slc
logo
Home   |    News
පෙබරවාරි 22, 2024
ඇෆ්ගනිස්තානයට සැනසිලි දායක තියුණු ජයක්

Sri Lanka Cricket

තරග ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම දෝලනය වෙමින් පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තානය තෙවන සහ අවසාන විස්සයි 20 තරගයේ අවසාන ඕවරයේදී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 19ක් අවශ්‍ය තිබුණත් උණුසුම් මුහුණුවරකින් පසුව තරගය නිමාවට පත්වූයේ ඇෆ්ගනිස්තානට ලකුණු තුනක සැනසිලිදායක ජයක් අත්වෙමිනි.

 ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයේ එකම ටෙස්ට් තරගයත් එක්දින තරග තුනත් ප්‍රථම සහ දෙවන විස්සයි 20 තරග දෙකත් ජයගෙන තරගාවලි තුනම ශ්‍රී ලංකාව පහසුවෙන් ඉදිරියෙන්ම සිටි හෙයින් ඇෆ්ගනිස්තානයට අවසාන විස්සයි 20 තරගයේදී හිමි වූයේ ඔවුනගේ සිය රට බලා ආපසු යාම සඳහා සැනසිලි දායක ජයකි.

 කණ්ඩායම් දෙකම ඕවර 19.2ක් නිම වන විට ලකුණු 195 බැගින් ලබා සිටියත් ඇෆ්ගනිස්තාන අවසාන පිතිකරුවන් දෙදෙනා මොහමඩ් නබී සහ මොහමඩ් ඉෂාක් අවසාන පන්දු දෙකට හයේ පහරක් සහ හතරේ පහරක් සමඟ ලකුණු දහයක් සමඟ රැස් කළ ලකුණු 14න් ඔවුනට ලකුණු 209ක් කරායාමට අවස්ථාව සැළසිණි. ශ්‍රී ලංකාවට අවසාන ඕවරයේ ජයග්‍රහණය සඳහා ලකුණු 19ක් අවශ්‍ය වූ අතර ප්‍රථම සහ තුන්වන පන්දුවලට හතරේ පහර දෙකක් කමිඳු මෙන්ඩිස් එල්ල කළත් දෙවන සහ සිව්වන පන්දුවලට ලකුණු නොලැබීම ජයග්‍රහණය වැළකී යාමට ප්‍රධානම සාධකය විය. අවසාන පන්දු දෙකේදී ලකුණු දහයක් අවශ්‍ය වුවත් නීති විරෝධි පන්දුවකින් ලකුණක් සහ අවසාන පන්දුවේදී හයේ පහරකින් ඕවරය පුරාම ලකුණු 16ක් පමණක් ලැබීමෙන් ලංකා කණ්ඩායමට ලකුණු තුනක පරාජයක් අත්විණි. එම පන්දුවාරය වෆඩා මොහමඩ් විසින් යවන ලද අතර පන්දුවට මුහුණ දුන්නේ කමිඳු මෙන්ඩිස්ය. කෙසේ වුව ද අංක පහ පිතිකරු කමිඳු මෙන්ඩිස්ට ලැබුණු මේ අවස්ථාවෙන් තම ඉනිම පුරා පන්දු 39කට පමණක් මුහුණ දී හතරේ හතක් සහ හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 65ක් රැස් කරමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ගෙන ගිය සටන විශිෂ්ටය.

 ඇෆ්ගනිස්තානයේ අසමතුල්ලා ඕමාර්සායි 19 වන ඕවරය ක්‍රියාත්මක වන විට (පන්දුවාර 18.2දී) ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා පන්දු දහයකදී ලකුණු 34ක් අවශ්‍ය විය. පන්දුවට පහර දෙමින් සිටියේ හිටපු නායක දසුන් ශානක සහ කමිඳු මෙන්ඩිස්ය. දසුන් ශානක නැවත තම සුපුරුදු වේග පහර අතරට පිවිසුණේ එහි ප්‍රථම පන්දුවට (ඕවරයේ තෙවන පන්දුවට) හයේ පහරක් සහ දෙවන පන්දුවට හතරක් එල්ල කරමිනි. තෙවන පන්දුවට එල්ල කළ පහරට ලකුණු දෙකක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ශානක දුවද්දී දැවීමට හසුව දැවී ගියේ ලකුණු 13කටය. (පන්දු 8යි හතරේ පහරයි හයේ පහරයි) එම ඕවරයේ අවසාන පන්දුවට නව පිතිකරු අකිල ධනංජය හතරේ පහරක් එල්ල කළේය. ඉන්පසු අවසාන ඕවරයට ලකුණු 19ක් ලංකා කණ්ඩායමට අවශ්‍ය වුවත් කමිඳු මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 16කි.

 ඇෆ්ගනිස්තානය පන්දුවාර 20 අවසානයේ කඩුලු පහකට රැස් කළ ලකුණු 209ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු හයක් දැවී රැස් කළේ ලකුණු 206කි. තෙවන තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලකුණු 70ක් රැස් කළ ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු රහ්මනුල්ලා ගුර්බාස් ද තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසත් තේරිණි.

 ශ්‍රී ලංකාවට මේ තරගයෙන් ජයක් ලබා ගැනීමට තිබු අවස්ථාවක් මග හැරී ගියේ තරගාවලියන් පුරාම ලකුණු අතර සිටි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට ශ්‍රී ලංකාව කඩුලු දෙකකට ලකුණු 83ක් ලබා සිටියදී පාදයේ මස්පිඬු ආබාධයකින් තම ඉනිම නතර කර ක්‍රීඩාගාරයට යාමට සිදු වීමෙනි. ඒ වන විට පැතුම් පන්දු තිහකට පමණක් මුහුණ දී හතරේ පහර අටක් හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 60ක් රැස් කරමින් ශතකයක් කරා යන අතරතුරම ශ්‍රී ලංකාවට ද ජය මාවත විවෘත කරන තත්ත්වයක පසුවිය.

 ලංකා ප්‍රථම කඩුල්ලට පැතුම් නිශ්ශංංක සහ කුසල් මෙන්ඩිස් (16) ලකුණු 64ක් රැස් කළේ පන්දුවාර 5.5ක් තුළදීය. අංක තුන පිතිකරු කුසල් ජනිත් පෙරේරා (00) සහ නායක වනිඳු හසරංග කළින් පන්දුවට පහරදීමට පැමිණ ලකුණු 13කටත් දැවී යාමෙන් පසු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමේ වගකීම පැවරී තිබුණේ කමිඳු මෙන්ඩිස්ටය.

 සධීර සමරවික්‍රම සුපුරුදු පරිදි ලකුණු අතරට පැමිණ ලකුණු 23ක් (පන්දු 12යි හතරේ 2යි හයේ පහරයි) ලබා සිව්වන කඩුල්ලට කමිඳු සමඟ ලකුණු 53ක සබඳතාවයක් තබා ගත්තත් සධීර දැවී යාමත් සමඟ (මුළු ලකුණු 146දී) කමිඳුට දසුන් ශානක සමඟ ලංකා ඉනිම ගොඩ නැඟීමට සිදු විණි.

 ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා මෙදින තීරණය කළේ මුලින් පන්දුවට පහර දීමටය. ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා රහ්මනුල්ලා ගුර්බාස් සහ හස්රතුල්ලා සඩ්රන් ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැළෙමින් තරගාවලියේ ප්‍රථම වරට ප්‍රථම කඩුල්ලට ඕවර (පන්දුවාර) 7.2කදී එක් කළ ලකුණු ප්‍රමාණය 88කි.

 ඇෆ්ගනිස්තානය වේගයෙන් ලකුණු රැස් කළේ පන්දුවාර පහේදී ලකුණු 61ක් ද (කිසිවකු නොදැවී) පන්දුවාර 10දී ලකුණු 113ක් ද (කඩුල්ලක් දැවී) පන්දුවාර 15දී ලකුණු 154ක් ද (කඩුලු තුනයි) පන්දුවාර 20දී ලකුණු 209ක් ද (කඩුලු 5යි) වශයෙනි.

 ඔවුන් ලකුණු 50 ඕවර හතරකදීත් ලකුණු 100 ඕවර 8.3කදීත් ලකුණු 150 ඕවර 14.4කදීත් ලකුණු 200 ඕවර 19.5කදීත් වාර්තා කළහ.

 ලංකා කණ්ඩායම දෙවන විස්සයි 20 තරගයට සහභාගි වූ ධනංජය ද සිල්වා, චරිත් අසලංක, මහීෂ් තීක්ෂණ සහ බිනුර ප්‍රනාන්දු වෙනුවට කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය සහ නුවන් තුෂාර අද (21) තෙවන තරගයට එක්කර තිබිණි. ඇෆ්ගනිස්තානය ද වෙනස්කම් හතරක් සිදු කරමින් කණ්ඩායමට අලුතින් එක්කර තිබුණේ කඩුලු රකින මොහමඩ් ඉෂාක්, ෆරුෆුඩින් අස්රෆ්, ෆරිඩ් අහ්මඩ් සහ වෆඩා මොහමඩ්ය.

  ඇෆ්ගනිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු පහකට ලබාගත් ලකුණු 209 ඕවරයකට සාමාන්‍ය ලකුණු සංඛ්‍යාව10.45කි. මුළු ලකුණු 88දී (ඕවර 7.2) ඔවුනගේ ප්‍රථම කඩුල්ල බිඳ වැටුණේ ආරම්භක පිතිකරු හස්රතුල්ලා සසායි ලකුණු 45ක් ලබා සිටියදී අකිල ධනංජයගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. සසායි පන්දු 22කට මුහුණ දී හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් ද එල්ල කර තිබිණි.

 දෙවන කඩුල්ලට රහ්මනුල්ලා ගුර්බාස් සහ නායක ඊබ්‍රහිම් සඩ්රන් පන්දු 33කදී ලකුණු 25ක් පමණක් එක් කරද්දී මුළු ලකුණු 113දී නැවත අකිල ධනංජයගේ පන්දුවකට ඊබ්‍රහිම් සඩ්රන් එල්ල කළ පහරක් වනිඳු හසරංග උඩපන්දුවක් ලෙස රැක ගැනීමෙන් ලකුණු දහයකට දැවී ගියේය. (පන්දු 9යි හතරේ පහරයි)

 හොඳින් පන්දුවට පහර එල්ල කරමින් සිටි රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 70ක් ලබා සිටියදී (පන්දු 43යි හතරේ හතයි හයේ පහරයි) වනිඳු හසරංගගේ පන්දුවකට සධීර සමරවික්‍රම උඩපන්දුවක් රැක ගැනීමෙන් මුළු ලකුණු 141දී දැවී ගියේ තෙවන කඩුල්ල ලෙසිනි.

 අංක හතර පිතිකරු අස්මතුල්ලා ඔමාර්සායි මෙදින ද ලකුණු අතරට පිවිසෙමින් පන්දු 23කදී හතරේ තුනක් සමඟ ලකුණු 31ක් රැස් කිරීමට සමත් විණි. මුළු ලකුණු 182දී ඔමාර්සායි සිව්වන කඩුල්ල ලෙස දැවී ගියේ මතීෂ පතිරණගේ පන්දුවකට කුසල් ජනිත් පෙරේරා උඩපන්දුවක් රැක ගැනීමෙනි.

 අවසාන පන්දු දහය තුළ ඇෆ්ගනිස්තානය තවත් ලකුණු 27ක් රැස් කළේ කඩුල්ලක් ද දැවීයාමෙනි. ලකුණු 182දී ඔවුනගේ පස්වන කඩුල්ල දැවී ගියේ මතීෂ පතිරණ එවු පන්දුවක් කඩුල්ලේ වැදී කරීම් ජනට් ලකුණු නොලබාම දැවී යාමෙනි. මොහමඩ් නබී සහ මොහමඩ් ඉසාක් ඉනිම නිව වන විට නොදැවී ලකුණු 16 බැගින් ලබා සිටියහ.

ලකුණු පුවරුව

ඇෆ්ගනිස්තානය පන්දුවාර 20කදී කඩුලු 5ට 209 – (රහ්මනුල්ලා ගුර්බාස් 70, හස්රතුල්ලා සසායි 45, අස්මිතුල්ලා ඔමාර්සායි 31, මොහමඩ් නබී නොදැවී 16, මොහමඩ් ඉෂාක් නොදැවී 16, මතීෂ පතිරණ 42/2, අකිල ධනංජය 37/2)

 ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 6ට 206 – (කමිඳු මෙන්ඩිස් නොදැවී 65, පැතුම් නිශ්ශංක ආබාධ මත ඉවත් වුවා 60, සධීර සමරවික්‍රම 23, කුසල් මෙන්ඩිස් 16, වනිඳු හසරංග 13, දසුන් ශානක 13, මොහමඩ් නබී 35/2, කයිස් අහ්මඩ් 17/1යි)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee