slc
logo
Home   |    News
ජනවාරි 14, 2024
ශ්‍රී ලංකා විස්සයි 20 නව නායකයා මාධ්‍ය අමතයි

Sri Lanka Cricket

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරග තුනකින් සමන්විත විස්සයි 20 තරගාවලිය හෙට (14) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට සුදානම් වේ. මේ වෙනුවෙන් ශ්‍රී ලංකා විස්සයි 20 පිලේ නව නායක වනිඳු හසරංග ඊයේ (13) ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී මාධ්‍ය හමුවකට සහභාගී විය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට වනිඳු හසරංග පිළිතුරු දුන්නේ මෙසේය.

මාධ්‍යවේදියා: 

වනිදු මේ ඔබ නායකත්වය දරණ පළමු තරගාවලියයි. මේ අභියෝගයට කොහොමද සූදානම. කණ්ඩායම මොන ආකාරයේ වෙයිද?

 

වනිඳු හසරංග:  

ඔව් මගේ පළමු නායකත්වය දෙන තරගාවලිය. අපි හොද සූදානමකින් ඉන්නවා. එක්දින තරගාවලිය හොදින් නිමා කරලා එයින් ජයගෙන හොද මානසිකත්වයක ඉන්නවා. ඒ නිසා විස්සයි 20 තරගාවලිය හොදින් කරන්න හැකියා.

 

මාධ්‍යවේදියා: 

තවත් මාස 5කින් විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය එනවා. එයට කලින් තියෙන විස්සයි 20 තරග ප්‍රමාණවත් කියලා හිතනවද?

 

වනිඳු හසරංග: 

අපට තව මාස 5කින් තියෙන ලෝක කුසලානය වෙනුවෙන් ඉලක්ක කර ඉන්නවා. නායකයෙකු ලෙස මගේ බලාපොරොත්තුව අපේ පන්දු රැකීමේ අංශය දියුණු කර ගැනිමයි. පන්දු රැකීමෙන් තමයි තරගයක ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඊට පස්සේ තමයි පිතිකරණය හා පන්දු යැවීම පිළිබඳ සැලසුම් හැදිය යුත්තේ. ලෝක කුසලානයට පෙර අපට තරගාවලි 3ක් තියෙනවා. සිම්බාබ්වේ, ඇෆ්ගනිස්තානය හා බංග්ලාදේශ සමඟ විස්සයි 20 තරග තියෙනවා. එයට අමතර තවත් තරගාවලියක් සූදානම් වෙයි. ඒ තරග හොදින් ක්‍රීඩා කරලා විශ්වාසය ගොඩ නඟා ගැනීම තමයි අපේ අපේක්ෂාව. 

 

මාධ්‍යවේදියා : 

නිමාවට පත්වූ ලෝක කුසලාන තරගාවලියේදී අපේ පන්දු රැකීම දුර්වල තත්ත්වයක තිබුණා. උඩ පන්දු 16ක් අත්හැරීම පිළීබඳ බොහෝ අය කතා කරනවා. ඔබේ නායකත්වය යටතේ පන්දු රැකීමට කොයිතරම් ප්‍රමුඛත්වයක් ලැබෙයිද?

 

වනිඳු හසරංග: 

මුලින්ම කියන්න කැමැතියි මගේ නායකත්වය යටතේ ක්‍රීඩකයෙක් කණ්ඩායමට එද්දී මුල් තැන දෙන්නේ පන්දු රැකීම සාර්ථක නම් පමණයි. මොකද ක්‍රීඩකයෙකුගේ පන්දු රැකීම හොද නැත්නම් තරගයක් ජය ගන්න අමාරුයි. පහුගිය කාලේ පසුබෑම් තිබුණත් සිම්බාබ්වේ එක්දින තරගාවලියේදී පන්දු රැකීම හොද තත්ත්වයක තිබුණා. නායකයෙකු ලෙස පන්දු රැකීමේ අංශය ප්‍රතිශතයක් ලෙස ඉදිරියට ගන්න බලනවා. ඒ වෙනුවෙන් මා ප්‍රමුඛත්වය දෙනවා.

 

මාධ්‍යවේදියා: 

නායකත්වය ලැබූ පසු කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින්ගේ සහයෝගය කොහොමද?

 

වනිඳු හසරංග: 

ඇත්තටම මේ තරගාවලියේදීත් අපට ඉන්නේ හොද සමබර කණ්ඩායමක්. පළපුරුදු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඇවිත් ඉන්නවා. ඒ වගේම අලුත් අය ඉන්නවා. ඒ අයට අත්දැකීම් ගන්න පුලුවන්. ඒක හොද දෙයක් නවකයින්ට අත්දැකීම් ලැබෙන එක. ඉදිරි අවුරුදු තුන හතරේ අපේ ක්‍රිකට් ඉදිරියට යන්න නම් නවකයින්ට අත්දැකීම් අවශ්‍යයි.   

 

මාධ්‍යවේදියා: 

ඔබේ පිතිකරණය හා පන්දු යැවීමේ දක්ෂතා එක්ක ශ්‍රී ලංකාවේ විස්සයි 20 ක්‍රිකට් නව පරිච්ඡේදයකට ගෙන යන්න පුලුවන් වෙයිද?

 

වනිඳු හසරංග: 

මා නායකයා කියලා ලොකුවට දෙයක් ඔලුවට දාගන්න කැමැති නෑ. ක්‍රීඩකයෙක් විදිහට විස්සයි 20 තරගවලදී හොදින් දක්ෂතා දක්වා තිබෙනවා. නායකයෙක් විදිහට මා දකින්නේ මම ටීම් එක වෙනුවෙන් කරන දේ අනිත් අයගෙන් ගන්නේ කොහොමද කියන එක විතරයි. පීඩනයක් අරන් නායකත්වය කරන්න අවශ්‍ය නෑ. නායකයෙක් වුනත් නැතත් මගේ කාර්ය කරනවා. නායකයෙක් විදිහට මා බලාපොරොත්තු වෙනවා මගේ හා අනෙක් අයගේ දක්ෂතා වර්ධනය කරගෙන ක්‍රීඩා කරන්න.

 

මාධ්‍යවේදියා: 

තරග තුනම දිනන්න මොනවාද ඇති සැලසුම? 

 

වනිඳු හසරංග: 

විස්සයි 20 තරග දිනන්න නම් පන්දු රැකීම දියුණු මට්ටමක තියෙන්න අවශ්‍යයි. එයට අමතරව මා බලාපොරොත්තු වෙනවා අත්දැකීම් බහුල ක්‍රීඩකයින්ගේ සහයෝගය අරගෙන තරගයෙන් තරගය ඉදිරියට යන්න. විස්සයි 20 ලෝක කුසලානයට පෙර තවත් තරග 9යි තියෙන්නේ. ඒ සියල්ල සාර්ථක කරගන්න සැලසුම් කරනවා.

 

මාධ්‍යවේදියා: 

හෙට තරගයේ කණ්ඩායමේ සංයුතිය කොහොම වෙයිද?

 

වනිඳු හසරංග: 

තවම අපි ටීම් එක කොහොමද කියලා බලලා නෑ. මොකද පැතුම් නිශ්ශංක අද ඉදලා තමයි පුහුණුවීම් ආරම්භ කරන්නේ. ඒ වගේ තැන් දෙක තුනක් තියනවා අපිට බලන්න. ඒ නිසා ප්‍රැක්ටිස් එකෙන් පස්සේ තමයි තීරණය කරන්නේ.  

 

මාධ්‍යවේදියා: 

ඔබ විස්සයි 20 තරග රටාවේදී පන්දු යැවීමේදි යම් කිසි ඉලක්කයක් ගැන හිතනවද? 

 

වනිඳු හසරංග: 

ඔව් විස්සයි 20 තරගවල විකට් 100ක් ගන්න මට අඩු තවත් විකට් 9ක් පමණයි. ඒක මූලිකම ඉලක්කය. ඊට අමතරව තරග ජය ගන්න එක ඉලක්කය.  

 

මාධ්‍යවේදියා: 

විස්සයි 20 ලෝක කුසලානය තියෙන්නේ ඇමෙරිකාවේ. එහේ තණතිලි හා ආසියාවේ තණතිලි අතර මොනවගේ වෙනසක් තියෙයිද? තණතිලි සම්බන්ධව මොන වගේ අත්දැකීමක් තියේවිද?

 

වනිඳු හසරංග: 

මම ඇමෙරිකාවේ ක්‍රීඩා කරලා නෑ. නමුත් ගිය වසරේ එහේ තිබුණ විස්සයි 20 තරගාවලිය මම දැක්කා. කැරබියන්වල නම් අපි ක්‍රීඩා කරලා තියෙනවා. අපට තවත් ලොකු දෙයක් තමයි එහේ විකට් ගොඩක් අපට සමානයි. වැඩි තරග ප්‍රමාණයක් මෙහේ ක්‍රීඩා කිරීමෙන් ලැබෙන අත්දැකීම් එක්ක ලෝක කුසලානයට යනවා.  

 

මාධ්‍යවේදියා: 

පසුගිය එල්පීඑල් තරගාවලියේ නායකත්වය දරද්දී ඔබ ‍තරමක් ප්‍රවේගකාරී ලෙස ක්‍රීඩා කළා. මේ රටාවමද ඉදිරියේදීත් අනුගමණය කරන්නේ?

 

වනිඳු හසරංග: 

අපේ විස්සයි 20 තරග රටාව බැලුවාම පසුගිය කාලයේ හොදින් ක්‍රීඩා කරලා තියෙනවා. විස්සයි 20 ආසියානු කුසලානයත් දින්නා. මා නායකයෙක් ලෙස හැම වේලාවේම ‘පොසිටිව්‘ ක්‍රිකට් ගැන හිතන්නේ. ඒ රටාවේ කිසිඳු වෙනසක් නෑ. මා බලාපොරොත්තු වෙන්නේ කන්ඩායමක් ලෙස ‘පොසිටිව්‘ ලෙස යන්නයි. 

 

මාධ්‍යවේදියා: 

පන්දු යැවීම ඔබේ සාර්ථක ප්‍රබලම අංශයක්. පිතිකරණය පිළිබඳ මොනවගේ තත්ත්වයක්ද අපට දකින්න වෙන්නෙ? 

 

වනිඳු හසරංග: 

මම සෑම අංශයකින්ම දස්කම් දක්වන ‘ඕල්රවුන්ඩර්‘ කෙනෙක් ලෙස ඒ අංශ කිහිපයම සමබරව කළ යුතුයි. නැත්නම් මගේ නම ඉදිරියේ ‘ඕල්රවුන්ඩර්‘ කෙනෙක් කියලා නම වැටෙන්නේ නෑ. එල්පීඑල් තරගවල මා පිත්තෙන් දස්කම් දැක්වූවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරි තරගවලත් ඒ වගේම කරන්න.  

 

මාධ්‍යවේදියා: 

එල්පීඑල්වලදී ඔබ තරමක් ඉදිරියෙන් ඇවිත් පන්දුවට පහර දුන්නා. ඒ වගේ තත්ත්වයක් මේ තරගාවලියේ දකින්න පුලුවන්ද?

 

වනිඳු හසරංග: 

එල්පීඑල් කියන්නේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් එකක්. ඒ වේලවේ කණ්ඩායමේ සංයුතිය සමබරව පවත්වාගෙන යන්න තමයි එහෙම කළේ. ඒක මට ඕනෑම වේලාවක කරන්න පුල්වන්. ජාත්‍යන්තර තරගවලදීත් ඒක කරන්න පුළුවන්. තාම ඒ ගැන තීරණයක් නෑ. මොකද අපට සමබර කණ්ඩායමක් ඉන්නවා. නමුත් කණ්ඩායමට අවශ්‍ය නම් ඉදිරියෙන් ඇවිත් හරි ලකුණු ලබා දෙන්න මට පුළුවන්.  

 

Active filters

Recent Posts

  • වසරක් ඇතුළත ඒස් කැපිටල් දෙවැනි ශූරතාවත් දිනයි
    අංක 10 පිතිකරු දනාල් හේමානන්ද (70) සමග එකතු වූ සසංක නිර්මාල් නොදැවී ලකුණු 106 ක් ද සමඟ නව වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද ලකුණු 166 ක සම්බන්ධතාව හේතු […]
  • පළමු වතාවට ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මාසයේ ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි
    අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබීම කැපී පෙනෙයි. තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් […]
  • සනත් ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයට
    මෙතෙක් දිනක් ශ්‍රී ලංකා කණ්ඩායමේ අන්තර්වාර පුහුණුකරු ලෙසින් කටයුතු කළ සනත් ජයසූරියව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • පළමු වතාවට NSL එක්දින ශූරතාව කොළඹට
    CHAMILA KARAWITA REPORTING FROM DAMBULLA ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතු කොළඹ […]
  • චරිත්ගෙන් වාර්තාගත ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ජනාධිපති කුසලාන නැෂනල් සුපර් ලීග් එක්දින ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ද්විත්ව ශතකයක් වාර්තා කරන ලද  පළමු පිතිකරුවා බවට පත්වීමට කලම්බු නායක චරිත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee