ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු විසිපස් හැවිරිදි දකුණත් පිතිකරු පැතුම් නිශ්ශංක එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවකු රැස් කළ මංගල ද්විත්ව ශතකය (210) මුල් කර ගනිමින්, ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මහනුවර පැල්ලේකැලේදී අද (09) පැවැති ප්‍රථම එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය පරදා ලකුණු 42ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.
මේ තරගයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය ද ලත් පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 210ක් රැස් කළේ පන්දු 139කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර විස්සක් සහ හයේ පහර අටක් ද සමඟය.
පැතුම් නිශ්ශංක මෙදින ලබාගත් ලකුණු 210 ශ්‍රී ලංකා පිතිකරුවකු ජාත්‍යන්තර එක්දින තරගයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර එක්දින තරගයක ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාව ලබා සිටියේ 2000 වසරේදී සනත් ජයසුරිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නරගයේදී ඉන්දියාව සමඟ රැස් කළ ලකුණු 189 වේ.
ශ්‍රී ලංකාවට ඇෆ්ගනිස්තානය සමඟ ලකුණු 381ක් (කඩුලු තුනකට) වැනි ජයග්‍රාහී ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරායාමට මුල් වූ සබඳතාවයන් වූයේ පැතුම් නිශ්ශංක ප්‍රථම කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු (88) සමඟ ලැබු ලකුණු 188 සහ තෙවන කඩුල්ලට සධීර සමරවික්‍රම (45) සමඟ එක් කළ ලකුණු 120ක සබඳතාවයයි. මේ සබඳතා දෙකේදීම වැඩි ලකුණු රැස් කළේ ද පැතුම්ය.
ලකුණු 382ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යාමට ඇෆ්ගනිස්තානය පිවිසි අවස්ථාවේ ප්‍රමෝද් මධුශාන්ගේ සහ දුෂ්මන්ත චමීරගේ දක්ෂ වේගපන්දු යැවීම හමුවේ ඔවුනගේ ප්‍රථම කඩුලු පහ දැවී ගියේ ලකුණු 55ක් තුළදීය.
ඇෆ්ගනිස්තාන හයවන කඩුල්ලට අස්මතුල්ලා ඕමාර් සායි නොදැවී ලකුණු 149ක් ද (පන්දු 119යි හතරේ 13යි හයේ හයයි) සහ මොහමඩ් නබී ලකුණු 136ක් ද (පන්දු 130යි හතරේ 15යි හයේ තුනයි) ලකුණු 242ක සබඳතාවයක් (පන්දුවාර 36.3කදී) රැස් කිරීම මත ඔවුන් නැවත තරගයට අවතීර්ණව ශ්‍රී ලංකා ලකුණු සංඛ්‍යාවට ද මඳක් ආසන්න විණි.
කණ්ඩායම් දෙකම මේ තරගයේදී ලකුණු 700 ඉක්ම වූ අතර ශ්‍රී ලංකාවේ දී කණ්ඩායම් දෙකක් එක්දින තරගයකදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වේ.
මොහමඩ් නබී 45.2 පන්දුවේදී දැවීයාමෙන් පසු ඇෆ්ගනිස්තානයට අවසාන පන්දුවාර හතරේදී ලකුණු 84ක් ද අවසාන පන්දුවාර තුනේදී ලකුණු 75ක් ද අවසාන පන්දුවාර දෙකේදී ලකුණු 62ක් ද අවසාන පන්දුවාරයේදී ලකුණු 53ක් ද ජයග්‍රහණයට අවශ්‍ය වුවත් ඔවුනට එම සීමා අසළට ඒමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සහ රකින්නන් ඉඩ දුන්නේ නැත.
ශ්‍රී ලංකාව මේ තරගයේදී ලකුණු රැස් කළේ ලකුණු 100 (පන්දුවාර 12.1) ලකුණු 200 (පන්දුවාර 21.1) ලකුණු 300 (පන්දුවාර 43.4) වශයෙනි.
මුළු ලකුණු 50 පන්දුවාර 7.2කදී ලංකා කණ්ඩායම රැස් කළත් පසුව වේගය වැඩි කරමින් පන්දුවාර 10දී ලකුණු 90ක් ද පන්දුවාර 10.1 සිට 40 දක්වා ලකුණු 171ක් ද අවසාන පන්දුවාර දහයේදී ලකුණු 122ක් ද වශයෙන් වැඩි කැරිණි.
ලකුණු සියය පන්දු 88කදීත් (හතරේ 11යි හයේ පහරයි) ලකුණු දෙසියය පන්දු 136කදීත් (හතරේ 19යි හයේ හතයි) රැස් කැරිණි. දෙවැනි ලකුණු සියය රැස් කළේ පන්දු 40කදී හතරේ අටක් හයේ හයක් සමඟය.
ද්විත්ව ශතකයක් ලැබු පැතුම් නිශ්ශංක මීට පෙර ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව 137කි. ඔහු කළුතර ම.ම. විදුහලේ සහ කොළඹ ඉසිපතන විදුහලේ ආදි සිසුවෙකු වේ. මොහු මේ තරගයට පෙර එක්දින ලකුණු 1728ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 38.40ක් සමඟය. ඇෆ්ගනිස්තානය සමඟ පැතුම් ද්විත්ව ශතකයක් වාර්තා කළේ සිය 50 වන එක්දින ජාත්‍යන්තර තරගයේදී වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගල පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු ප්‍රථම විකට්ටුවට ලකුණු 188ක් රැස් කළේ පන්දුවාර 26.2කදී ය. මෙලෙස ලංකා ප්‍රථම කඩුල්ලට ශතකයක සබඳතාව වාර්තා වූයේ ඉනිම නවයකට පසුවය.
අනෙක් ආරම්භක පිතිකරු මුල් විකට්ටුවේ සබඳතාවයෙන් ලකුණු 88ක්ම රැස් කළ අතර එය ඉනිමේ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවයි.
ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ඇරයුම් කිරීමෙන් පසු පැතුම් නිශ්ශංක සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 50 වාර්තා කළේ පන්දුවාර 7.2කදීය. එතැන් සිට ලකුණු රැස් කිරීමේ වේගය ආක්‍රමණශීලීව වැඩි කළ මේ පිතිකරුවන් දෙදෙනා දෙවන ලකුණු 50 පන්දුවාර 4.2කදී (පන්දු 26කදී) වාර්තා කළේ පිටිය පුරා දර්ශනීය හතරේ සහ හයේ පහර එල්ල කරමිනි.
විසි එක්වන පන්දුවාරය ක්‍රියාත්මක වන විට පන්දුවාර 20.4කදී පැතුම් සහ අවිශ්ක ශ්‍රී ලංකා ලකුණු පුවරුව 150 දක්වා ඉහළ නංවන විට ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට දොරටු විවෘතව තිබිණි. මේ ආරම්භක පිතිකරු යුගල ලකුණු 188ක් ලබා සිටියදී (පන්දුවාර 26.2යි) ශතකයක් කරා යමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු ෆරීඩ් අහ්මඩ්ගේ පන්දුවකට ඊබ්‍රහිම් සඩ්රන්ට උඩපන්දුවක් දී ලකුණු 88කට දැවී ගියේ තම සිව්වන එක්දින ශතකයට ලකුණු 12ක් පමණක් අඩුවෙන් සිටියදීය. අවිශ්ක මේ වන විට පන්දු 88කට මුහුණ දී හතරේ අටක් සහ හයේ පහර තුනක් එල්ල කර තිබිණි.
දෙවන කඩුල්ලට පැතුම් නිශ්ශංක සමඟ නායක කුසල් මෙන්ඩිස් එක් කළ සබඳතාවය ලකුණු 37ක් පමණකි. මුළු ලකුණු 225දී කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවී ගියේ (පන්දු 31යි හතරේ පහරයි) මොහමඩ් නබීගේ පන්දුවකට ගුල්බඩින් නයිබ්ට උඩපන්දුවක් ලබා දෙමිනි.
අංක හතර පිතිකරු සධීර සමරවික්‍රම හොඳින් පන්දුවට පහර දෙමින් පැතුම් සමඟ තෙවන කඩුල්ලට ලකුණු 120ක සබඳතාවයක් (පන්දුවාර 11.5කදී පන්දු 7.1කදී) තබා ගත්තේ ඉනිමේ දෙවන වැඩිම ලකුණු සබඳතාවය තබා ගනිමිනි. මුළු ලකුණු 345දී සධීර ලකුණු 45කට දැවී ගියේ (පන්දුවාර 47.1දී) අස්මතුල්ලා ඕමාර්ට උඩපන්දුවක් දී ෆරීඩ් අහ්මඩ්ට දෙවන කඩුල්ල ලබා දීමෙනි. සධීර ලකුණු 45ක් රැස් කර ගත්තේ පන්දු 36කදී හතරේ හතරක් සහ හයේ පහරක් ද සමඟිනි.
පැතුම් සහ සධීර පන්දුවට පහර දුන්නේ පන්දුවාරයකට ලකුණු දහයක් වැනි වේගයකිනි. සධීරගේ දැවීයාමෙන් පසු පැමිණි උපනායක චරිත් අසලංක ඉනිම නිම වන විට නොදැවී ලකුණු හතක් ලබා සිටියේය.
ශ්‍රී ලංකා ඉනිම කඩුලු තුනකට ලකුණු 381ක් ලෙස නිමාවට පත්වීමෙන් පසු පන්දුවට පහරදීමට පැමිණි ඇෆ්ගනිස්තාන ඉදිරි පෙළ පිතිකරුවෝ පස්දෙනකුම ප්‍රමෝද් මධුෂාන්ගේ සහ දුෂ්මන්ත චමීරගේ ප්‍රබල වේගපන්දු යැවීම හමුවේ දැවී ගියේ අඩු ලකුණු සංඛ්‍යාවන්ටය.
ආරම්භක පිතිකරුවන් දෙදෙනා රාමනුල්ලා ගුර්බාස් (01) ඊබ්‍රහිම් සඩ්රන් (04) සහ අංක හතර පිතිකරු නායක හස්මතුල්ලා ෂහිඩි (07) මුළු ලකුණු 19ක් වන විට දැවී ගොස් සිටියේ ප්‍රමෝද් මධුෂාන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේය.
ඉන්පසු ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර විසින් රහ්මට් ෂා (07) සහ ගුල්බඩින් නයිබ් (16) දවාලීමෙන් ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව සඳහන් වූයේ මුළු ලකුණු 55කට කඩුලු පහක් ලෙසිනි.
ඇෆ්ගනිස්තානය නැවත තරගයට අවතීර්ණ කිරීමේ හයවන කඩුල්ලේ සබඳතාව මොහමඩ් නබී සහ අස්මතුල්ලා ඔමර්ෂායි අතර ආරම්භ වූයේ ඉන් පසුවය.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකාව කඩුලු 3ට 381 (පන්දුවාර 50යි) – (පැතුම් නිශ්ශංක නොදැවී 210, අවිශ්ක ප්‍රනාන්දු 88, සධීර සමරවික්‍රම 45, කුසල් මෙන්ඩිස් 16යි, ෆරීඩ් අහ්මඩ් 79/2, මොහමඩ් නබී 44/1)
ඇෆ්ගනිස්තානය කඩුලු 6ට 339යි (පන්දුවාර 50යි) – (අස්මතුල්ලා ඕමාර් සායි නොදැවී 149, මොහමඩ් නබී 136, ප්‍රමෝද් මධුශාන් 75/4, දුෂ්මන්ත චමීර 55/2යි)
බන්දුල මොල්ලිගොඩ