slc
logo
Home   |    News
පෙබරවාරි 9, 2024
පල්ලේකැලේදී වැඩි ලකුණු අපේක්ෂා කළ හැකියි – කුසල් මෙන්ඩිස් කියයි

Sri Lanka Cricket

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ තණතිල්ල පිතිකරුවනට වාසිදායක වන ලෙස උසස් මට්ටමකින් සකසන ලෙසට තණතිල්ල සකස් කරන්නන්ට තමා ඇතුළු කණ්ඩායමත් පුහුණු කාර්යය මණ්ඩලයත් උපදෙස් ලබා දුන් හෙයින් උසස් මට්ටමේ තණතිල්ලක් අපේක්ෂා කළ  හැකි බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් සිකුරාදා සවස 2.30ට ඇරැඹෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ප්‍රථම එක්දින දිවා රාත්‍රී තරගය පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

“ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට ලොව ප්‍රබලම කණ්ඩායමක් ලෙස නම් දරා සිටින හෙයින් ඔවුන්ව පහසුවෙන් තැකිය නොහැකියි. ඔවුන් ලොව පුරාම ලීග් ක්‍රිකට් තරගාවලියන්ට සහභාගි වී නිතර ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙනවා. අප ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් සමඟ නිතර තරගවදින ආකාරයට ඔවුන් ද ලීග් තරගාවලියන්ට නිතර සහභාගිවීමෙන් හොඳ පුහුණුවක් සහ පළපුරුද්දක් ලබනවා.“

“අප මේ වන විට ක්‍රීඩා කරන්නේ තව වසර හතරකින් එළැඹෙන මීළඟ ලෝක කුසලාන එක්දින තරගාවලිය ඉලක්ක කරගෙනයි. අප ඒ සඳහා ක්‍රමානුකූලව අපගේ කණ්ඩායම සකස් කරගෙන යනවා. වත්මන් එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව අප හත්වන ස්ථානයේත් ඇෆ්ගනිස්තානය නවවන ස්ථානයේත් පසුවුවත් ශ්‍රේණිගත කිරීම් අප තකන්නේ නෑ. අපට අවශ්‍ය වන්නේ හොඳින් ක්‍රීඩා කර ජය ගැනීම යැයි ද කුසල් මෙන්ඩිස් පවසයි.

“ටෙස්ට් සහ එක්දින තරග අතර ඇත්තේ විශාල වෙනසකි. මේ වන විට එම කණ්ඩායමේ පිතිකරුවන් අතුරින් ලකුණු අතර සිටින්නේ දෙදෙනකු පමණයි. අලුතින් කිහිපදෙනකු එක්දින කණ්ඩායමට එක්වුවත් ඔවුනගේ කණ්ඩායමේ එතරම් වෙනසක් සිදුවන්නේ නෑ. අප සිකුරාදා ප්‍රථම එක්දින තරගය හොඳින් ක්‍රීඩා කළහොත් තරගාවලියේදීම හොඳින් දක්ෂතා දැක්විය හැකි වේවි.

“ආරම්භක පිතිකරුවන් ලෙසට අවිශ්ක ප්‍රනාන්දුට සහ පැතුම් නිශ්ශංකට මේ තරගාවලියත් තවත් ඉදිරි තරගාවලි තුන හතරක් පමණක් ලබාදීම අපගේ අපේක්ෂාවයි. දස්කම් පෙන්වා ලකුණු අතරට ඒමට ඔවුනට අවස්ථාව සැළසිය යුතුයි.

වනිඳු හසරංග, චාමික කරුණාරත්න සහ දුනිත් වෙල්ලාලගේ යන දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයන් තිදෙනකුම අප සතුයි. අප තුන් ඉරියව් ක්‍රීඩකයකුගෙන් අපේක්ෂා කරන්නේ ලකුණු 30 – 40ක් රැස් කිරීමත් කඩුලු දෙක තුනක් දවාලීමත්ය. දඟපන්දු යවන්නන් ලෙස වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය මේ වන විට හොඳින් පුහුණුව ලබමින් සිටිනවා. හිටපු නායක දසුන් ශානකට දැන් පැවැත්වෙන ජාතික සුපර් ලීග් තරගාවලියේදී නැවත දස්කම් දක්වා කණ්ඩායමට නැවත ඒමට අවස්ථාව තිබෙනවා.“

“අප සතුව දක්ෂ වේග පන්දු යවන්නන් සිව්දෙනකුම සිටිනවා. ඔවුන් ඉදිරියේදී හොඳින් දස්කම් දක්වාවි.

පිතිකරුවන් ඇතුළු මේ ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායමට අවශ්‍ය දේ මම ඔවුනට පෞද්ගලිකවම පවසා තිබෙනවා. හොඳ සැළැස්මකුත් අප සතුයි. එය මනාව ක්‍රියාත්මක කර පීඩනය ඇෆ්ගනිස්තානයට යොමු කර වැඩි දක්ෂතා දැක්වීම අපගේ අපේක්ෂාව බව ද කුසල් මෙන්ඩිස් කියයි.

බන්දුල

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee