ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන විස්සයි 20 තරගයෙන් ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් කරා ගොස් විස්සයි 20 තරගාවලිය ජය ගැනීමට තිබු අනගි අවස්ථාව අද මඟ හැරී ගියේ සිම්බාබ්වේ අවසාන ඕවරයේදී ඔවුන් අනපේක්ෂිත අයුරින් ජයග්‍රහණයට අවශ්‍ය වූ ලකුණු විස්ස රැස් කිරීමෙනි.
ශ්‍රී ලංකාව මේ තරගයේදී රැස් කළ ලකුණු 173 හඹායාමේදී සිම්බාබ්වේ කණ්ඩායම 19 වන ඕවරය අවසාන වන විට ලකුණු 154ක් ලබා සිටි අතර අවසාන පන්දු ඕවරයේ හත්වන කඩුල්ලේ ඔවුන්ගේ පිතිකරුවන් වුයේ ලුක් ජොන්ග්වේ සහ ක්ලයිව් මැඩැන්ඩේය.
අවසාන පන්දු ඕවරය ලංකා කණ්ඩායම වෙනුවෙන් යවන ලද්දේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්ය. ප්‍රථම පන්දුව නෝබෝල් (නීති විරෝධි) පන්දුවක් වූ අතර ඊට ජොන්ග්වේ හයේ පහරක් එල්ල කළේය. නෝබෝල් පන්දුවක් වූ හෙයින් සිම්බාබ්වේ පිලට තවත් පන්දු හයක් ඉතිරි විය. දෙවන පන්දුවට සහ තෙවන පන්දුවට හතරේ පහරක් සහ හයේ පහරක් ජොන්ග්වේ එල්ල කරමින් ජයග්‍රහණය සඳහා තවත් ආසන්න විය. ඊළඟ පන්දුවට ඔහු එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස ඉහළ ගියත් එය මහීෂ් තීක්ෂණ අතින් ගිළිහී ගියේ ලංකා කණ්ඩායම ජයග්‍රහණ බලාපොරොත්තු ද සුන්කරමිනි
සිව්වන පන්දුවට පිතිකරුවන් දෙදෙනා ලකුණක් ලබා පැති හුවමාරු කරගත් අතර ජයග්‍රහණය සඳහා පස්වන පන්දුවට අවශ්‍ය ලකුණු දෙක මැඩැන්ඩේ හයේ පහරකින් නිම කළේය.
ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙවනුවට පන්දුවට පහර දුන් කණ්ඩායමක් වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹා ගිය හත්වන අවස්ථාව මෙය වේ. තරගයේ වීරයා ලෙස තේරුණු ලුක් ජොන්ග්වේ නොදැවී ලකුණු 25ක් රැස් කළේ පන්දු 12කට මුහුණුදී හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් එල්ල කරමිනි.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් මෙදින වැඩිම ලකුණු රැස් කළේ ක්‍රෙග් අර්වින් (ලකුණු 70යි පන්දු 54යි හතරේ හයයි හයේ දෙකයි) සහ බ්‍රයන් බෙනට්ය (ලකුණු 25යි පන්දු 20යි හතරේ දෙකයි).
චරිත් මෙදින පන්දු 39කදී හතරේ පහක් හයේ තුනක් සමඟ ලකුණු 69ක් ද මැතිව්ස් පන්දු 51කදී හතරේ හයක් හයේ දෙකක් සමඟ නොදැවී ලකුණු 66ක් ද රැස් කළහ. මෙය මැතිව්ස්ගේ 7වන සහ චරිත්ගේ හයවන විස්සයි 20 අර්ධ ශතකයන් වේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාත්‍යන්තර වාර්තාගත සබඳතාව ආරම්භ වුයේ ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙද්දී පන්දුවාර 4.4කදී ලකුණු 27කට කඩුලු හතරක් දැවී අසීරුම තත්ත්වයක සිටියදීය.
පස්වන කඩුල්ලට මිනිත්තු 53කදී පන්දු 79කට මුහුණදී චරිත් අසලංක සහ ඇන්ජලෝ මැතිව්ස් එක් කළ ලකුණු 118 මත තරග ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වූ අතර ප්‍රේක්ෂකයන් තුළින් ද දක්නට ලැබුණේ අමුතුම පිබිදීමකි.
මැතිව්ස් සහ අසලංක පන්දු 31කදී ලකුණු 51ක සබඳතාවය ද ලකුණු 103ක සබඳතාවය පන්දු 74කදී (මැතිව්ස් නොදැවී 40 අසලංක නොදැවී 61යි) රැස් කෙරුණු වේගවත් පිතිහරඹයකිනි.
අසලංක සිය අර්ධ ශතකය පන්දු 31කදී හතරේ අටක් සහ හයේ පහර දෙකක් සමඟත් මැතිව්ස් සිය අර්ධ ශතකය පන්දු 45කදී හතරේ හතරක් සහ හයේ දෙකක් සමඟත් වාර්තා විණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 50 පන්දුවාර 8.5කදී ද ලකුණු 100 පන්දුවාර 14.5කදී ද ලකුණු 150 පන්දුවාර 18.1කදී ද සඳහන් වුයේ ක්‍රමයෙන් ලකුණු රැස් කිරීමේ වේගය ද වැඩි වෙමිනි.
ලංකා කණ්ඩායම අවසාන ලකුණු 73 රැස් කළේ පන්දු 35ක් තුළදීය.
118ක් පැවැති මැතිව්ස්ගේ සහ අසලංකගේ සබඳතාව බිඳ වැටුණේ චරිත් අසලංක මුළු ලකුණු 145දී ජොන්වෙ එවු පන්දුවකට ෂෝන් විලියම්ස්ට උඩපන්දුවක් දීමෙන් ලකුණු 69කට දැවී යාමෙනි. අසලංක පන්දු 39කදී හතරේ පහක් සහ හයේ පහර තුනක් ද එල්ල කළේය.
මැතිව්ස් නොදැවී ලකුණු 66ක් ලබා සිටියේ හතරේ පහර හයක් සහ හයේ දෙකක් සමඟය. අසලංක දැවී යාමෙන් මැතිව්ස්ට එක් වූ දසුන් ශානක (09) හයවන කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 15කි.
සිම්බාබ්වේ කාසියේ වාසිය දිනා තීරණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින් පන්දුවට පහරදීමට සැළසීමය. රිචඩ් එන්ගාරා එවු තරගයේ ප්‍රථම ඕවරයේ සිව්වන පන්දුවට පැතුම් නිශ්ශංක ලකුණක් ලබා පැති හුවමාරු කර ගත් අතර එම ඕවරයේ ශ්‍රී ලංකාව ලබා ගත්තේ එම ලකුණ පමණි.
බ්ලෙසින් මුසර බානි යැවු තරගයේ දෙවන ඕවරයේ තෙවන පන්දුවට නිශ්ශංක තර්ඩ් මෑන් ස්ථානයේ පන්දු රකිමින් සිටි ජොන්ග්වෙට උඩපන්දුවක් දී දැවී ගියේ මුළු ලකුණු එකක්වම තිබියදී ප්‍රථම කඩුල්ල ලෙසිනි. මුසර බානි ඊළඟ පන්දුවට මුහුණ දුන් අංක තුන පිතිකරු කුසල් ජනිත් පෙරේරා පොයින්ට් දෙසට එල්ල කළ පහර බර්ල් විසින් රැක ගැනීමෙන් දැවී ගියේ ලකුණු නොලබාමය. (මුළු ලකුණු සංඛ්‍යාව ලකුණයි කඩුලු දෙකයි)
තරගයේ සිව්වන ඕවරය එවන ලද්දේ ලුක් ජොන්ග්වේය. අංක හතර පිතිකරු සධීර සමරවික්‍රම එහි ප්‍රථම සහ දෙවන පන්දුවලට හතරේ පහර දෙකක් එල්ල කළේ දර්ශනීය පහර දෙකකිනි. ඊළඟ පන්දුවට ඔහු කුසල් මෙන්ඩිස් සමඟ ලකුණකට පැති හුවමාරු කරගනු ලැබීය. සිව්වන පන්දුවට කුසල් මෙන්ඩිස්, බර්ල් අතට උඩපන්දුවක් දීමෙන් ලකුණු හතරකට දැවී ගියේ මුළු ලකුණු 20දී තෙවන කඩුල්ල ලෙසිනි.
මේ වන විට හොඳින් පන්දුවට පහර දෙමින් සිටි සධීර සමරවික්‍රම මුළු ලකුණු 27දී සිව්වන කඩුල්ල ලෙස මසකඩ්සාගේ පන්දුවකට මැඩෙන්ඩෙට උඩපන්දුවක් දී ලකුණු 16කට දැවී ගියේ පන්දු 12කදී හතරේ පහර දෙකක් ද ලබා සිටියදීය.
ලංකා කණ්ඩායමේ ගැලවුම්කාර පස්වන කඩුල්ලේ සබඳතාව ආරම්භ වුයේ මෙතැන් සිටය.
ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 6ට 173යි (මිනිත්තු 93යි)
චරිත් අසලංක 69, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 66, සධීර සමරවික්‍රම 16, දසුන් ශානක 09, බ්ලෙසින් මුසර බානි 36/2, ලුක් ජොන්වෙ 32/2
සිම්බාබ්වේ පන්දුවාර 19.5කදී කඩුලු 6ට 178යි
ක්‍රෙග් අර්වින් 70, බ්‍රයන් බෙනට් 25, ලුක් ජොන්ග්වේ නොදැවී 25, මහීෂ් තීක්ෂණ 25/2, දුෂ්මන්ත චමීර 30/2, දිල්ෂාන් මධුශංක 24/1
බන්දුල මොල්ලිගොඩ