slc
logo
Home   |    News
පෙබරවාරි 6, 2024
 දින එකහමාරක් ඉතිරිව තිබියදී  ශ්‍රී ලංකාව කඩුලු දහයකින් ජය ගනී

Sri Lanka Cricket

එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය සමඟ පැවැති මංගල ඓතිහාසික පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු දහයක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේ දින එකහමාරකට පමණ වැඩි කාලයක් ද ඉතිරිව තිබියදීය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ තරගයේ තෙවන දිනය නිම වන විට කඩුල්ලක් දැවී ලකුණු 199ක් රැස් කරමින් ප්‍රබල තත්ත්වයක පසු වුවත් අද (05) සෙසු පිතිකරුවන් නවදෙනාම දැවී රැස්කර ගත්තේ තවත් ලකුණු 97ක් පමණකි.

මේ ජයග්‍රහණයත් සමඟම ශ්‍රී ලංකාව ලොව සියලු ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් පරාජයට පත්කර සිටින ප්‍රථම කණ්ඩායම් බවට පත් වේ.

සිව්වන දින (05) උදෑසන සිට දිවා ආහාරය තෙක් පැය දෙකක කාලය තුළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු හයක් දැවී රැස් කර ගත්තේ ලකුණු 52කි. දිනය තුළ ඇෆ්ගනිස්තානය කඩුලු නවයක් දවාලීමට (ලකුණු 97කට) මුල් වූයේ දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරියයි.

32 හැවිරිදි වමතින් දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරිය දෙවන ඉනිමේදී දක්ෂ පන්දු යැවීමක නිරත වුයේ ලකුණු 101කට කඩුලු පහක් දවාලමිනි. ඔහු ප්‍රථම ඉනිමේදී ද ලකුණු 67කට කඩුලු තුනක්  බිඳ දැමීමට සමත් විණි. කඩුලු අටක් දවාලු වමත් දඟපන්දු යවන්නා තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ද නම් කැරිණි. ප්‍රභාත් ජයසූරිය ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ මාතලේ ක්‍රිස්තුදේව විදුහලෙනි. ප්‍රභාත් දැනට ටෙස්ට් තරග දහයකට සහභාගි වී කඩුලු 67ක් දවා ඉක්මණින්ම ටෙස්ට් කඩුලු දවාලන පන්දු යවන්නෙකු බවට පත්ව සිටී.

ඇෆ්ගනිස්තානයේ ප්‍රථම ඉනිමේ අවසාන කඩුලු අට ලකුණු 98කට දැවී ගිය ආකාරයෙන්ම ඔවුනගේ දෙවන ඉනිමේ ද අවසාන කඩුලු අට දැවී ගියේ ලකුණු 59කටය. මේ පස්දින තරගය තෙවන දින සවස 2.05ට නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේදී ජයග්‍රහණය සඳහා ලකුණු 56ක් අවශ්‍ය වූ අතර ආරම්භක පිතිකරුවන් දෙදෙනා දිමුත් කරුණාරත්න (නොදැවී 32ක් ද) නිශාන් මධුෂ්ක (නොදැවී 22ක් ද) ප්‍රථම විකට්ටුවට පන්දුවාර 7.3කදී (මිනිත්තු 33) කිසිවකු නොදැවී ලකුණු 56ක් රැස් කරමින් මේ අනගි ජය වාර්තා කළහ.

දිමුත් කරුණාරත්න පන්දු 22කදී හතරේ පහර තුනක් සහ හයේ පහරක් (මිනිත්තු 33යි) සමඟ නොදැවී ලකුණු 32ක් ද නිශාන් මධුෂ්ක (මිනිත්තු 33යි) පන්දු 23කදී හතරේ හතරක් සමඟ නොදැවී 22ක් ද රැස් කළේ කඩිනම් විලාශයකිනි.

තරගයේ දක්ෂතම ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ඉනිමකදී ටෙස්ට් කඩුලු පහ සහ එය ඉක්මවා ලැබු හත්වන වතාව මෙය වේ.

සිව්වන දින (05) තරගය ආරම්භ කිරීමෙන් පසුව දිවා ආහාරය තෙක් පැය දෙකක කාලය තුළ ඇෆ්ගනිස්තානය පන්දුවාර 24කට මුහුණ දී කඩුලු හයක්ම බිඳ වැටී රැස් කළේ ලකුණු 52ක් පමණකි. උදයවරුවේ බිඳ වැටුණු කඩුලු හයෙන් හතරක්ම දවාලුවේ දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරියයි.

මෙදින දැවී ගිය ප්‍රථම කඩුල්ල වූයේ ලකුණු 54ක් ලබා සිටි අංක තුන පිතිකරු රහ්මට් ෂා වේගපන්දු යවන කසුන් රාජිතගේ පන්දුවකට කඩුලු රකින සධීර සමරවික්‍රමට උඩපන්දුවක් දී මුළු ලකුණු 214දී දැවීයාමෙනි. ෂා පන්දු 119කට මුහුණ දී හතරේ පහර පහක් ද එල්ල කර තිබිණි. මේ අවස්ථාවේ සිට දිවා ආහාරය තෙක් තවත් ලකුණු 37ක් එක් වද්දී කඩුලු පහක් බිඳ වැටුණු අතර ඉන් කඩුලු හතරක්ම දවාලීමේ ගෞරවය හිමි වන්නේ ප්‍රභාත් ජයසූරියටය.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ දෙවන ඉනිමේ හොඳම සබඳතාවය වූයේ දෙවන කඩුල්ලට ඊබ්‍රහිම් සඩ්රන් සහ රහ්මට් ෂා පන්දු 232කදී එක් කළ ලකුණු 108 වේ.

ප්‍රභාත් ජයසූරිය මේ ඉනිමේ සහ මෙදින උදේ දවාලු ප්‍රථම කඩුල්ල වූයේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම කඩුල්ල වූ ලකුණු 114ක් ලබා සිටි ආරම්භක පිතිකරු ඊබ්‍රහිම් සඩ්රන්ගේ කඩුල්ලයි. මුළු ලකුණු 237දී ජයසූරිය එවු පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී ඊබ්‍රහිම් සඩ්රන් 114කට දැවී යන විට ඔහු මිනිත්තු 399ක් කඩුල්ලේ රැඳී පන්දු 260කට මුහුණ දී හතරේ පහර 12ක් ද එල්ල කර තිබිණි. මෙය ඊබ්‍රහිම් සඩ්රන්ගේ ප්‍රථම ටෙස්ට් ශතකයයි. ඊබ්‍රහිම් දැවී යාමත් සමඟ දිවා ආහාරයට පෙර තවත් කඩුලු තුනක්ම දැවී ගියේ ලකුණු 14ක් පමණක් එක්වද්දීය.

ඇෆ්ගනිස්තාන නායක හස්මතුල්ලා සහිඩි මුළු ලකුණු 236දී ජයසූරියගේ පන්දුවකට කඩුලු රකින සධීර සමරවික්‍රමට උඩපන්දුවක් දීමෙන් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 18කි. ෂහිඩි පන්දු 36කට මුහුණ දී හතරේ පහර තුනක් ද එල්ල කළේය.

ඇෆ්ගනිස්තානයේ තවත් ප්‍රබල පිතිකරුවකු වන අංක හය පිතිකරු ඉක්රම් අලිකිල්ට දෙවන ඉනිමේදී ලබා ගත හැකි වූයේ ලකුණක් පමණකි. මුළු ලකුණු 247දී අසිත ප්‍රනාන්දුගේ වේගපන්දුවකට කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක්දී ඔහු පස්වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණක් පමණක් රැස් කර සිටියදීය.

හයවන කඩුල්ල ලෙස කසිම් අහ්මඩ් ලකුණු 248දී ජයසූරියගේ පන්දුවකට ධනංජය ද සිල්වාට උඩපන්දුවක් දී ලකුණකට දැවී ගියේ පන්දු තුනකට පමණක් මුහුණ දීමෙනි. දිවා ආහාරයට පෙර දැවී ගිය අවසාන පිතිකරුවා වුයේ ලකුණු 250ක්ව තිබියදී ජයසූරිය එවු පන්දුවක් කඩුල්ලේ වැදී සියා උර් රෙහ්මන් ලකුණු නොලබාම දැවී යාමෙනි.

දිවා ආහාරය වන විට ඇෆ්ගනිස්තානය පන්දුවාර 99කදී කඩුලු හතකට ලකුණු 251ක් ලබා සිටියේය. දිවා ආහාරයෙන් පසු අවසාන කඩුලු තුන දැවී ගියේ තවත් ලකුණු 45ක් එක්වද්දීය.

මෙහිදී කැපී පෙනුණු පිතිකරුවා වූ නසීර් ජමාල් පමණක් හුදකලා සටනක නිරත වෙමින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියේ මිනිත්තු 115ක් කඩුල්ලේ රැඳී පන්දු 67කට මුහුණ දී හතරේ පහක් සහ හයේ පහරක් සමඟය. නවීඩ් සඩ්රන් (04) නිජට් මසූඩ් (00) සහ මොහමඩ් සලිම් ලකුණු දෙකකටත් දැවී ගියහ.

ලකුණු පුවරුව

ඇෆ්ගනිස්තානය මුල් ඉනිම පන්දුවාර 62.4කදී සියල්ල දැවී 198යි –

(රහ්මට් ෂා 91, නූර් අලි සඩ්රන් 31, ඉක්රම් අලීකිල් 21, ක්වයිස් අහමඩ් 21, හස්මතුල්ලා සහිඩි 17, විශ්ව ප්‍රනාන්දු 51/4, අසිත ප්‍රනාන්දු 24/3, ප්‍රභාත් ජයසූරිය 67/3)

ශ්‍රී ලංකාව පළමු ඉනිම සියල්ල දැවී 439 (පන්දුවාර 109.2 මිනිත්තු 516යි) – (ඇන්ජලෝ මැතිව්ස් 141, දිනේෂ් චන්දිමාල් 107, දිමුත් කරුණාරත්න 77, නිශාන් මධුෂ්ක 37, සධීර සමරවික්‍රම 27, චාමික ගුණසේකර 16, (ඉවත්වූවා) නවීඩ් සඩ්රන් 83/4, නිජට් මසූඩ් 76/2, කයිස් අහමඩ් 98/2)

 ඇෆ්ගනිස්තානය දෙවන ඉනිම සියල්ල දැවී 296 (පන්දුවාර 112) – (ඊබ්‍රහිම් සඩ්රන් 114, නූර් අලි සඩ්රන් 47, රහ්මට් ෂා 54, නසීර් ජමාල් නොදැවී 41, හස්මතුල්ලා සහිඩි 18, ප්‍රභාත් ජයසූරිය 107/5, අසිත ප්‍රනාන්දු 53/3, කසුන් රාජිත 50/2)

ශ්‍රී ලංකාව දෙවන ඉනිම කිසිවකු නොදැවී 56යි (පන්දුවාර 7.3යි මිනිත්තු 33යි) – (දිමුත් කරුණාරත්න නොදැවී 32,  නිශාන් මධුශ්ක නොදැවී 22)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee