුවට හතරේ පහර දෙකක් එල්ල කිරීමෙන් ජයග්‍රහණය සඳහා ලංකා පිලට අවශ්‍ය වුයේ තවත් ලකුණු හයකි. තුන්වන පන්දුව නිදැල්ලේ ගිය අතර සිව්වන පන්දුවට මැතිව්ස් එල්ල කළ පහර මැසකඩ්සා විසින් රැක ගැනීමෙන් මැතිව්ස් ලකුණු 46කට දැවී ගියේය.

 අංක නවය පිතිකරු ලෙස පැමිණි දුෂ්මන්ත චමීර පස්වන පන්දුවට හතරේ පහරක් ද හයවන පන්දුවට ලකුණු දෙකක් ද ලබා ගනිමින් ලංකා ජයග්‍රහණය ස්ථිර කළේ ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දනයට පත් කරමිනි.

 ශ්‍රී ලංකාව පන්දුවාර 14ක් නිම වන විට ලකුණු 83කට ප්‍රබලම කඩුලු හයක් දැවී අසීරුම තත්ත්වයක සිටියදී හිටපු නායකයන් දෙදෙනා වන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ද (පන්දු 38යි හතරේ පහයි හයේ පහරයි) සහ දසුන් ශානක නොදැවී ලකුණු 26ක් ද (පන්දු 18යි හතරේ හතරයි)  හත්වන කඩුල්ලට පන්දු 34කදී ලකුණු 55ක සබඳතාවයක් තබා ගනිමින් ලංකා කණ්ඩායම ජයග්‍රහණය අභියසටම රැගෙන ගියහ.

  මැතිව්ස්ගේ දක්ෂ පිතිහරඹය මත ඔහු තරගයේ වීරයා ලෙස නම් කැරිණි.

 ශ්‍රී ලංකා කණ්ඩායම 144ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පැමිණි අවස්ථාවේ එන්ගාරා එවු ප්‍රථම ඕවරයේ තුන්වන පන්දුවට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මැසකඩ්සාට උඩපන්දුවක්දී ලකුණු දෙකකට දැවී ගියේ මුළු ලකුණු තුනේදීය.

 කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා දෙවන කඩුල්ලට පන්දු 23කදී ලකුණු 29ක් රැස් කළ අවස්ථාවේ ලකුණු 17ක් ලබා සිටි කුසල් ජනිත්, මැසකඩ්සාගේ පන්දුවකට බර්ල්ට උඩපන්දුවක්දී දැවී ගියේය. කුසල් ජනිත් ලකුණු 17ක් ලබා ගත්තේ පන්දු 13කදී හතරේ පහර තුනක් ද සමඟය.

 අනෙක් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ද මෙදින රැස් කළේ ලකුණු 17කි. මුළු ලකුණු 38දී මුසරබානිගේ පන්දුවකට කුසල් මෙන්ඩිස් මැසකඩ්සාට උඩපන්දුවක් දී තෙවන කඩුල්ල ලෙස දැවී යද්දී පන්දු 15කට මුහුණදී හතරේ පහර දෙකක් ද එල්ල කර තිබිණි.

  ලංක කණ්ඩායමේ තවත් ප්‍රබල පිතිකරුවකු වන සධීර සමරවික්‍රම ද මෙදින ලකුණු නවයක් පමණක් ලබා සිව්වන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 51දීය.

 චරිත් අසලංක සහ ඇන්ජලෝ මැතිව්ස් පස්වන කඩුල්ල සඳහා එක් කළ ලකුණු සංඛ්‍යාව 32කි. ඒ සඳහා ඔවුන් පන්දු 39කට මුහුණ පෑහ. මුළු ලකුණු 83දී සිකන්දර් රාසාගේ පන්දුවකට මැසකඩ්සාට උඩපන්දුවක් දීමෙන් චරිත් අසලංක ලකුණු 16කට දැවී ගියේය. අසලංක පන්දු 22කට මුහුණදී හතරේ පහරක් ද එල්ල කළේය. නායක වනිඳු හසරංග පන්දු දෙකකට පමණක් මුහුණදී සිටියදී රාසාගේ එම ඕවරයේ අවසාන පන්දුව කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ලකුණු නොලබාම හයවන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 83දිය. (පන්දුවාර 14යි)

 ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සඳහා‍ ඇන්ජලෝ මැතිව්ස් සහ දසුන් ශානක හත්වන කඩුල්ලට පන්දුවට පහරදුන්නේ මේ අවස්ථාවේ සිටය.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකාව තීරණය කළේ මුලින් පන්දු රැකීමටය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ටිනාෂි කමුන්හුකම්වෙ (26)  සහ ක්‍රෙග් අර්වින් (10) ප්‍රථම කඩුල්ලට ලකුණු 37ක් රැස් කළේ පන්දු 31කදීය.

 මහීෂ් තීක්ෂණගේ දෙවන පන්දු ඕවරයේ (තරගයේ හය වන ඕවරය) ප්‍රථම පන්දුවට ටිනාෂි හුකම්වෙ, දුෂ්මන්ත චමීරට උඩපන්දුවක් දී ලකුණු 26කටත් (පන්දු 18යි හයේ පහරයි හතරේ දෙකයි) අවසාන පන්දුවට ක්‍රෙග් අර්වින් කඩුල්ල මුවා කිරීමේ වරදට ලකුණු දහයකටත් (පන්දු 16යි හතරේ දෙකයි) දැවී ගියහ. මේ කඩුලු දෙක බිඳ වැටුණේ මුළු ලකුණු 37දී සහ 38දී ය.

 සිම්බාබ්වේ තෙවන කඩුල්ල ලකුණු 83දී බිඳ වැටුණේ අංක තුන පිතිකරු ෂෝන් විලියම්ස් නායක වනිඳු හසරංගගේ පන්දුවකට එල්ල කළ පහරක් සධීර සමරවික්‍රම දක්ෂ ලෙස උඩපන්දුවක් ලෙස රැක ගැනීමෙන් ලකුණු 14කට (පන්දු 20යි) දැවී යාමෙනි.

 වනිඳු හසරංග මේ තරගයේ සිය දෙවන කඩුල්ල ලෙස මුළු ලකුණු 103දී පන්දුව කෙළින්ම කඩුල්ල වෙත යවා රයන් බර්ල් ලකුණු පහකට දවාලීමට සමත් විය.

 සිම්බාබ්වේ නායක සිකන්දර් රාසා අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිස නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළේ පන්දු 42කට මුහුණදී හතරේ පහක් සහ හයේ පහර දෙකක් සමඟ ලකුණු 62ක් රැස් කරමිනි. මෙය 37 හැවිරිදි රාසාගේ 13 වන අර්ධ ශතකයයි.  මොහු දුෂ්මන්ත චමීරගේ පන්දුවකට දසුන් ශානක උඩපන්දුවක් රැක ගැනීමෙන් මුළු ලකුණු 129දී දැවී ගියේ පස්වන කඩුල්ල ලෙසිනි.

 සිම්බාබ්වේ ඉනිම නිම වන විට බ්‍රයන් බෙනට් නොදැවී ලකුණු දහයක් ද (පන්දු අටයි හතරේ පහරයි) ලුයික් ජොන්ග්වෙ නොදැවී ලකුණු 13ක් ද (පන්දු අටයි හතරේ දෙකයි) ලබා සිටියහ.

පන්දු ඕවරයකට ඔවුන්ගේ ලකුණු රැස් කිරීමේ සාමාන්‍ය වේගය 7.15කි. 

 පන්දුවාර පහකදී ලකුණු 37ක් ද දහයකදී ලකුණු 62ක් ද (කඩුලු දෙකයි) පහළොවකදී ලකුණු 94ක් ද (කඩුලු තුනයි) විස්සකදී ලකුණු 143ක් ද (පන්දුවාර 20යි) සිම්බාබ්වේ කණ්ඩායම රැස් කළහ. ඔවුන් ලකුණු 100 ලැබුවේ පන්දුවාර 15.1කදී ය.

 සිම්බාබ්වේ පන්දුවාර 20කදී කඩුලු 5ට 143

 සිකන්දර් රාසා 62, ටිනාෂි කමුන්හුකම්වෙ 26, ෂොන් විලියම්ස් 14, ලුයික් ජොන්ග්වෙ නොදැවී 13, බ්‍රයන් බෙනට් නොදැවී 10, මහීෂ් තීක්ෂණ 16ට 2, වනිඳු හසරංග 19ට 2 දුෂ්මන්ත චමීර 38/1 යි)

 ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 7ට 144

 (ඇන්ජලෝ මැතිව්ස් 46, දසුන් ශානක නොදැවී 26, කුසල් මෙන්ඩිස් 17, කුසල් ජනිත් පෙරේරා 17, චරිත් අසලංක 16, සිකන්දර් රාසා 38/3, බ්ලෙසින් මුසරබානි 33/2, වෙලිංටන් මැසකඩ්සා 21/1)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]
  • ශ්‍රී ලංකා කාන්තාවෝ පාකිස්තානය හමුවේ පරාජය වෙති
    කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝම්බර් 03 වැනිදා පැවැති තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානු කාන්තා පිල හමුවේ අනපේක්ෂිත පරාජයක් අත් වින්දේය. ලකුණු 31 ක […]
  • NSL අවසන් ගැටුම කොළඹ සහ ජැෆ්නා අතර
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට කොළඹ පිල හා ජැෆ්නා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්හ. අද අවසන්වූ මූලික වටයේ තීරණාත්මක ජැෆ්නා […]
  • ලොවටම දිග හැරෙන කාන්තා ලෝක කුසලාන අසිරිය
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ඔක්තෝම්බර් මස 03 වැනිදා ආරම්භ කිරීමට සියල්ල සුදානමින් පවතී. කණ්ඩායම් දහයක් අතර උණුසුම් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee