slc
logo
Home   |    News
පෙබරවාරි 5, 2024
තරගය තීරණාත්මක තත්ත්වයක

Sri Lanka Cricket

මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ප්‍රථම හා එකම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දින (03) නිම වන විට ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවුවත් තෙවන දිනය වූ අද (04) තරගය නිමාවට පත්වන විට ඇෆ්ගනිස්තානය ක්‍රමයෙන් නැවත තරගයට අවතීර්ණ වෙමින් සිටින හෙයින් මේ තරගය දැන් දෙපිලටම විවෘත තරගයක් බවට පත්වෙමින් පවතී.

ඇෆ්ගනිස්තානය ප්‍රථම ඉනිමේ රැස් කළ ලකුණු 198ට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකාව අද (04) උදෑසන 10.57ට සිය මුල් ඉනිම නිම කළේ ලකුණු 439ක් ලබා ප්‍රථම ඉනිමේදී ලකුණු 241ක් ඉදිරියෙන් පසුවෙමිනි.

තරගයෙන් ඉනිමක පරාජයෙන් බේරීමට ඇෆ්ගනිස්තානයට දෙවන ඉනිමේදී ලකුණු 242ක් අවශ්‍ය වූ අතර ඊට සාර්ථකව මුහුණ දුන් ඇෆ්ගනිස්තානය ඉදිරිපෙළ පිතිකරුවෝ අද තරගය නිම වන විට කඩුල්ලක් පමණක් දැවී ලකුණු 199ක් ලබා සිටියේ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 43ක් අවශ්‍යවය.

ඔවුන් සතුව තවත් කඩුලු නවයක් ඉතිරිව ඇති හෙයින් දැනට අවශ්‍ය ලකුණු 43 ලබා පසුව ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේ ළඟාවීමට අපහසු ලකුණු ප්‍රමාණයක් ද රැස් කළ යුතුව ඇත. මේ සඳහා ඔවුනට ප්‍රබල පිතිකරුවන් ලෙස ඉතිරිව සිටින්නේ මේ වන විට නොදැවී පන්දුවට පහරදෙන ඊබ්‍රහිම් සඩ්රන් (නොදැවී 101) රහ්මට් ෂා (නොදැවී 46යි) සහ නායක රහ්මතුල්ලා ෂහිඩි පමණකි.

තරගයේ සිව්වන දින (05) උදෑසන තවත් පන්දුවාර පහක් ගත වන විට ශ්‍රී ලංකාවට නව පන්දුව ලබා ගැනීමේ අවස්ථාව සැළසේ. මේ තරගයේ මෙතෙක් පැවැති දින තුනේදීම උදෑසන සිට දිවා ආහාරය තෙක් පැය දෙකක කාලය පන්දු යවන්නන්ට විශාල සහයක් දී කඩුලු බිඳ වැටී ඇත. විශේෂයෙන් මේ කරුණු දෙක මත ශ්‍රී ලංකා පන්දු යවන්නන් හා රකින්නන් සිව්වන දින උදයවරුවේ මෙයින් නියම ඵල ප්‍රයෝජන ගතහොත් තරගයේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යයෙන්ම හිමි වනු නිසැකය.

මෙහිදී පන්දු රැකීම ද වැදගත් වන්නේය. දැනට නොදැවී ලකුණු  රැස් කරමින් සිටින ඊබ්‍රහිම් සඩ්රන් ලකුණු 63දී ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට දුන් උඩපන්දුවක් ගිළීහියාමය.  පසුව ඊබ්‍රහිම් මේ වන විට නොදැවී ලකුණු 101ක් ලබා සිටින්නේ පන්දු 217කදී හතරේ පහර 11ක් ද සමඟිනි. කඩුල්ලේ රැඳී සිටින අනෙක් පිතිකරු රහ්මට් ෂා පන්දු 98කදී හතරේ පහක් සමඟ නොදැවී ලකුණු 46ක් ලබා සිටී.

ඇෆ්ගනිස්තානය ඉනිමක පරාජයෙන් බේරීමට අවශ්‍ය ලකුණු 45 ලැබීමෙන් පසුව ශ්‍රී ලංකාව ඔවුන්ව අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරගතහොත් මේ තරගය ශ්‍රී ලංකාවට ජය ගැනීමට අපහසු නොවන තරගයක් වනු නිසැකය.

තෙවන දින (04) තරගය අද ආරම්භ කිරීමෙන් පසුව ලංකා ඉනිමේ ඉතිරිව තිබු පිතිකරුවන් සිව්දෙනා දැවී ගියේ තවත් ලකුණු 29ක් පමණක් එක්වද්දීය. මැතිව්ස්ගේ සහ චන්දිමාල්ගේ සිව්වන කඩුල්ලේ සබඳතාවය ලකුණු 380දී නිමාවට පත්වීමත් සමඟ එතැන් සිට ලංකා කණ්ඩායමේ අවසාන පිතිකරුවන් හත්දෙනාම දැවී රැස්කර ගත්තේ ලකුණු 59කි.

මෙදින උදෑසන සිදු වූ අභාග්‍ය සම්පන්න සිදුවීමක් වූයේ දිනයේ පස්වන පන්දු ඕවරය යැවු වේගපන්දු යවන නවීඩ් සඩ්රන්ගේ (සඩ්රන්ගේ තෙවන ඕවරය) පස්වන පන්දුව තණතිල්ලේ කෙටි ඉහළ ගොස් ලකුණු 16ක් ලබා සිටි චාමික ගුණසේකරගේ හෙල්මටයේ (හිස් ආවරණයේ) වැදීමෙන් ඔහු ආබාධයකට ලක්ව පෞද්ගලික රෝහලකට ඇතුළු කිරීමට සිදුවීමය. පන්දුව වැදීමෙන් චාමිකගේ හිස් ආවරණය කැඩී ගොස් තිබිණි. මෙය සිදු වුයේ ශ්‍රී ලංකා ඉනිමේ 106.5 පන්දුවේදීය. සවස් වනතුරු චාමික වෛද්‍යවරුන්ගේ අවධානය යටතේ පසු විය.

උදෑසන තරගය නැවත ආරම්භ කිරීමෙන් පසු නවීඩ් සඩ්රන් යැවු පස්වන පන්දුවාරයේ (නවීඩ්ගේ තෙවන පන්දුවාරය) ප්‍රථම පන්දුවට සධීර සමරවික්‍රම දුන් උඩ පන්දුවක් රහ්මට් ෂා විසින් දක්ෂ ලෙස රැක ගැනීමෙන් මුළු ලකුණු 127දී හත්වන කඩුල්ල ලෙස දැවී ගියේය. සධීර පන්දු 33කට මුහුණ දී හතරේ පහර හතරක් සහ හයේ පහරක් ද එල්ල කළේය. චාමික ගුණසේකර අනතුරකට ලක්වීමේ සිද්ධිය වුයේ එම පන්දුවාරයේම පස්වන පන්දුවේදීය. චාමික පිටියෙන් ඉවත් වන විට පන්දු 27කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟ ලකුණු 16ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අටවන කඩුල්ල මුළු ලකුණු 435දී දැවී ගියේ නවීඩ් සඩ්රන්ගේ ඊළඟ පන්දුවාරයේ සිව්වන පන්දුව ප්‍රභාත් ජයසූරියගේ කඩුල්ලේ කෙළින්ම දැවටීමෙන් ලකුණු දෙකකට ය.

මුළු ලකුණු 439දී නවවන කඩුල්ල ලෙස අසිත ප්‍රනාන්දු ලකුණු නොලබාම දැවී ගියේ නිජට් මසූඩ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි. විශ්ව ප්‍රනාන්දු කඩුල්ලේ නොදැවී රැඳී සිටියේ ලකුණක්වත් නොලබාය. ශ්‍රී ලංකා ඉනිම උදේ 10.57ට නිම වූ අතර තරගය පැවැති මිනිත්තු 57ක කාලය තුළ ඉනිමේ අවසාන කඩුලු හතර දැවී ගියේ ලකුණු 29ක් එක්වද්දීය.

උදෑසන 11.07ට ඇෆ්ගනිස්තානය දෙවන ඉනිම ආරම්භ වන අවස්ථාවේ පන්දු රකින ලංකා කණ්ඩායමට චාමික ගුණසේකර වෙනුවට අතිරේක ක්‍රීඩක කසුුන් රාජිත එක්කර සිටියේය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම දිවා ආහාරය වන විට කිසිවකු නොදැවී ලකුණු 35ක් ද සවස තේ විවේකය වන විට කිසිවකු නොදැවී ලකුණු 97ක් ලබා සිටියේය. ඔවුනගේ ප්‍රථම කඩුල්ල මුළු ලකුණු 106දී බිඳ වැටුණේ ආරම්භක පිතිකරු නූර් අලි සඩ්රන් වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු 47කට දැවීයාමෙනි. නූර් අලි පන්දු 137කට මුහුණ දී හතරේ පහර පහක් ද එල්ල කළේය.

මුළු ලකුණු 125දී ලකුණු 63ක් ලබා සිටි ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සඩ්රන් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරියගේ පන්දුවකට නිශාන් මධුෂ්ක අතට දුන් පහසු උඩපන්දුවක් ඔහු අතින් ගිලිහිණි.

ලකුණු පුවරුව

 ඇෆ්ගනිස්තානය මුල් ඉනිම පන්දුවාර 62.4කදී සියල්ල දැවී 198යි

රහ්මට් ෂා 91, නූර් අලි සඩ්රන් 31, ඉක්රම් අලීකිල් 21, ක්වයිස් අහමඩ් 21, හස්මතුල්ලා සහිඩි 17, විශ්ව ප්‍රනාන්දු 51/4, අසිත ප්‍රනාන්දු 24/3, ප්‍රභාත් ජයසූරිය 67/3

ශ්‍රී ලංකාව පළමු ඉනිම සියල්ල දැවී 439 (පන්දුවාර 109.2 මිනිත්තු 516යි) – (ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, දිමුත් කරුණාරත්න 77, නිශාන් මධුෂ්ක 37, සධීර සමරවික්‍රම 27, චාමික ගුණසේකර 16, (ඉවත්වූවා) නවීඩ් සඩ්රන් 83/4, නිජට් මසූඩ් 76/2, කයිස් අහමඩ් 98/2)

ඇෆ්ගනිස්තානය දෙවන ඉනිම කඩුලු 1ට 199 (පන්දුවාර 75) – (ඊබ්‍රහිම් සඩ්රන් නොදැවී 101, නූර් අලි සඩ්රන් 47, රහ්මට් ෂා නොදැවී 46, අසිත ප්‍රනාන්දු 35/1)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee