slc
logo
Home   |    News
පෙබරවාරි 18, 2024
වනිඳු සහ මතීෂ දඹුල්ලේ මංගල විස්සයි 20 තරගයේ ජය ලංකා කණ්ඩායමට ගෙන එති

Sri Lanka Cricket

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල විස්සයි 20 තරගයෙන් ශ්‍රී ලංකාව අවසාන පන්දුවාරයේදී ලකුණු හතරකින් ඇෆ්ගනිස්තානය පරදා අනගි ජයග්‍රහණයක් අත්කර ගත්තේ ක්‍රීඩාංගණය අසුන් සියල්ල පිරී ඉතිරී තිබු දහස් සංඛ්‍යාත ජනකායකගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී රැස් කළ ලකුණු 160 හඹායාමේදී ජයග්‍රහණයට අවසාන පන්දුවාරයේදී ඇෆ්ගනිස්තානයට අවසාන පිතිකරුවන් දෙදෙනාගෙන් ලකුණු 11ක් අවශ්‍ය වුවත් බිනුර ප්‍රනාන්දු එවු එම පන්දුවාරයෙන් ඔවුන් ලබා ගත්තේ ලකුණු හයක් පමණකි.

ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගයේ ජයග්‍රහණය අත්කර දීමට මුල් වූ ක්‍රීඩකයන් දෙදෙනා වනුයේ නායක වනිඳු හසරංග සහ වේගපන්දු යවන මතීෂ පතිරණය.

මතීෂ පතිරණ ඇෆ්ගනිස්තාන ඉනිමේ 19වන පන්දුවාරය යවා ලකුණු තුනකට කඩුලු දෙකක් ද එම ඉනිම පුරා ලකුණු 24කට කඩුලු හතරක් ද දවාලමින් පන්දු යැවීමේදී ඉහළම දක්ෂතා දැක්වීය. එම කුසලතා වෙනුවෙන් ඔහුට තරගයේ දක්ෂතම ක්‍රීඩක සම්මානය ද පිරිනැමිණි.

ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග මේ තරගයේදී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදෙද්දී අටවන පන්දුවාරයේදී (7.2) ලංකා කණ්ඩායම ලකුණු 55කට කඩුලු හතරක් දැවී සිටියදී පිටියට පිවිස දැවැන්ත පිතිහරඹයක නියැළෙමින් පන්දු 32කදී හතරේ හතක් සහ හයේ පහර තුනක් සමඟ ලකුණු 67ක් රැස් කරමින් තම කණ්ඩායම තරගයට ප්‍රබල ලෙස අවතීර්ණ කර පසුව පන්දු යැවීමේදී ලකුණු 20කට කඩුල්ලක් දවා කණ්ඩායමේ ජයග්‍රහණයට පූර්ණ දායකත්වය දැක්වීය.

වනිඳු පස්වන කඩුල්ලට සධීර සමරවික්‍රම සමඟ පන්දු 41කදී ලකුණු 72ක් ද ඇන්ජලෝ මැතිව්ස් සමඟ හයවන කඩුල්ලට පන්දු 11කදී ලකුණු 19ක් ද එක් කළහ. පිතිකරුවනගේ ඉක්මන් භාවය මත අවසාන කඩුලු පහ ලකුණු 14ක් තුළ දැවී ගියේ තවත් සම්පූර්ණ පන්දු වාරයක් ද ඉතිරිව තිබියදීය.

ඇෆ්ගනිස්තානය ලකුණු 161ක ජයග්‍රහණ ඉලක්කයක් කරායාමට පැමිණි අවස්ථාවේ නායක ඊබ්‍රහිම් සඩ්රන් ප්‍රථම පන්දුවේ සිට අවසාන ඕවරය තෙක් නොදැවී කඩුල්ලේ රැඳී පන්දු 55කදී හතරේ අටක් සමඟ නොදැවී ලකුණු 67ක් ලබා සිටියේය. ඔවුනගේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ කරීම් ජනට් ලකුණු 20ක් රැස් කළේ පන්දු 16කදී හතරේ දෙකක් සමඟය.

මෙහිදී නායක ඊබ්‍රහිම් සඩ්රන් දෙවන කඩුල්ලට ගුල්බඩින් නයිබ් සමඟ පන්දු 30කදී ලකුණු 43ක් ද හයවන කඩුල්ලට කරීම් ජනට් සමඟ පන්දු 27කදී ලකුණු 39ක් ද රැස් කළහ.

ඇෆ්ගනිස්තානය කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීම ශ්‍රී ලංකාව වෙත පැවරීමටය. තරගයේ ප්‍රථම පන්දුවාරය යැවු ෆසලාක් ෆාරුකිගේ සිව්වන පන්දුවට ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක දුන් අසීරු උඩපන්දුව කඩුලු රකින රාමනුල්ලා ගුර්බාස් දක්ෂ අයුරින් රැක ගැනීමෙන් ලකුණු හයකට දැවී ගියේ මුළු ලකුණු හතක්ව තිබියදීය. පැතුම් මෙදින මුහුණ දුන්නේ පන්දු හතරකට පමණි.

දෙවන කඩුල්ලට අනෙක් ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සහ අංක තුන පිතිකරු ධනංජය ද සිල්වා පන්දු 20කදී ලකුණු 29ක් රැස් කිරීමට සමත්විණි. මුළු ලකුණු 36දී ලකුණු දහයක් ලබා සිටි කුසල් මෙන්ඩිස්, ෆසලාක් ෆාරුකි එවු තවත් අසීරු පන්දුවකට පහරක් එල්ල කිරීමට යාමේදී අස්මතුල්ලා ඔමාර් සායිට උඩපන්දුවක් දීමෙන් දැවී යන විට පන්දු අටකට මුහුණ දී තිබිණි.

මෙදින දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටි අංක තුන පිතිකරු ධනංජය ද සිල්වා පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සහ හයේ පහරක් සමඟ ලකුණු 24ක් ලබා සිටියදී නවීන් උල් හක්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ දරද්දී හතරේ සීමාවේ සිටි නූර් අහමඩ් විසින් එය උඩපන්දුවක් ලෙස රැක ගැනීමේදී තෙවන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 48දීය. (පන්දුවාර 5.4යි)

ලංකා සිව්වන කඩුල්ලට සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක ඉනිම ගොඩ නැගීමට උත්සාහ දැරුව ද උපනායක චරිත් අසලංකට මෙදින ලකුණු අතරට පිවිසීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ අවස්ථාවක් නොදීමට වග බලා ගත්තේ මුළු ලකුණු 55දී සිව්වන කඩුල්ල ලෙස දවාලමිනි. නූර් අහමඩ්ගේ පන්දුවකට රාමනුල්ලා ගුර්බාස් උඩපන්දුවක් රැක ගැනීමෙන් චරිත් අසලංක දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු තුනක් පමණකි. (පන්දු හතයි)

නායක වනිඳු හසරංග පිටියට පිවිසෙන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පන්දුවාර 7.2කදී කඩුලු හතරකට ලකුණු 55ක් පමණක් ලබා පසු වූයේ අසීරු තත්ත්වයකය. වනිඳු හසරංග මේ අවස්ථාවේ තරගයේ පාලනය තම අතට ගනිමින් එහි ස්වරූපය වෙනස් කළේ නූර් අහමඩ් එවමින් සිටි එම පන්දුවාරයේ ඉතිරි පන්දු හතරට හතරේ පහර දෙකක් සමඟ ලකුණු නවයක් ලබා ගනිමිනි.

වනිඳු ඊට අමතරව කයිස් අහමඩ් එවු පන්දුවාරයකදී ලකුණු 21ක් රැස් කිරීමට ද සමත් විණි. ශ්‍රී ලංකා නායකයා සිය අර්ධ ශතකය පන්දු 24කදී වාර්තා කළ අතර එහි ලකුණු රැස් කිරීමේ වේගය සියයට දෙසියය ඉක්මවා තිබිණි.

ලංකා ඉනිමේ හොඳම සබඳතාවය වූයේ වනිඳු හසරංග සහ සධීර සමරවික්‍රම පස්වන කඩුල්ලට පන්දු 41කදී වේගවත්ව එක් කළ ලකුණු 72ය. මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යන ලකුණු පහළ කර තිබුණත් මුළු ලකුණු 129දී සධීර සමරවික්‍රම අවාසනාවන්ත අයුරින් දුවද්දී දැවී යාමට හසුවීමෙන් පස්වන කඩුල්ල ලෙස දැවී ගියේය. සධීර පන්දු 24කට මුහුණ දී හතරේ පහර තුනක් ද එල්ල කළේය.

වනිඳු හත්වන කඩුල්ලට ඇන්ජලෝ මැතිව්ස් සමඟ ලකුණු 19ක් එක් කරමින් ලකුණු සංඛ්‍යාව තව තවත් ඉහළ දැමීමට උත්සාහ කරමින් නවීන් උල් හක්ගේ පන්දුවකට හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී ඊබ්‍රහිම් සඩ්රන් උඩපන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේ ලකුණු 67කටය. මෙය වනිඳුගේ දෙවන විස්සයි 20 අර්ධ ශතකය වේ.

ඇන්ජලෝ මැතිව්ස් මුළු ලකුණු 152දී කරීම් ජනට්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ලකුණු හයකට හත්වන කඩුල්ල ලෙස දැවී ගියේය.

මහීෂ් තීක්ෂණ මුළු ලකුණු 155දී අටවන කඩුල්ල ලෙස ෆසලාක් ෆාරුකිගේ පන්දුවකට ලකුණු දෙකකටත් දසුන් ශානක ලකුණු හයක් ලබා සිටියදී අස්මතුල්ලා ඔමාර්සායිගේ පන්දුවකට මුළු ලකුණු 155දී නවවන කඩුල්ල ලෙසත් බිනුර ප්‍රනාන්දු මුළු ලකුණු 160දී ඔමාර්සායිගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙන් ලකුණු නොලබාමත් දැවීයාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම පන්දුවාරයක් ඉතිරිව නිම වූයේ ලකුණු 160කටය.

 ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව පන්දුවාර 19කදී සියල්ල දැවී 160යි – (වනිඳු හසරංග 67, සධීර සමරවික්‍රම 25, ධනංජය ද සිල්වා 24, කුසල් මෙන්ඩිස් 10, ෆසලාක් ෆාරුකි 25/3, නවීන් උල් හක් 25/2, අස්මතුල්ලා ඔමාර්සායි 30/2, නූර් අහමඩ් 18/1, කරීම් ජනට් 23/1)

ඇෆ්ගනිස්තානය පන්දුවාර 20කදී කඩුලු 9ට 156යි – (ඊබ්‍රහිම් සඩ්රන් නොදැවී 67, කරීම් ජනට් 20, ගුල්බඩින් නයිබ් 16, රාමනුල්ලා ගුර්බාස් 13, මතීෂ පතිරණ 24/4, දසුන් ශානක 17/2, ඇන්ජලෝ මැතිව්ස් 16/1, මහීෂ් තීක්ෂණ 31/1, වනිඳු හසරංග 20/1)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  •  කෝල්ට්ස් පිළ ලකුණු 145 කින් බී.ආර්.සී. පරදවයි
     කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී අද (10) පැවැති මේජර් ආරාධිත කාන්තා අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගයෙන් කෝල්ට්ස් කණ්ඩායම ලකුණු 145ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන […]
  • නවසීලන්ත – ශ්‍රී ලංකා විස්සයි-20 තරගාවලිය සම වෙයි
    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නොවැම්ඊබර්යේ 10 වැනිදා දෙවැනි විස්සයි20 තරගයෙන් නවසීලන්තය ලකුණු 5ක තියුණු ජයක් හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් […]
  • අභිනව ටී-10 තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීම ඇරඹෙයි
    පළමු වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ටී-10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ ක්‍රියාවලිය (Player Draft)මේ වන විටත් ආරම්භ වී තිබේ. ලංකා ටී-10 සුපර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක […]
  • ඒස් කැපිටල් කාන්තා කණ්ඩායමට ලකුණු 199ක ජයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන කාන්තා ප්‍රධානතම අන්තර් සමාජ ආරාධිත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැති තරග අතුරින් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 199කින් ටැමිල් යුනියන් පරාජයට පත් […]
  • පළමු විස්සයි20 ගැටුමෙන් ශ්‍රී ලංකාවට ජය
    සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් ශ්‍රී ලංකා පිල හිමිකර ගත්තේය. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee